පෙරේරා මහත්මියගේ වැඩිමහල් දියණියගේ තයිරොයිඩ් ග්‍රන්තිය එහි තිබූ පිළිකාවත් සමඟ ශල්‍යකර්මයකින් ඉවත් කළ ආකාරය පසුගිය දිනක ලිපියක් මගින් සාකච්ඡා කළා. එහිදී බෙල්ලේ තිබූ කුද්දැටිද ඉවත් කරන්නට සිදුවූයේ ඒවාටද පිළිකාව පැතිරී තිබූ නිසයි. ශල්‍යකර්මය කර ගෙදර ගියද දින කිහිපයක් ඇයට රෝහලේ සායනයට යන්නට සිදුවූයේ බෙල්ලේ වූ කැපුම් තුවාලයට බෙහෙත් දමාගැනීමටයි. ඒ දින කිහිපයක් පමණයි, බෙල්ලේ තුවාලය හොඳට වේලී මැහුම් කපන තුරු. සති දෙකකට පමණ පසු ඇය තම මව සමඟ රෝහලේ ශල්‍ය සායනයට ගියා. ඒ වන විට ශල්‍යකර්මයෙන් පසු ඉවත් කළ පටක කොටස් පරීක්ෂණාගාරයේදී පරික්ෂා කිරීමෙන් අනතුරුව ලබාදෙන පටක වාර්තාවද ලැබී තිබුණා. එය අතට ගත් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා එහි ඇති රෝගියාගේ විස්තරත් රෝගියාගේ අනන්‍යතාවත් ගළපා අනතුරුව කාතාව පටන්ගත්තා.
‘දැන් කොහොමද?’
‘ලොකු ප්‍රශ්නයක් නම් නෑ ඩොක්ටර්. පොඩ්ඩක් බෙල්ල හරවනකොට රිදිල්ලක් වගේ එනවා.’
‘ඒක ටික දවසකින් ඇරිල යයි.’
‘ඔයාගේ තයිරොයිඩ් ග්‍රන්ථිය පිළිකාවත් සමග ශල්‍යකර්මයකින් ඉවත් කරලා, ඒ පටක, පරීක්ෂණාගාරයකට යවලා කරපු පටක පරීක්ෂණවල වාර්තාව දැන් අපට ලැබිල තියෙනවා. ඒකට අනුව ඔයාගේ තයිරොයිඩ් ග්‍රන්තියේ තිබුණ පිළිකාව පැපිලරි තයිරොයිඩ් කාසිනෝමා කියන වර්ගයට අයත් බවට තවදුරටත් තහවුරු කරගෙන තියෙනවා. ඒ පිළිකා ගෙඩියේ ප්‍රමාණය මිලිමීටර් 24 ක් පමණ වෙනවා. බෙල්ලේ අයින් කරපු කුද්දැටිවලින් එකක විතරයි පිළිකා සෛල තිබිල තියෙන්නේ.’
‘අනේ ඩොක්ට මට මේ පිළිකාව හොඳ කරගන්න පුළුවන් වෙයිද?
‘ඔයාගේ වයසත්, ඔයා ගැහැනු කෙනෙක් වීමත්,පිළිකාවේ වර්ගයත් සලකලා බැලුවම මේ පිළිකාව සම්පූර්ණයෙන්ම හොඳ කරන්න පුළුවන් කියල අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඔයාගේ පිළිකාවට කරන්න ඕන කරන පළමු ප්‍රතිකාරය අපි දැන් කරලා ඉවරයි. ඊළගට කරන්න තියෙන ප්‍රතිකාර ටික කරගන්න අපි ඔයාව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කරනවා.
මේ පටක වාර්තාව නැති කරගන්න එපා. කවුරු ඉල්ලුවත් ඡායාරූප පිටපතක් දීලා මුල් පිටපත සුරක්ෂිතව තියාගන්න.’ යොමුකිරීමේ ලිපිය ඇයට දෙමින් වෛද්‍යවරයා ඇයට කිවා.
දින කිහිපහයක් ගත වීමටත් පෙර ඇය පිළිකා සායනයට තම මව සමග ආවා.
යොමු කිරීමේ ලිපියත් පටක වාර්ථාවත් හොදින් කියවා බැලු පිළිකා රෝග විශේෂඥ වෛද්යවරවරයා කතාව පටන් ගත්තා.
‘ඔයාව අද මේ සායනයට එව්වෙ මොකටද කියල දන්නවද?’
තම මව දෙස කිහිපවරක් බැලූ ඇය කතාව පටන්ගත්තා.
‘ඩොක්ටර්, මගේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඔපරේෂන් එකකින් අයින් කරා. පිළිකාවක් තිබුණ නිසයි එහෙම කරේ. ඔපරේෂන් එකෙන් පස්සෙ කරන්න තියෙන අනෙක් ප්‍රතිකාර කරගන්න තමයි මේ සායනයට එව්වේ.’
‘හොඳයි ඔයා විස්තරය හොඳටම දන්නවා. ඔයාට තිබුණ පිළිකාව නැවත මතුවෙන්න තියෙන අවස්ථාව නැති කරන එක තමයි ඊළගට කරන ප්රතිකාරවලින් කරන්නෙ. මින් පළමු ප්‍රතිකාරය තමයි විකිරණශිලී අයඩීන් ප්‍රතිකාරය. දෙවෙනි එක තමයි TSH හෝමොනය යටපත් කිරීමට සමත් වන ලෙසට තයිරොකිසින් හොර්මෝනය ලබාදීම.’
‘අපි කොහොමද මේ ප්‍රතිකාර පටන් ගන්නෙ ඩොක්ටර්?’ මෙතෙක් වෙලා නිහඩව සිටි පෙරේරා මහත්මිය කතා කරන්නට වුණා.
‘අයඩින් ප්‍රතිකාරය කරන්න අපි සූදානම් වෙන්න ඕන. කිසිම පොරෙත්තු ලේඛනයක ඉන්නෙ නැතිව ප්‍රතිකාරය කරගන්න පුළුවන්. හැබැයි සති හතරක විතර කාලයක් ප්‍රතිකාරයට සූදානම් වෙන්න ගතවෙනවා. මේ කාලයේදී පූුර්ණ දත් පරික්ෂාවක් කරගන්න වෙනවා. ඒකට හේතුව විකිරණශීලි අයඩීන් ප්‍රතිකාරය දත්වලට යම් බලපෑමක් ඇති කරන්න පුළුවන් වීමයි.
දත් සුද්ද කිරීම,පිරවීම ගැළවීමට තරම් නරක් වූ දත් තියෙනවා නම් ඒවා ගැළවීම කරගන්නත් වෙනවා. ඊට අමතරව ඔපරේෂන් එකෙන් පස්සේ තයිරොයිඩ් ග්‍රන්ථිය තිබුන තැන තවමත් තයිරොයිඩ් පටක විශාල වශයෙන් ඉතුරු වෙලා තියෙනවද කියලා බලන්න නැවත අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවක් බෙල්ල ආශ්‍රිතව කරන්න වෙනවා. මේ දෙකම පළමු සතිය ඇතුළත කරගන්න.’
‘ඒ කියන්නේ ඩොක්ටර් මේ ප්‍රතිකාරය කරාට පස්සේ මගේ දත් ටික හොඳටම සවුත්තු
වෙනවා කියලද?’
‘නෑ නෑ එහෙම වෙන්නේ නෑ. එහෙම නොවෙන්න ඕන නිසා තමයි සියලුම පෙර සූදානම් වැඩ කරගන්න ඕන. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නෑ’
‘ඔපරේෂන් එකට කලිනුත් ස්කෑන් එකක් කරපු නිසා ආයෙත් ස්කෑන් එකක් කරගන්නම ඕනෙද?’
‘කලින් ස්කෑන් එක කළේ පිළිකා ගෙඩිය ගැන විස්තර බලන්න. දැන් ඒ ගෙඩිය නෑනේ. ඒක ඔපරේෂන් එකෙන් තයිරොයිඩ් ග්‍රන්ථයත් එක්කම අයින් කරලා තියෙන්නේ. හැබැයි විකිරණශීලී අයඩින් ප්‍රතිකාරය කරන්න කලින් අපි දැනගන්න ඕනෙ තයිරොයිඩ් ග්‍රන්ථියේ කොටස් ඔපරේෂන් එකට පස්සේත් ඉතුරු වෙලා තවම තියෙනවද කියලා.
ඉතා කුඩා කොටස් ඉතුරු වෙලා තිබුනට නම් කමක් නෑ. හැබැයි විශාල කොටස් ඉතුරු වෙලා තිබුණොත් අයඩින් ප්‍රතිකාරයෙන් පසුව තරමක් වැඩි අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්. අනික සැක සහිත කුද්දැටි තිබුණ ඒවත් සම්පූර්ණයෙන්ම ඉවත් කෙරිලද කියලත් දැනගන්න ඕන. මෙන්න මේ තොරතුරු දැනගැනීම ඉතාම වැදගත් නිසා තමයි ආයෙත් ස්කෑන් එකක් කරන්න වෙන්නේ.’
‘හරි ඩොක්ටර් මට දැන් තේරෙනවා. බැරිවෙලාවත් තයිරොයිඩ් ග්‍රන්ථියේ ලොකු කොටස් ඉතුරු වෙලා තිබුණොත් මොකද කරන්නේ?’
‘එතකොට නම් අපිට වැඩේ ටිකක් අමාරු වෙනවා. ආයෙත් ඔපරේෂන් එකක් කරලා ඒ කොටස් පුළුවන් තරම් ඉවත් කරන්න වෙනවා. හැබැයි මෙහෙම වෙන්නෙ ඉතාම කලාතුරකින්.’
‘මට එහෙම වෙන එකක් නෑ ඩොක්ටර්. එතකොට මට කවදද අයිඩින් ප්‍රතිකාරය ගන්න පුළුවන් වෙන්නේ?’
‘හැමතිස්සෙම ධනාත්මකව හිතන එක හොඳයි. අපි තයිරොක්සින් පෙති බීම නතර කරන්නේ අඟහරුවාද දවසක. මේ දවස රෝහලකින් රෝහලකට වෙනස් වෙන්න පුළුවන්. මේ තයිරොක්සින් පෙති බීම නතර කරන දිනයේ ඉඳන් හරියටම සති හතරකින් එන අඟහරුවාදා දවසේ උදේ වරුවේ අපිට අයිඩින් ප්‍රතිකාරය කරගන්න පුළුවන්.’
‘ඩොක්ටර් මට ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙලා ඉන්නත් වෙයිද?’
‘නෑ. ඔයාගේ පිළිකාවේ ප්‍රමාණය අනුව මිලි කියුරි 30ක කුඩා මාත්‍රාව හොඳටම ඇති. ශ්‍රී ලංකාවේ අයඩින් ප්‍රතිකාරය ලබා ගන්නා පිළිකා රෝගීන්ගෙන් 90%කටම මෙම මාත්‍රාව හොඳටම ප්‍රමාණවත්. ඔයාගේ අයඩින් ප්‍රතිකාරය අපි කරන්නේ OPD එකේ. ඒ කියන්නේ ඇඩ්මිට් කරන්නේ නැතිව.’
‘ඒක නම් ලොකු සහනයක් ඩොක්ටර්. ඔපරේෂන් එකටත් ඇඩ්මින්ට් වෙලා දවස් කීපයක් ඉන්න වුනානේ.’
‘ඊළඟට අපි බලමු අයඩින් ප්‍රතිකාරය සාර්ථකව කරගන්න තව මොනවද කරන්න තියෙන්නේ කියලා. ප්‍රතිකාරයට සති දෙකකට කලින් ඔයාගේ කෑම බීම ටිකක් වෙනස් කරන්න වෙනවා. හැබැයි මේ කෑම වෙනස් කිරීම එහෙමත් නැත්නම් සීමා කිරීම කරන්නේ ඉතිරි වෙලා තිබෙන තයිරොයිඩ් සෛල හෝ පිළිකා සෛල වලට අයඩින් ඉතා හොඳින් උරා ගැනීම පහසුකිරීමටයි. එහෙම නැතිව පිළිකාවට හොඳ නැති නිසා එහෙම නෙවෙයි. ඒ නිසා තැන තැන ගිහිල්ල කියන්න එහෙම එපා, මේ කෑම කන්න එපා, පිළිකා වලට හොඳ නැහැ කියල ඩොක්ටර් කිව්ව කියලා’
‘අනේ නෑ ඩොක්ටර් අපි එහෙම මෝඩ කතා කියන්නේ නෑ.’
‘හොඳයි එහෙනම් බලමු මොනවද මේ කාලෙදි කෑමට ගන්නේ නැතිව ඉන්න ඕනේ කියලා. මුහුදෙන් ගන්න කිසිම දෙයක් කන්න එපා. ඒ කියන්නේ මාලු, ඉස්සො, දැල්ලො, පොකිරිස්සො, කරවල, හාල්මැස්සො ඒ විතරක් නෙවෙයි මුහුදු පැළෑටි ආදියත් ආහාරයට ගැනීමෙන් වළකින්න ඕන. නිවිති, ගෝවා, රාබු, බ්රෝකලි, නෝකෝල් ආදී එළවලුත් ආහාරයට ගන්න එපා.
බිත්තර, බටර් වගේම ඒවා දාලා හදන කේක්, බිස්කට් ආදී බේකරි කෑමත් කන්න එපා. එළකිරි, එළුකිරි ආදී සත්ත්ව කිරිත් ඒවා දාලා හදන චොක්ලට්, අයිස්ක්‍රීම්, චීස්, මුදවාපු කිරි වගේ කෑමත් මේ කාලයේදී කන්න එපා. ‘ටේක්අවේ ෆුඩ්’, ‘ක්ෂණික ආහාර’ සහ ‘රෙස්ටුරන්ට් ෆුඩ්’ මේ කාලයේදී කන්න එපා. මොකද මේවා හදනකොට මොනවා දානවද කියලා දන්නේ නැති නිසා. මුහුදෙන් ගන්න දියලුණු ආහාරයට එක් කරන්න එපා.
ඒ වෙනුවට රාජ්‍ය ඔසු සැලකින් මේ රෝගීන් සඳහා පාවිච්චියට සෑදූ පිරිසුදු ‘සෝඩියම් ක්ලෝරයිඩ්’ පමණක් යොදාගන්න. වෙළඳපොලේ අයඩින් නැති දියලුණු කියල වෙනත් ලුණු වර්ග විකුණන්නට තිබුණත් ඒවා ගැන වැඩි විශ්වාසයක් තබන්න බෑ. මේ කාලයේදී කැල්සියම් සහ විටමින් ඩී හැර වෙනත් කිසිම මල්ටි විටමින් වර්ගයක් හෝ මිනරල් වර්ග පාවිච්චියට ගන්න එපා.
තවද විකිරණශීලී අයිඩීන් ප්‍රතිකාරයට දින හතකට කලින් සිට කැස්සට ගන්න පණි වර්ග, කාබිමසෝල්පෙති, ලිතියම් කාබනේට්, ඇමියඩෙරොන් ආදී බෙහෙත් ගන්න හොඳ නැහැ. තමුන් දැනටමත් ඒවා ගන්නවා නම් තම වෛද්‍යවරයාට දන්වා ඒ වෙනුවට ආදේශක බෙහෙතක් ලබාගන්න ඕනේ.’
‘අයියෝ ඩොක්ටර් එතකොට කන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑනේ.’
‘මොකෝ නැත්තෙ. කොච්චර දේවල් තව තියෙනවද. පලතුරු, අල වර්ග, ධාන්‍ය වර්ග මේවා කන්න පුළුවන්. අනික මේ ආහාර පාලනය තියෙන්නේ බොහොම ටික දවසකටනේ. අයඩින් ප්‍රතිකාරය ඉවරවෙලා සතියකින් විතර තමන්ගේ සිරුරෙන් පිටවන විකිරණ උපයෝගී කරගෙන ගැමා ස්කෑන් පරීක්ෂණයක් කරනවා. ඒක කරලා ඉවර වුණ ගමන් නැවත පරණ විදිහටම ඕන කෑමක් කන්නත් පුළුවන්. එතකොට නැවත තයිරොක්සීන් පෙති බොන්න පටන් ගන්නත් ඕනෙ.”
‘අයිඩින් ප්‍රතිකාරයට කලින් තව මොනවද කරන්න ඕනේ ඩොක්ටර්?’
‘අයඩින් ප්‍රතිකාරයට එන්න දිනකට පමණ කලින් TSH කියන රුධිර පරීක්ෂාව කරන්න ඕනේ. මේ පරීක්ෂාවේ ප්‍රතිඵලය සාමාන්‍ය අගයට වඩා ගොඩක් වැඩියි කියලා බයවෙන්න එහෙම එපා. ප්‍රතිකාරය සාර්ථක වෙන්න නම් TSH අගය සාමාන්‍ය අගයට වඩා ගොඩක් වැඩි වෙන්නම ඕන. අයිඩින් ප්‍රතිකාරයට එනකොට පැය හතරක් විතර නොකා නොබී හිස් බඩ එන්න ඕනේ. ’
තවත් ලිපියකින් අයඩින් ප්‍රතිකාරය ලබාදෙන විදියත් ඊට පසු පිළිපැදිය යුතු කරුණුත් කතාකරමු.
හරින්දී ලියනගේ ✍️