මහ පාරේ දුවන බස් පදින්න පුළුවන් කොල්ලන්ට විතරයි ද අනේ මටත් මේ වගේ බස් එකක් පදින්න තිබුණ නම් කියලා හිතන්නෙ කොල්ලො විතරයි ද? නෑ, ගෑනූ ළමයින්ටත් එහෙම හීන ඇති වෙනවා. හීන හීනම වෙන්න නොදී ඒ හීනයට පණ දුන්නු සාම්ප්රදායික රාමුවෙන් එහාට පැනපු ගෑනූ ළමයෙක් අපිට හම්බවුණා.
බස් පදින්න හීන දැකලා ඒ හීනේට පණ දුන්නු ඔයා කවුද?
මගේ නම පූර්ණිමා අවිශ්කා. මගේ පාසල ජී.බී සේනානායක ජාතික පාසල. මම ඉන්නේ ජා ඇල
ඇයි ඔයාට හිතුනේ බස් පදින්න?
පොඩි කාලේ ඉඳන්ම මං බස්වලට කැමතියි. අපේ ගෙදර බස් තියෙනවා. තාත්තා පදිනවා, අයියල පදිනවා.මටත් හිතුණා දවසක මාත් මේ වගේ බස් පදිනවා කියලා.
කවුද ඔයාට බස් පදින්න ඉගැන්නුවෙ ?
තාත්තා තමයි මට ඉගැන්නුවෙ බස් පදින්න. ඊටපස්සෙ අයියලාගෙනුත් ඉගෙනගත්තා. එයාලා තමයි මගේ ගුරුවරු වුණේ.
මුලින්ම බස් එක පදින වෙලාවේ හිතුණේ මොනවද ?
ගොඩාක් බය හිතුණා. ගොඩාක් ලොකු බස් එකක්. මට මේක කරන්න පුළුවන් කියලා මන් මටම කියාගත්තා. මගේ හිතේ තියෙන බයට වඩා බස් වලට මම ආදරෙයි. ඒ නිසා කොහොම හරි පදින්න පුළුවන් වුණා.
අනිත් වාහනත් පදින්න පුළුවන් ද ?
ඔව් පුළුවන්. ලොරි, කාර්, බයික් ඕන එකක් මට පදින්න පුළුවන්. මට ලයිසන් තියෙනවා.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද ?
ගෙදරින් ගොඩාක් ලොකු සහයෝගයක් ලැබෙනවා. මට බස් පදින්න ඕනෙ කියන ආසාව ආවාම මම මුලින්ම කිව්වෙ අයියට. අයියා මට ගොඩාක් සපෝට් කළා.
එතකොට තාත්තා තමයි මගේ පළවෙනි ගුරුවරයා වුණේ. අම්මත් ආසයි මම බස් පදිනවට. ඇත්තටම ගොඩාක් ලොකු සපෝට් එකක් ලැබෙනවා.
අමතක නොවන සිදුවීමක් එහෙම නැද්ද බස් එළවද්දි සිදු වුණ?
එහෙම සිදුවීමක් කියලා නැහැ. බස් එක පදින්න ගත්ත පළවෙනි දවසම මගේ ජීවිතේ අමතක නොවන දවසක්. මම ගෑණු ළමයෙක් විදිහට බස් එකක් පදිනවා කියන්නෙම අමතක නොවන දෙයක් තමයි.
දැනට බස් පැදලා තියෙන්නෙ කොහෙද ?
කැලණියට යනවා. තව මම අනුරාධපුරයටත් ගිහිල්ලා තියෙනවා.
ලැබෙන ප්රතිචාර කොහොමද ?
ගොඩක් කට්ටිය හොඳයි කියලා කිව්වා. මට සුබ පැතුවා.
තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්න හීන දකින ගෑණූ ළමයින්ට දෙන්න කැමති පණිවිඩය මොකක්ද ?
ඔයාගේ හීනය මොකක් වුණත් ඒ වෙනුවෙන් වැඩ කරන්න. අනේ මම ගෑනු ළමයෙක්නේ කියලා හිත හිත ඉන්න එපා. ආපස්සට යන්න එපා. මට මේක පුළුවන් කියලා හිතට අරන් කරන්න. අනිවාර්යයෙන්ම ඔයා සාර්ථක වේවී.
නිපුනි සම්මානි ✍️