ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ආසියානු කුසලානය දිනාගැනීම, 19 හැවිරිදි තරුෂි කරුණාරත්න පැරීසියේ ඔලිම්පික් උළෙලේ මීටර් 800 දිවීම, ඇගේ නම ආසියාවේ ළාබාලතම මීටර් 800 ශූරිය ලෙස ස්විස්ටර්ලන්තයේ ලුසෑන් නුවර ජාත්‍යන්තර ඔලිම්පික් ක්‍රීඩක කෞතුකාගාරයට යෑම, ඒ ඇසිල්ලේම වසර 25කට පසුව ඔලිම්පික් තරගයක දී ශ්‍රී ලංකික ක්‍රීඩක අරුණ දර්ශන ඔහුගේ හොඳම කාලය ලබාගනිමින් මීටර් 400 අවසන් පූර්ව වටයේ දිවීම මෙන්ම හදවතේ ගැඹුරේම තබාගෙන සිටි ක්‍රිකට් ක්‍රීඩාව බිංදුවට එපා වූ ලාංකික ක්‍රිකට් ලෝලීන්ට අස්වැසිල්ලක් දෙමින් ලාංකික ක්‍රිකට් කණ්ඩායම ඔ20 ලෝක ශූරයන් වන ඉන්දියානුවන් සමග එක්දින තරගයක ලකුණු සමකර අනෙක් තරගය පරාජයට පත්කිරීම වැනි කාරණා නිසා ලක්මව පිළිබඳව ලොවම කතා කරන්නටත්ලාංකිකයන්ට ඇගේ අගය වඩාත් වැඩියෙන් දැනෙන්නටත් පටන් ගෙන තිබීම පුදුමයක් නොවේ.
මේ සියල්ල දහසකුත් කැපකිරීම් කරමින් ක්‍රීඩාව වෙනුවෙන් කැපවුණු මේ රටේ කොළඹ දූ දරුවන්ට වඩා පිට පළාත්වල ක්‍රීඩාශීලී දූ දරුවන් නිසා නොවෙද? ඔවුන් බොහොමයක් සමඟ තනි තනිව කතා කළහොත් ඒ කතාවල සාරාංශය වන්නේ පයට හරිහැටි ගැළපෙන සපත්තුවක් නොමැතිව, දුවන්නට කඩතොළු නොමැති පිට්ටනියක් නොමැතිව, විටමින්, අතිරේක පෝෂ්‍යපදාර්ථ තියා සමබල ආහාර වේලක් පවා කුසට නොමැතිව විදේශ පුහුණුවීම් වෙනුවට ඔවුන්ව ඇදගෙන යන පුහුණුකරුවකු සහ ඔවුන්ගේ පවුලේ ශක්තිය පමණක් ඇතිව රට දිනවීමේ වුවමනාව ඔවුන් තුළ දැඩිව තිබීමය.
ලක්මවුනි, ලක්මව පාලනය කරනා දේශපාලන බලධාරීනි, මොහොතක් සිතන්න. ‘හිත ඇත්නම් පත කුඩාද’ යන කියමනට හරියටම ගැළපෙන මෙවැනි දරු පරපුරකට රටේ ජාතික ක්‍රීඩාව කෙසේ වෙතත් ආගමක් ලෙස සලකන ක්‍රිකට්වලට ලබාදෙන සැලකිල්ලෙන්, සංග්‍රහයෙන් දශමයක් හෝ දුන්නේ නම් ලක්මවගේ ගෙල රනින්, රිදියෙන් සහ ලෝකඩෙන් එකපිට එක සැරසීම කාට නම් නැවැත්විය හැකිද?
ලෝකයා ඉදිරියේ බබළන ශ්‍රී ලංකා නාමය ඔබටවත් පාලනය කළ හැකිද? එම නිසා ලද ජයග්‍රහණ අභියස අතපොවා, බලපෑම් කර ඔවුන් තුළ කැලඹීමක් ඇති කිරීමට හීනෙන් වත් නොසිතා ඒ වෙනුවට ඔබේ ශක්තිමත් දෑත් පා පිළිගනිමින් ඔවුන්ගේ බඳවටා ආරක්ෂාකාරීව අත යවමින් ආදරයෙන් රැකගැනීම කළ යුතු වන්නේ ඔවුන් මේ රට වෙනුවෙන් නැගිට ඇති ක්‍රීඩාශීලී දූ දරුවන් වන නිසාය.