ලෝකෙ ගොඩක් මිනිස්සු සිස්ටම් එක වෙනස් කරන්න උත්සාහ කරනවා. අතන වැරදියි මෙතන වැරදියි කියලා කියනවා. හැබැයි තමන් තමන්ගෙ පැත්තට පහනක් දල්වලා බැලුවොත් තමන්ට තමන් තුළ තියෙන අවුල් ටික අහුවෙන්න පටන්ගන්නවා. ඒ විදිහට හැමෝම තමන්ගෙ පැත්තට ආලෝකය හරවලා බැලුවා නම් ගොඩක් අවුල් අපිට නැතිකරගන්න පුළුවන්. තමන්ගෙ පැත්තට පහනක් පත්තු කරගන්නේ නැතුව අවට පරිසරයට පහනක් දල්වන තාක් තමන්ගෙ අවුල් තමන්ට පේන්නෙ නෑ…
පහුගිය දවසක ඉන්දියාවේ සිදුවුණ ස්ත්‍රී දූෂණය වාර්තා වෙලා මිනිස්සු අතර කතාබහට ලක්වුණ සිදුවීමක්, එහෙම වාර්තා වුණේ ඒක ඝාතනයකින් කෙලවර වුණ නිසා. හැබැයි ඝාතනයකින් කෙලවර නොවුණු නමුත් අතවරයක් සිද්ධ වුණ සිදුවීම් ලෝකෙ අනිත් රටවල වගේම ලංකාවෙත් අපමණ සිද්ධ වෙනවා. මගේ සායනික ඉතිහාසය තුළ මට එහෙම සිදුවීම් ඕනතරම් වාර්තා වෙලා තියෙනවා. මේ අතවර සමහරවිට පුද්ගල කණ්ඩායමක් එක්ක වෙන්නත් පුළුවන්. නැත්නම් මුලින්ම එක්කෙනෙක් පටන්ගෙන තව තව අයට විකුණපු අවස්ථාවක් වෙන්නත් පුළුවන්.
මට මෑතකදී මේ වගේ සිදුවීමකට මුහුණ දීපු එක්තරා තරුණියක් මුණගැහුණා. ඒ තරුණිය පිරිමි ළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වලා තියෙනවා. නමුත් දවසක් මේ පිරිමි ළමයා ඇගේ බීම එකකට මත් වෙන්න යමක් දාලා ඇයව දූෂණයකොට තිබුණා. ඒ අවස්ථාවේ ඔහු ඡායාරූප අරගෙන ඒවා තරුණියට පෙන්නලා වරින් වර ඇයට මේ අතවරය කරලා තියෙනවා. මෙවැනි සිදුවීම් බොහෝමයක් මාධ්‍ය වාර්තා නොකෙරුවට මේ ලෝකයේ සිද්ධ වෙනවා.
මේ ලෝකේ හැම මනුස්සයෙක්ටම තියෙනවා ලිංගිකත්වය සම්බන්ධයෙන් තමන් දක්වන කැමැත්ත පිළිබඳ සැකැස්මක්. මානව විද්‍යාවේදී අපි බහුලව කතාකරන මාතෘකාවක් තමයි මේ ලිංගිකත්වය සම්බන්ධ සැකැස්ම.ඉන්දියාව, ලංකාව වගේ රටවලින් වාර්තා වෙන සිද්ධි දැක්කම අපිට තේරෙනවා මේ සැකැස්ම හැදිලා තියෙන්නේ කොහොමද කියලා.
මේ දේවල් නිසයි ලිංගිකත්වය ගැන විධිමත් අධ්‍යාපනයක් අවශ්‍ය. එවැනි අධ්‍යාපනයක් නැති තැන අවිධිමත්ව ඒ දේවල් ඉගෙන ගන්න ගියාම වෙන්නේ මිනිස්සුන්ගේ මේ Sexual Script එක වෙනස් වෙන එක. මෙහි ප්‍රතිඵලයක් විදිහට බොහෝ වෙලාවට අපගමනය වුණ ලිංගික චර්යාවන් පෙන්නුම් කරනවා. විධිමත් නොවන එක් අවස්ථාවක් තමයි අසැබි වීඩියෝ පට නැරඹීමට හුරුවීම. අසැබි වීඩියෝපට තිර පිටපතකට අනුව සිදුවන්නක්. හරියට නාට්‍යයක් වගේ.
ඉතින් මේ නාට්‍යයේ තියෙන දේ සත්‍යයක් කියලා හිතලා ඒ දේ තමන්ගේ සෙක්ෂුවල් ස්ක්‍රිප්ට් එකට එකතු කරගන්නවා. ඒ දේවල් තමන්ගේ ස්ක්‍රිප්ට් එකට දාගත්තම වෙන්නේ අනෙකා මතින් තමන් ඒ දේවල් හොයාගෙන යන එක. ඔය ගැන පර්යේෂණයක් කළොත් එහෙම අසැබි වීඩියෝ පටවල බොහොමයක්ම තියෙන්නෙ පරපීඩකයත්වය කියලා හොයාගන්න පුළුවන්.
මුලින්ම තමන් තමන්ව හොයාගන්න. තමන්ගේ ලිංගික සැකැස්ම ඇතුළෙ තියෙන්නේ අපගමනය වුණ චර්යාද අපගමනය නොවුණ චර්යාද කියලා අඳුනගන්න. මේ නිසා තමයි ලිංගික අධ්‍යාපනය පාසල් කාලෙදිම අවශ්‍ය වෙන්නේ.මොකද පුද්ගලයකුගේ ලිංගික සැකැස්ම හරි විදිහට හැදෙන්න ඕනේ පුංචි කාලෙ ඉඳන්මයි. මම මේ ලිපියට විස්තර කියන්නේ වින්දිතයගේ පැත්තෙ ඉඳන් නෙවෙයි. චූදිතයාගේ පැත්තෙන් බලලා.
ලිංගිකත්වය කියන්නේ ජීව විද්‍යාත්මක උත්තේජනයක්. අසැබි වීඩියෝ පටවලින් කරන්නේ ඒකට තව තව උත්තේජන සපයන එක. කණ්ඩායමක් එකට එකතු වෙලා ඉන්දියාවේ සිද්ධ වුණා වැනි දේකට යොමු වෙන එක ඇතුළේ ඇතැම් වෙලාවට තියෙන්නේ මුළු කණ්ඩායමේම ඒකමතික තීරණයක් නොවෙන්නත් පුළුවන්. සමහර වෙලාවට කණ්ඩායමේ එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගේ කැමැත්තට අනිත් අයට නතු වෙන්න වෙන වෙලාවලුත් තියෙනවා.
ඔය කණ්ඩායමක් ඇතුළෙ ඉන්න අයගේ තියෙන්නේ අවිධිමත් ලිංගික සැකැස්මක් නම් එතකොට කණ්ඩායම් චින්තනය ඇතුළේ හැදෙන්නේ හරිම අවුල්, විෂම ලිංගික සැකැස්මක්. ඒ නිසා අකමැත්තෙන් ඉන්න කෙනෙක් වුණත් නිකන්ම ඒ දේට නැඹුරු වෙනවා.මිනිස්සුන්ට විවිධාකාරයේ ලිංගික උත්තේජනයන් එන්න පුළුවන්.
ඒ උත්තේජනයන් ඇතුළේ සමහර ඒවා එක්තරා විදිහකට සාමාජීය වශයෙන් පිළිගැනීමකට හැකියාවක් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා නිතරම තමන් තුළ තියෙන ලිංගික සැකැස්ම ගැන තමන්ට වගවිභාගයක්, අවධානයක් තියෙන්න ඕනේ. එහෙම නැතිවුණොත් වෙන්නේ ලොකු අවුලක්.
මේ ලෝකයේ සෑහෙන්න සිද්ධවෙන දෙයක් තමයි කුඩා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීම. මේ වගේ සිදුවීම්වලට සමාජයත් වගකිව යුතුයි. සමහර වැඩසටහන්වල පුංචි ළමයින්ව එළියට පෙන්නන්නේ වයසින් මුහුකුරා ගිය චරිත විදිහට. ඒක අනිවාර්යයෙන්ම ලිංගික උත්තේජනයක්.
මේ උත්තේජනය පරපීඩක කාමුකත්වය තියෙන අයට බරපතළ විදිහට බලපානවා. මිනිස්සු විදිහට, සමාජයක් විදිහට මේ ගැනත් අපි අවධානය යොමු කරන්න ඕන. තමන් එළියේ සමාජයට දෙන උත්තේජනයක් කෙනෙක්ට තවත් කෙනෙක්ව පීඩනයට ලක් කරලා හානියක් කරන තරමට බලපාන බව සිතිය යුතුයි.
මනෝ විද්‍යාඥ,
ආචාර්ය අශෝක් ප්‍රියදර්ශන
එරංදි කෞශල්‍යා ✍️