ඇගයීමක් කරන්නම ඕන කොල්ලෙක්
අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී යන කතාව අපේ තරුණ පරපුරට වලංගු වේ. ඒ නිසා ඔවුන් තුළ තිබෙන නවෝත්පාදන හැකියාවන් ගැන සුළුවෙන් සිතන්න බැහැ. තඔුත්තේගම සෝලම පදිංචි ඩබ්ලිව්. එම්. හර්ෂක ප්‍රභාත් ධර්මපාල එවැනි තරුණයෙක්…
ප්‍රභාත්ගේ පාසල් අධ්‍යාපනය ගැන සඳහන් කරනවා නම්…
සෝලම විද්‍යාලයෙන් මම පාසල් ගමන ආරම්භ කළා. සාමාන්‍ය පෙළ වන තෙක්ම මේ පාසලෙන් අධ්‍යාපනය ලැබුවා. උසස් පෙළ වෙනුවෙන් තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලයට ඇතුළත් වුණා. තාක්ෂණවේදයෙන් උසස් පෙළ හැදෑරුවා. දැන් මම රැකියාවක් කරනවා.ප්‍රභාත්ගේ
නවෝත්පාදන විස්තර ගැන සඳහන් කරනවා නම්…
මම මේ වන විට නව නිෂ්පාදන තිහකටත් වඩා හඳුන්වා දී තිබෙනවා. මගේ මුල්ම නවෝත්පාදනය හඳුන්වා දෙන විට මට වයස අවුරුදු 13 යි. ඒ වෙද්දි මම 8 වන ශ්‍රේණියේ ඉගෙණුම ලැබුවේ. 2013 වසරේ මුල්ම නවෝත්පාදනය විදිහට විදුලි උපකරණ අකුණු වැදීම නිසා හානිවීම වළක්වා ගැනීමේ උපකරණයක් නිර්මාණය කළා. ඒ වෙනුවෙන් පළාත් මට්ටමෙන් ජයග්‍රහණයක්ද ලැබුණා.
එතැනින් පසුව මම සෝයා හිටවන යන්ත්‍රයක් නිර්මාණය කළා. මේ යන්ත්‍රයෙන් පොළොවේ කාණු කැපිලා, අවශ්‍ය ප්‍රමාණයට, අවශ්‍ය දුර අනුව සෝයා ඇට වැටෙනවා. එතැනින් පසුව ඒ ඇට පස්වලින් වැහෙනවා. මේ සියල්ලම ස්වයංක්‍රිය ලෙසින් සිදුවන ක්‍රියාවලියක්. මගේ මේ යන්ත්‍රය වෙනුවෙන් පළාත් මට්ටමින් 3 වන ස්ථානය ලැබුණා.
ජපන් ජබර ඉවත් කිරීමට නිර්මාණය කළ නවෝත්පාදනය ගැනත් කියන්න
ජපන් ජබර කියන්නේ ආක්‍රමණශීලී ශාකයක්. අපේ පැත්තේ වැව් වගේම ජලාශත් ජපන් ජබර නිසා විනාශ වෙලා. ඒ විතරක් නොවෙයි ජලාශවලට මුදා හැරෙන පොලිතින් ප්ලාස්ටික් වලිනුත් පාරිසරික විදිහට සිදුවන හානිය වචනයෙන් විස්තර කරන්න බැහැ. මේ හානිය වෙනුවෙන් විකල්ප විසඳුමක් විදිහට මම මේ යන්ත්‍රය නිර්මාණය කළා.
2019 වසරේ නිර්මාණය කළ මේ යන්ත්‍රය කිලෝ 2500 ක් බරයි. වතුර මතුපිට ගමන් කරමින් ජල තලා මතු පිට ව්‍යාප්ත වෙලා තිබෙන ජපන් ජබර වගේම පොලිතින්, ප්ලාස්ටික් වගේ දේවලුත් ගබඩා කරගෙන ඇවිත් ගොඩ බිමේදී නිසි ක්‍රමවේදයකට අනුව බැහැර කරනවා. කියුබ් එකක පමණ ධාරිතාවයක් ගොඩ බිමට ගේනවා. ඉතින් මගේ මේ නිර්මාණය සමස්ත ලංකා දෙවන ස්ථානය ලබාගත්තා.
යන්ත්‍රය නිර්මාණය කරන්න මට මාස අටක් පමණ කාලයක් ගත වුණා. මේ යන්ත්‍රය වෙනුවෙන් ධනය, තාක්ෂණය වගේම ශ්‍රමය සම්පූර්ණයෙන්ම මගේ. මේ වෙනුවෙන් ලක්ෂ පහළොවක් පමණ මුදලක් වැය වුණා. ඒ වගේම කසල ප්‍රතිචක්‍රිකරණය වෙනුවෙනුත් යන්ත්රයකද නිර්මාණය කළා.
වායු ගෝලයේ තිබෙන ජල වාෂ්පවලින් ජලය නිපදවීමේ යන්ත්‍රයක් කිෂ්පාදන කළා. මේ උපකරණයේදී වායු ගෝලයේ තිබෙන වායුව යන්ත්‍රයකට අරගනන්වා. එතැනින් පසුව හයිඩ්රජ්න් සහ ඔක්සිජන් වෙන්කර ගන්නවා. ජලය හැදෙන්නේ හයිඩ්රජන් සහ ඔක්සිජන්වල එකතුවෙන් බව අපි දන්නවා.
ඒ නිසා මේ වායු දෙක පමණක් වෙන් කරගන්නා ක්‍රියාවලියක් යන්ත්‍රය ඇතුළත සිදුවනවා.(ඒ ක්‍රියාවලිය මගේම උත්සාහයක්) දැන් මේ යන්ත්‍රයෙන් වෙන් කරගත් හයිඩ්රජන් සහ ඔක්සිජන්වලින් සැදුණ ජලය වෙනම එකතු වෙනවා.ජලය පිරිසිදුයි. පානයට වුණත් සුදුසුයි. පැය පහක කාලයක් තුළ ජලය ලීටර් එකක් සකස් කරගන්න පුළුවන්. සෙල්සියස් අංශක 34 ට වඩා අඩු උෂ්ණත්වයකදී ජලය පහසුවෙන් නිපදවා ගන්න පුළුවන්.
මේ යන්ත්‍රයේ වාසි…
මේ යන්ත්‍රය ඕනෑම තැනකට පහසුවෙන් ගෙන යන්න පුළුවන්. කාන්තාර ගමනකදී මුහුදු ගමන්වලදී, කඳු නගින විට වනාන්තර සංචාරයන්හිදී ආරක්ෂක මෙහෙයුම්වලදී මේ යන්ත්‍රය වඩාත් ප්‍රයෝජනයි.නමුත් කැලයේ පිපුණ බොහෝ මල් පරවෙන්නෙත් කැලයේම කිව්වොත් වඩාත් නිවරැදියි. හර්ෂකගේ නිර්මාණ වෙනුවෙනුත් මේ කියමන බොහොම සාධාරණයි. තමන්ගේ පුද්ගලික ධනය වැය කරගෙන ඔහු විසින් ඉදිරිපත් කරන ලද මෙම නව නිර්මාණ ප්‍රායෝගිකව විවිධ කටයුතු වෙනුවෙන් ආදේශ කිරීමට පුළුවන්.
නමුත් ඔහුගේ නිර්මාණ ඒ අවස්ථාවට පමණක් ඇගයීමට ලක්වනවා. සහතියකුත් ලැබෙනවා. එතැනින් පසුව කතාබහට ලක්වන්නේ නැහැ. මේ නිසාම හර්ෂක ඔහුගේ වටිනා නිර්මාණ පරණ යකඩවලට විකුණන තැනට පත්වෙලා.වයස අවුරුදු 24 ක තරුණයකුගේ මේ නිර්මාණශීලී වෑයම සැබැවින්ම අගය කළ යුතුයි.
ඒ විතරක් නොවෙයි මේ වගේ වැඩ පහසු කරන යන්ත්‍රෝපකරණ වෙනුවෙන් වෙළෙඳපොළක් නිර්මාණය වෙනවා නම් තව තවත් නව නිපැයුම් කරන නිර්මාණකරුවන් බිහිවේවි. ඒත් අද කඩදාසියකින් පමණක් ඇගයීම ලබාදෙන අපේ රටේ යාන්ත්‍රනය නිසා මෙවැනි බුද්ධිමත් තරුණයන්ට ඇගයීමක් නොමැති වීම සැබැවින්ම ශෝචනීය තත්ත්වයක් නොවන්නේද?
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️