දරුවෝ වුණත් පෙර වෛරක්කාරයෝ මේ වගේ කියන දෙමව්පියන් අප අතර සිටිනවා. ඒ වගේම දෙමව්පියෝ වුණත් ඉස්සර ආත්මයක වෛරක්කාරයෝ, මේ වගේ කියන දරුවන් ගැනත් ඔබ අසා ඇති. සිත කිලිටි කරන බද්ධ වෛරය හෙවත් ‘උපනාහ’ නිසා සසර පුරාම පළිගැනීමේ චේතනාවෙන් සැරිසරන කථා පුවත් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ස්වභාවය ‘ධාතු සංසන්දය’ යනුවෙන් හඳුන්වා තිබෙනවා….
වෛර කරන පුද්ගලයා පළිගැනීමෙන් සතුටු වනවා..
යම් පුද්ගලයෙක් වෛරයෙන් ජීවත් වෙනවා නම් ඔහු තවත් පුද්ගලයකුට රිදවා සතුටු වෙනවා. එය පළිගැනීමක් විදිහට අප හඳුන්වමු. අද අප අතර මේ අන්දමින් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කරන චරිත අනන්තවත් ඔබට හමු වී ඇති.
නහි වේරේන වේරානි- සම්මන්තීධ කුදාචනං
අවේරේනච සමමන්ති- ඒස ධම්මෝ සනන්තනෝ
වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැහැ. වෛර නොකිරීමෙන් වෛරය සංසිඳෙනවා. මෙය සනාතන ධර්මයක්.
හරියට දෙව්දත් වගේ…
වෛරයෙන් කටයුතු කරන පුද්ගලයා අපි නිතරම දෙව්දත්ට උපමා කරනවා. සේරිවාණිජ ජාතක කථාවේදී වැලිමිටක් උඩ දමා මේ වැලි කැට ගානට මම නුඹට වෛර කරනවා යැයි වූ වෛර චේතනාව නිසාම බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසුවත් දෙව්දතුන්ගේ වෛරය අවසාන වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ එන මග ගල් පෙරළීම, නාලාගිරි ඇතාට රා කළ සොළොසක් පොවා එවීම, දුනුවායන් යොදවා බුද්ධ ශරීරයට තුවාල කිරීමට සැලසුම් කිරීම වැනි විවිධ උපායන් යෙදු බව බුද්ධ චරිතය ආශ්රයෙන් අප දන්නවා.
එක් පිරිමියකු විවාහ කරගත් කාන්තාවට දරුවන් නැති නිසා ඔහුගේ පවුලේ උදවිය දෙවැනි කසාදයක් කරගැනීමට මේ පිරිමියාට බලකරන්න පටන් ගත්තා. පරම්පරාව ගෙනයෑමට දරුවකු අවශ්‍ය නිසා ඔහු අවසානයේදී එයට කැමැති වුණා. නමුත් පළමු බිරිඳත් නිවසේ තබාගත්තා.කාලයක් සමග දෙවැනි විවාහයේ කාන්තාවද ගැබ්ගත්තා. මේ ගැන ඊර්ෂියාවට පත් පළමු බිරිය මේ දරු ගැබ විනාශ කළා. දෙවැනි වරටත් ඇය ගැබ්ගත්තා. ඒ වතාවේදීත් දරු ගැබ විනාශ කළා. තුන්වැනි අවස්ථාවේදී මේ කාන්තාව විසින් දුන් විසට ගර්භණී කාන්තාව දරුගැබත් සමග මිය ගියා. මරණාසන්න අවස්ථාවේදී ඇය මේ විදිහට හිතුවා.
තී මගේ දරුවෝ විනාශ කළා සේම, මම උපනුපන් ආත්මයක් පාසා තිගේ දරුවන් විනාශ කරනවා.ඒ වගේම මේ කාන්තාවන් දෙදෙනාම නැවත උපත ලද හැම අවස්ථාවකදීම තමාගේ දරුවන් විනාශ කළ කාන්තාවගේ දරුවන් විනාශ කළා. ඇය කිකිළියක් වූ විට අනෙක් කාන්තාව බැළලියක් වී ඉපිද පැටවුන් කනවා. මේ අන්දමින් ආත්ම ගණනාවක් පුරා ඇගේ දරුවන් විනාශ කරමින් සංසාරයේ ඇවිද්දා.
එක් ආත්මයක මේ කාන්තාව යක්ෂණියක්ව උපත ලැබුවා. මුලින් දරුවන් විනාශ කළ ස්ත්‍රිය පළමු දරුවා බිහි කළා. යක්ෂනිය ඒ දරුවා කෑවා. දෙවැනි දරුවා සමග ඇය දවසක් වැවට ගියා. එවිට මේ යක්ෂණිය එනු දුටු කාන්තාව දරුවාත් රැගෙන ජේතවනාරාමයට දුව ගියා. යක්ෂණියට විහාර භුමියට ඇතුළු නොවී නැවතුණා. කාන්තාව දරුවා ගෙන ගොස් බුදුරජාණන් වහ්නසේ ඉදිරියේ තබා ඇගේ දුක කිව්වා. බුදුරජාණන් වහන්සේ යක්ෂණිය ගෙන්වා පූර්වාපර සන්ධි ගළපා වෛරයට නිදාන කථාව දේශනා කළා.
සැබැවින්ම වෛරය අපෙන් අත් හළ යුතු දෙයක්. අපේ හිතේ සාමය ඇති කරගැනීමට නම් වෛරයෙන් දුරුවීම අවශ්‍යයි. බොහෝ දෙනෙක් ඉවසීම යනු වෛරය රැස් කිරීමක් ලෙසින් අද හඳුන්වනවා. තරුණ ජවය තුළ එහෙම හිතුවත් වෛරයේ අදීනව නිසා ඇති වෙන විපත ගැන ඔවුන් සිතන්නේ නැහැ.
පළිගැනීමෙන් සතුටු වෙනවා…
අපේ ජන සමාජයේ බොහෝ දෙනෙක් පළිගැනීමෙන් සතුටට පත් වෙන පිරිසක් බවට පත්ව සිටිනවා. ඉතාම සරලව කිවහොත් අවවාදයක් දෙන ගුරුවරයාගෙන් පවා පළිගැනීමට අද දරුවන් කිසිම පැකිලීමක් නැහැ. ගුරුවරයෙක් අවවාද ලබාදෙන්නේ, දඬුවම් කරන්නේ දරුවා යහමගට යොමුකිරීමට බැව් තේරුම් ගැනීමක් නැහැ.
අපේ ජාතක කථාවක සඳහන් වන අන්දමට තල හොරෙන් කෑ සිසුවාට ගුරුවරයා දඬුවම් කළා. එදා ඔහු ගුරුවරයා සමග වෛර බැන්දා. රාජ්‍යත්වයට පත්ව ගුරුවරයා තමාගේ නුවරට කැඳවා එදා කළ දඬුවමට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බැව් දැනගත් ගුරුතුමා වරදට දඬුවම් දුන් නිසා අද ඔබ රාජ්‍යත්වයට පත් ව සිටින්නට සුදුසුකම් ලැබූ බව කිව්වා. එසේ නොවුනා නම් අද ඔබ රජෙකු නොව, සොරෙකු බැව් පැහැදිලි කර දුන්නා. ඒ නිසා නිතරම ප්‍රශ්නයක් දෙස උපේක්ෂාවෙන් බලන්න.
අද ආයතන ප්‍රධානීන්ට පවා තමන්ගේ භූමිකාව තුළ සතුරන් බිහිවනවා. රාජකාරි භුමිකාවක කළ හැකි සහ කළ නොහැකි දේ තිබෙනවා. තමන්ට යමක් අහිමි වුණ තැන එය අහිමි වීමට හේතුව සොයන්නේ නැහැ. ඒ ගැන වෛරයක් ඇති කරගන්නවා. මරණයකටවත් මම යන්නේ නැහැ යැයි දැඩි වෛරයක් හෙවත් බද්ධ වෛරයක් ඇති කර ගන්නවා.
සාමයට මඟක් සොයන විට…
අද ජාත්‍යන්තරව ඇතිවන ගැටුම්වලදී කිසිදු වරදක් නැති කිරි දරුවන් පවා සාහසික ලෙස මරා දමනවා. ජාතිය, වර්ණය මුල් කරගෙන පවා වෛරයක් ඇති කරගන්නවා. අතීතයේ පටන් මේ බෙදීම් ගොඩනැගී ඇති අතර ඒවා වෛරයෙන්ම පෝෂණය වීම සමග පරම්පරාවෙන් පරම්පරාවටත් පැවැතෙනවා.
නමුත් ඔබට යම් වරදක් සිදු වූ තැන එය හිතින් අමතක කරන්න. කිසිම දිනක වෛරය පෝෂණය කරන්න එපා. ඒ වගේම සමහර අවස්ථාවලදී වෙනත් අය විසින් ඔබේ වෛරය පෝෂණය කරන්නට ඉදිරිපත් විය හැකියි. ඔබ සමග තවත් කෙනෙකු අමනාප වී ඇති විට එය දැනගෙන තව තවත් අමුද්‍රව්‍ය සපයන චරිත අප අතර ඕනෑ තරම් ඉන්නවා.
සමහර අවස්ථාවල වරද සිදුවුණ පුද්ගලයා එය අමතක කරන්නට සූදානම් වුණත්, ඔය ප්රශ්නය ලේසියෙන් අත හරින්න එපා, මේ විදිහට කරන්න යැයි බොර දියේ මාළු බාන චරිත බොහෝයි. ඔබ එවැනි අයගේ උපදෙස් අනුගමනය කිරීම වෙනුවට ප්රශ්නය දෙස බුද්ධියෙන් බලන්න.
කඩතොළු වුණ තැනකට තව තවත් ගැටෙන දේ එකතු වුණ විට එය තව තවත් කැඩෙනු ඇත. ඒ නිසා ඔබ සහ තවත් කෙනකු සමග ගැටුමක්, ප්‍රශ්නයක් ඇති වුණොත් එය එතැනින් අවසාන කරන්න. ඔබේ හිතට එය සුවයක් වෙනු ඇත.
විහාරාධිපති,ධර්මපාඨශාලාචාර්ය,විචිත්‍ර ධර්ම කථික,
පූජ්‍ය සෙවනගල සුමංගල ස්ථවිර
දුටුගැමුණු සෑය,
ශ්‍රී මහා විහාරය,
නවනගරය, ඇඹිලිපිටිය
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️