ලස්සනට ලියනවා කියන්නේ කලාවක්. ඒක හැමෝටම කරන්න බැහැ. නමුත් ඒ ලිවීම ලස්සනට වසර 17 ක් තිස්සේ කරපු නිසා ඇය මාධ්‍ය ඇසුරු කරන්නියක් බවට පත්වුණා. ඇය නමින් හර්ෂණී වීරරත්න. ජාතික පුවත් පත් දෙකක මාධ්‍යවේදිනියක් හැටියට කටයුතු කළ ඈ ලේඛිකාවක විදිහට පසුගිය කාලේ සමාජ ගත වෙනවා.
“ මම මුලින්ම මාධ්‍ය ජීවිතේ ආරම්භ කරන්නේ ළමා ගුවන් විදුලි නිවේදිකාවක් විදිහට, දීර්ඝ කාලයක් නිවේදනයේ යෙදෙන්නේ නැහැ, පසු කාලිනව ජාතික පුවත්පතකට එකතු වෙන්න අවස්ථාව හිමි වෙනවා. ඒ 2007 වර්ෂයේ. අකුරු අමුණලා ලස්සනට ලියන්න ආසාවක් තිබ්බට ලියන්නේ මොන වගේ ෆෝමැට් එකකද කියලා තේරුමක් නැතුව තමයි ලියන්න පටන් ගන්නේ. සම්මුඛ සාකච්ඡා, ෆීචර් ආර්ටිකල් වගේම ප්රවෘත්තී ලියන්නත් පුළුවන් වෙනවා. දිනපතා ලියන නිසා ඒක ප්‍රැක්ටිස් එකක් වෙලා හැම ආරකම ඕනෑම ලිපියක් ලියන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ තමයි ලේඛිකාවක් විදිහට මගේ යම්කිසි දක්ෂතාවයක් එළියට එන්නේ…”
හර්ෂණී අතින් ලියැවෙන මුල්ම කෘතිය වෙන්නේ අගස්ති. ඒ 2014 වර්ෂයේ දී. පසුව අග්‍ර, ශේෂ, දූවිලි, ඊවා ජනගත කරන ඇය මෙවර පොත් මංගල්‍යයට අලුත් කෘතියක් ජනගත කරනවා. මුද්‍රණය වූ ඒ ඇගේ හය වැනි නවකතාවයි. ඒ අසෙලියා නමින්.
“ මගේ මුලින්ම නවකතාව අගස්ති පිටපත් හතරක් මුද්‍රණය වෙනවා, නවකතාවට අලුත් කෙනෙක් හැටියට මම එතැනදි සාර්ථක වෙනවා. ඒත් එක්ක තව ලියන්න ආසාවක් එනවා. මට රූපවාහිනීය නැරඹීමට වඩා කියවීමට හුරු කරපු මගේ තාත්තා නිසා තමයි මම අකුරුවලට හුරු වෙන්නේ. මගේ අම්මා තමයි මගේ ආසාව ඉටු කරන්න මගේ පිටුපසින් හිටියේ. ඒ නිසා ඔවුන් මට වාරණ දැම්මේ නැහැ. ඒ හේතුවෙන් මම පත්තරේ ස්ථිර රැකියාව කරන ගමන් වසරකට නවකතාවක් ලිව්වා. අගස්ති ආදරේ ගැන ලියැවුනු කතාවක් පස්සේ මම හිතුවා වෙනස් දේ එක්ක ලියන්න. අග්‍ර නවකතාව ඇතුළේ ආදරේ විරහව වගේම මොළේ සැත්කමක් ගැන කතා කරනවා. ශේෂ කියන්නේ සත්‍ය කතාවක්. දුවිලි කතාවෙන් තම කුසින් දරුවෙක් බිහි කරන්න බැරි මවකට කුස කුලියට දී දරුවෙක් බිහි කරන ඒ කියන්නේ
Surrogate mother කෙනෙකුගේ කතාවක්. ඊවාත් සත්‍ය කතාවක්, තම සීයා අතින් අනාථ වූ දරුවෙක් ගැබ්ගෙන පසුව ජීවිතේට මුහුණ දෙන හැටි ගැනයි ඉන් කියැවෙන්නේ. ”
ඇය අතින් ලියැවුනු අලුත්ම නවකතාව අසෙලියාත් සත්‍ය කතාවක් මූලික කරගෙන ලියැවුනු කතාවක්, ආදරේ විරහව, අනියම් සම්බන්ධතා, පියයුරු පිළිකාවකින් පියයුරු ඉවත් කළ මවක් දරුවෙකු බිහි කරන හැටිත් මේ කෘතියෙන් කියැවෙනවා. සැමියාගෙන් ලිංගික අඩත්තේට්ටම් හේතුවෙන් මානසිකව වැටෙන බිරින්දෑවරුන් ලංකාවේ ඕනෑතරම් ඉන්නවා. ලංකාවේ දික්කසාද සදහා ඉදිරිපත් වන බොහෝමයක් එවන් සිද්ධි හේතුවෙන් දික්කසාද වෙන්නේ. හර්ෂණී සියුම්ව ඒ සියල්ල පිටු අතරට ගෙන එනවා.
“ වසර හතරක නිහැඩියාවකට පසුව තමයි මම අසෙලියා ලියන්නේ, මම දැන් වසර දෙකකට වඩා විදෙස් ගත වෙලා ජීවත් වෙන්නේ. රැකියාවක් කරන අතරතුර මම අසෙලියා නව කතාව ලිව්වේ. කාර්යබහුල ජීවන රටාවක් එක්ක පොත් ලියන්නත් වෙලාව හොයා ගන්නවා. ඒ වගේම විදෙස්ගත වෙලා හිටියත් තවමත් මම සතිපතා පුවත්පතක් සදහාත් ලිපි ලියනවා..”
හරින්දි ලියනගේ