නිම්මි මනෝහාරි
නිම්මි මනෝහාරි කියන්නෙ ඇය රඟපෑ පළමු ටෙලි නාට්‍යයෙන්ම ප්‍රේක්ෂකයන් තුළ අතිශය ජනාදරයට පත් තරුණ රංගන ශිල්පිණියක්. ‘නාඩගම්කාරයො’ ඔස්සේ ඇය රඟපෑ ‘පොඩ්ඩි’ චරිතයට අනෙක් චරිතවලට වගේම මිනිස්සු ආදරේ කළා. මේ දවස්වල ඇයගේ අලුත්ම නිර්මාණයකුත් ටෙලි තිරයේ ඔබට දැකබලාගන්න පුළුවන්. අද කතාබහ අපේ කලා ලෝකෙ ‘පොඩ්ඩි’ නිම්මි මනෝහාරි එක්ක…
නිම්මි මොනවද මේ දවස්වල විස්තර?
මේ දවස්වල විශේෂ කලා කටයුත්තක් නෑ. ඒ නිසා විවේකයෙන් ඉන්නවා. ජාතික රූපවාහිනියේ රාත්‍රී 8.30ට ‘වියළි’ ටෙලි නාට්‍යය විකාශනය වෙනවා. පසුගිය මාසෙ ඒ ටෙලි නාට්‍යයේ රූගතකිරීම් අවසන් වුණා.
තාමත් ‘පොඩ්ඩි’ ව හැමෝටම මතකයි නේද?
ඔව්. නාඩගම්කාරයො ටෙලිනාට්‍යයේ පොඩ්ඩිව තාමත් ප්‍රේක්ෂකයන්ට මතකයි. ඒකට හේතුව නාඩගම්කාරයො බොහෝම ජනගත වුණ නාට්‍යයක්. ඒ නිසා පොඩ්ඩි විතරක් නෙවේ සියලුම චරිත තාමත් මිනිස්සුන්ට මතකයි. නාට්‍ය ඉවර වෙලා අවුරුදු කීපයක් ගෙවුණත් තාමත් මිනිස්සුන්ට මතක එක ගැන ගොඩක් සතුටුයි. මිනිස්සුන්ගෙ හිතේ රැඳුණ චරිතයකින් රංගන ක්ෂේත්රයට පිවිසීම ඊට වඩා සතුටක්.
ඒ චරිතෙන් මෙච්චර ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබන්න පුළුවන් වෙයි කියලා හිතුවද?
නැහැ. ඇත්තටම නෑ. මං රංගනයට පිවිසීම සිද්ධ වෙන්නෙත් අම්මගෙ බලකිරීම මත. අම්මගෙ බලාපොරොත්තුවක් තිබුණා රෑපවාහිනී තිරය තුළින් මාව දකින්න. නමුත් මට එච්චර ලොකු කැමැත්තක් තිබුණේ නෑ නිදහස කියන දේට මම ලොකු තැනක් දෙන්න කැමති කෙනෙක් නිසා. නමුත් කොහොම හරි මම කලා ක්ෂේත්රයට පිවිසුණා. දැන් මට කලාව මගේ ජීවිතේ කොටසක් වෙලා.
නිම්මි මොනවගේ චරිතයක්ද?
නිම්මි කියන්නෙ හරිම සරල ගෑනු ළමයෙක්. ඒ වගේම ලද දෙයින් සතුටු වෙලා තමන්ගෙ මහන්සියෙන් ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. ප්‍රශ්න නැතුව නෙවේ. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. නමුත් හැම මොහොතකම හිනා වෙලා ඉන්න උත්සාහ කරනවා.
ගෙවල් නුවරනේ. කොළඹ තනියමද නිම්මි ඉන්නෙ?
ඔව්. මගේ ගෙවල් පේරාදෙණියේ. කොළඹ ආපු මුල් කාලෙ දේශගුණයට හුරු වෙන්න පොඩ්ඩක් අපහසු වුණා. අනිත් එක පොඩි කාලෙ ඉඳන් මම තනියම හැදුණ කෙනෙක්. ඒ නිසා තනියම ජීවත් වෙන්න ලොකු අපහසුතාවයක් නෑ. දැන්නම් මම කොළඹට හුරුවෙලා.
පවුලෙ කවුද ඉන්නෙ?
අම්මයි තාත්තයි මල්ලියි. ඊට අමතරව බල්ලො දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නුවර. අනිත් කෙනා කොළඹ මාත් එක්ක.
සතිශාන්ව මුණගැහෙන්නෙ කොහොමද?
සතිශාන්ව මට මුලින්ම මුණගැහුණෙත් නුවරදිම තමයි. ඒ වෙඩින් එකකදි. මම දෙවෙනි මනමාළිට සහ සතිශාන් දෙවෙනි මනමාළයට හිටියේ. මගේ යෙහෙළියකගේ සහ සතිශාන්ගෙ යහළුවෙකුගේ තමයි වෙඩින් එක. ගොඩක් අය හිතනවා අපි දෙන්නා අතරේ ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා.
නමුත් අපි දෙන්නා අතරේ ප්‍රේම සම්බන්ධයක් නෑ. අපි දෙන්නා හොඳම යාළුවො විදිහට තමයි කතාබහ කරලා ඉන්නෙ. ජීවිතේ සමහර අවස්ථාවලදි සතිශාන් මට ලොකු ශක්තියක් වෙලා තියෙනවා.
කවදා හරි සතිශාන් සහ නිම්මි අතරේ අනිත් අය හිතනවා වගේ සම්බන්ධයක් ඇති වෙයිද?
ඉස්සරහට එහෙම සම්බන්ධයක් ඇති වෙයිද නැද්ද කියන්න දන්නෑ. තවම අපි දෙන්නා අතරේ තියෙන්නේ යාළුකමක්. අපි දෙන්නා ගොඩක් වෙලාවට මුණගැහෙනවා. විනෝද වෙනවා. එහෙම දකින අය හිතනවා අපි දෙන්නා ප්‍රේමවන්තයො කියලා.
ඔහුගෙන් ලැබෙන්නෙ මොන වගේ සහායක්ද?
කලා ජීවිතයට නෙවේ. නමුත් පෞද්ගලික ජීවිතේ ප්‍රශ්නවලදි යාළුවෙක් විදිහට ඔහු මට ගොඩක් උදව් කරනවා.
නිම්මි හිතන්නෙ ක්ෂේත්‍ර දෙකක නියැළෙන දෙන්නෙක් නිසා සාමකාමී බව වැඩිද එකම ෆීල්ඩ් එකේම කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වනවට වඩා?
ජීවිතේ ගන්න ලොකුම තීරණයක් තමයි විවාහය කියන්නේ. ඉතින් මං හිතනවා ආදරේ කරන්න ඔහු හෝ ඇය නියැළෙන ක්ෂේත්රය අදාළ වෙන්නෙ නෑ. ඊට වඩා එහා ගිය මානුෂීයත්වය තමයි දෙන්නෙක් අතරෙ තියෙන්න ඕනෙ. ප්‍රේම සම්බන්ධයක් හෝ යාළුකමක් පවත්වන්න රැකියාව අදාළ වෙන්නෙ නෑ කියලා මං හිතන්නේ. අදාළ වෙන කාරණා තමයි අවංක වීම, හොඳ සන්නිවේදනයක් සහ එකිනෙකාට උදව් කරගන්න එක.
එරංදි කෞශල්‍යා ✍️