අපේ හිතේ බුදරජාණන්වහන්සේ මුල් කරගත් භක්තිය, ගෞරවය නිසා අපි උන්වහන්සේ වෙනුවෙන් විවිධ පූජාවන් පවත්වනවා. මල් පූජා කිරීමත් එවැනි තවත් ආමිස පූජාවක්. වෑත්තෑවේ හිමියන් සඳහන් කරන අන්දමට බුදරජාණන්වහන්සේට පූජා කිරීම සඳහා පරසතු මල් නොමැති වුණත් කැලෑ මල්වලින් හෝ උන්වහන්සේට වන්දනාමාන කිරීම කිසිදු වරදක් නැහැ. ඒ වගේම ගසක පිපී තිබෙන මල් පවා පූජා කරන ගාථාවන් බුදුදහමේ තිබෙනවා. සැරියුත් හාමුදුරුවෝ පදුමුත්තර බුදුරජාණන්වහන්සේගෙන් විවරණ ලබා ගැනීමේදී මල් ආසනයක් සකස් කරමින් පූජා කළා. ගෞතම බුදුරජාණන්වහන්සේ දීපංකර බුදුහාමුදුරුවන්ගෙන් විවරණ ලබා ගැනීමේදීත් මල් පූජා කළා.
මල් පූජා කිරීමේ ආනිශංස
දෙවියන් මිනිසුන් අතර ඉපදුන විට හැමදෙනාගේම ප්‍රියතාවය ඇති වීම ප්‍රිය වචනය නිසා සමාජයේ පිළිගැනීම සිත එකග කර ගැනීමේ හැකියාව ලැබීම බලගතු ප්‍රඥාව ඇති විදසුන් නුවණ ඇති පුද්ගලයෙකු බවට පත්වීම නීරෝගිවීම ප්‍රාර්ථනා පරිදි නිවන් අවබෝධ කර ගැනීමේ හැකියාව.
මල් පූජා කිරීම අනිත්‍ය සිහි ගැන්වීමක්…
බුදුරජාණන්වහ්නසේගේ බුද්ධ ශාසනයේ සුපිපි සුවඳ මල් පූජාවන් ගැන සඳහන් වෙනවා. බුදුදහමේ ඉගැන්වීම අනුව මල් පූජා කිරීමෙන් අපට ජීවිතයේ අනිත්‍ය සංකේතවත් කරනවා.
වණ්ණගන්ධගුණෝපේතං-ඒතං කුසුම සන්තතිං
පූජයාමි මුනින්දස්ස- සිරිපාදේ සරෝරුහේ
පැහැ සුවඳ ගුණ ඇති- මේ පියකරු වූ මල් රැස පුදමි බුදු සමිදුට- සිරි පා පියුම් අබියස
පූජේමි බුද්ධං කුසුමේනනෙන
පුඥ්ඥෙන මේතෙන ලභාබි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉදං මේ- කායො
තථායාති විනාස භාවං
මල් පිදූ කුසලෙන්- සැනසෙමි නිවන් සුවයෙන් පරව යන මල් සේ- මාගේ කයත් වැනසේ…
ඉහතින් දැක්වෙන අන්දමට මල් පූජා කිරීම නිසා අප එක් අතකින් බුදුරජාණණ්වහන්සේට ගෞරවයක් දක්වනවා. ඒ වගේම මල් පරව යන සේ අපේ ජීවිතයද අනිත්‍ය බවට වූ පණිවිඩය අපේ හිතට ලැබෙනවා. එය සැබැවින්ම භාවනාවක්. මල් පූජා කිරීම සමඟ ඒ පුද්ගලයාගේ ශිල සංවරය ඇති වීම, බුද්ධාලම්බන ප්‍රිතිය ඇතිවීම, ජීවිතෙයේ අනිත්‍ය බැව් නිරීක්ෂණය ඇති වෙනවා.
විවිධ මල් සහ දහස් ගණනින් මල් පූජා කිරීම…
අද වනවිට අපේ පූජා විධි බෙහෙවින් වෙනස් වී තිබෙනවා. පිච්ච මල්, දහස්පතියා මල්, නිල් මානෙල් මල් ලෙසින් විවිධ වර්ගයේ මල් පූජා කරනවා. ඒ වගේම පිච්ච මල් ලක්ෂයක් වැනි සංඛ්‍යාත්මකවත් යම් යම් අගයකින් යුක්ත මල් පූජා කරනවා. මේවා මහා පූජාවන් ලෙස සැලෙකනවා. සමන්පිච්ච මල ශ්‍රේෂ්ඨ බැව් බුදුරජාණන්වහ්නසේ පවා දේශනා කර තිබෙනවා. මලේ සුවඳ, මෘදු ගුණය අතින් මල් අතරින් සුවඳ මල ලෙසින් “ පිච්ච මල ” සැලකෙනවා.
මහා පූජාවක් සඳහා කාලයක් සූදානම් වීම…
අපි සුළු පූජාවක් සිදු කරන විට එයට පිරිසක් අවශ්‍ය නැහැ. යන එන අතරේ වුණත් මලක් නෙළා ගෙන ගොස් බුදුරජාණන්වහන්සේට පූජා කරනවා. නමුත් දහස් ගණනින් මල් පූජා කිරීමේදී මල් සෙවීම, මල් සකස් කිරීම වෙනුවෙන් විශාල කාලයක් අවශ්‍ය වෙනවා. මේ වෙනුවෙන් පිරිසක් අවශ්‍ය වෙනවා. මේ පිරිස සමග කටයුතු කරන විට ඉවසීම, කැපවීම අවශ්‍ය වෙනවා. මනාව සකස් කරන ලද මල් වට්ටිය දැකීමෙන් හිතේ සතුට ඇති වෙනවා.
මේ අන්දමින් විවිධ මල් වගේම මල් දස දහස් ගණනින් යුක්තව පූජා කිරීම කිසිදු ලෙසින් වරදක් නොවෙයි. එය යම් සම්මුතියක්.නමුත් මේ අන්දමින් විවිධ මල් වර්ග, විවිධ සංඛ්‍යාවෙන් පූජා කළ පමණින්ම අපි ධර්ම මාර්ගයට යොමු වෙන්නේ නැහැ. නමුත් මේ අන්දමින් මල් පූජා කිරීම එක්තරා ආකාරයක අපේ හිතට පෙර සූදානමක් ඇති කරනවා.
සරලව කිව්වොත් වේදනාවක් ඇති වෙලාවක ලබාදෙන වේදනා නාශකයක් වගේ. නමුත් අපි රෝගයක් නිසා ඇති වෙන වේදනාවකට වේදනා නාශකයක් විදිහට ලබා ගෙන එයින් සහනයක් ලැබුවත් රෝගයට ප්‍රතිකාර අවශ්‍ය වෙනවා.
ඒ වගේ තමයි. අපි මල් දහස් ගණනින් මල් පූජා කිරීමෙන් සිතේ ඇති වෙන පහන්සිත වගේම බුදුරජාණන්වහන්සේගේ ධර්ම මාර්ගය අනුගමනය කිරීමට අවශ්‍ය හිතේ සන්සුන් බව ගොඩනැගෙනවා. ඔබ පානදුරේ අරිය ධමම් ස්වාමින් වහන්සේ ගැන දන්නවා. උන්වහන්සේ ධර්ම ප්‍රචාරණ කටයුතුවලදී බෝධි පූජාවන් වෙනුවෙන් ප්‍රසිද්ධිය ලැබුවා.
ඒ වගේම උන්වහන්සේ බෝධි වන්දනා ගාථාවන් කවියෙන් ඉදිරිපත් කළා. මව්ගුණ ගැන තරුණ සිත් ආමන්ත්‍රණය කළා. ඒ නිසා තරුණයන් දහස් ගණනින් යහ මාර්ගයට යොමු වුණා. මේ වගේ සමාජ විපර්යාසයක් සිදු වීමට අපේ හිතට යම් උත්තේජනයක් අවශ්‍ය වෙනවා. ඒ උත්තේජනය කියන්නේ ධර්ම මාර්ගය අනුගමනය කිරීමට අපේ හිත සූදානම් කිරීමක්.විශේෂ අවස්ථාවන්හි සතුට, දුක සංකේතවත් කිරීමට මල්.
අපි දන්නවා අපේ සංස්කෘතිය තුළ වුණත් දුක සංකේතවත් කිරීමට මල් යොදා ගන්නවා. ඒ වගේම සමුගැනීමක්, පිළිගැනීමක් වගේම රෝගියෙකු සුවපත් වීමට ආශිර්වාද කරමින් මල් පිළිගන්වනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ජීවිතයේ බොහෝ අවස්ථාවන් සංකේතවත් කිරීමට මල් යොදා ගන්නවා. ඒ වෙනුවෙන් විශේෂිත මල් නැහැ. ඒ අවස්ථාවේ බහුලව තිබෙන මල්වලින් ඔවුන් තමන්ගේ සතුට, දුක සංකේතවත් කරනවා. මේ හැම අවස්ථාවකදීම මම ඇමරිකානු ජාතිකයන්ට කියන්නේ මලක් කියන්නේ ජීවිතයේ අනිත්‍ය බව අපට ඇස් ඉදිරිපිට පෙන්වන අවස්ථාවක්. මේ යථාර්ථයට අපි මුහුණ දිය යුතුයි.
එය අවබෝධ කරගෙන කටයුතු කිරීම වැදගත්. බුද්ධ ධර්මයෙන් අපට කියා දෙන “ සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය…’ කියන ඉගැන්වීම මල් පූජාවෙන් දකින්න පුළුවනි. ඒ නිසා දහස් ගණනින් මල් පූජාවේ කිසිම වරදක් නැහැ. එය හිතේ ශ්‍රද්ධාවෙන් කරන කාර්යයක්. නමුත් මල් පූජාවෙන් පමණක් බුදුරජාණ්වහන්සේ විසින් අපට ඉගැන්වූ ධර්ම මාර්ගයට අප යොමු වෙන්නේ නැහැ. ඒ නිසා මල් පූජා කිරීමෙන් ඔබ කුසලයක් අත්පත් කර ගන්නා සේම අවබෝධඥානයෙන් කටයුතු කිරීමත් ඉතා වැදගත්.
ඇමරිකා එක්සත් ජනපදයේ
“බ්ලූ ලෝටස් ”බෞද්ධ විහාරාධිපති
පූජ්‍ය පේරාදෙණියේ
සුජාත ස්වාමින් වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා