මේ ලිපිය පටන් ගැනීමෙදි විශේෂයෙන්ම කියන්න ඕන ශිෂ්‍යත්ව විභාග කාලෙදි බොහෝ දරුවන් පිරිසක් මානසික ආතතිය නිසා මං ගාවට ප්‍රතිකාර ලබාගන්න ඇවිත් තියෙනවා. මේ හේතුව නිසාම මං විශේෂයෙන් හෙව්වා ඇයි මෙහෙම ශිෂ්‍යත්ව කාලෙට ළමයි වැඩියෙන් මානසික පීඩනයට ලක්වෙන්නේ කියලා.
පසුව මොළය සම්බන්ධ ස්නායු පිළිබඳ හැදෑරීමක් කළා. එතනදි මට අවබෝධ වුණා මෙවැනි දෙයක්. ෆින්ලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය වගේ ගොඩක් රටවල නිර්මාණය කරලා තියෙන්නෙ දරුවන්ට අවුරුදු 10 තෙක් විනෝදකාමී, නිදහස් ඉගෙනුම් පරිසරයක්. අවුරුදු 10න් පස්සේ තරමක් අපහසු අධ්‍යාපන රටාවක් තිබුණත් ඒ වෙද්දී දරුවා ඒකට හැඩගැසී අවසන්.
ඉපදෙනකොට දරුවෙක්ගෙ මොළය හැදිලා තියෙන්නේ 25%යි. ඉතුරු 75% දරුවම හදාගන්න ඕනේ. මිනිස් මොළයක් පුංචි කාලෙ ඉඳන් ගොඩනගනකොට මාර්ගෝපදේශයක් තියෙනවා. ඒවා අපිට උල්ලංඝනය කරන්න බෑ. මොළය වැඩෙන කාලෙදි දැඩි ආතතියක් දරුවට දෙන්න හොඳ නෑ.
මොළයට අදාළ නෑ මේ ළමයා ශිෂ්‍යත්වයට සූදානම් වෙනවද සින්දුවක් කියනවද චිත්‍රයක් අඳිනවද කියන එක. මොළයට දරාගන්න පුළුවන් පීඩන සීමාවක් තියෙනවා. ඒ සීමාව පැන්නොත් මොළයට හානි සිද්ධ වනවා. මොළය කියන්නේ ඉතාම සංවේදී අවයවයක්. මොළයට හානිවීම දරුවාගේ පෞරුෂයටත් බලපානවා.
දරාගැනීම නැතිවෙනවා. මේ හේතූන් සැලකිල්ලට අරගෙන තමයි වෙනත් රටවල දරුවන්ට අධ්‍යාපන ක්‍රමය පීඩාකාරී නොවන විදිහට නිර්මාණය කරලා තියෙන්නේ.එක අම්මෙක් මට ඇවිත් කිව්වා ඒ දරුවාගේ පාසලේ ගුරුවරිය දරුවන්ට වතුර ටිකක් වත් බොන්න දෙන්න නෑලු නිතරම මුත්‍රා කරන්න යන නිසා.
මෙවැනි අතිශය පීඩාකාරී ඉගෙනුම් රටාවක් තුළ ශිෂ්‍යත්ව විභාගයට පෙනී හිටපු දරුවව දෙවෙනි වතාවටත් ශිෂ්‍යත්වයට මුහුණ පෑමට සැලැස්වීම කොතරම් වැරදිද කියලා දෙමව්පියන් කල්පනා කරලා බලන්න ඕනේ. මොළයක් වර්ධනය වෙන්න පැය 11ක නින්දක් දරුවාට අවශ්‍යයි. නමුත් අපේ අම්මලා දරුවන්ට නිදාගන්න දෙන්නෙ නෑ.
දෙමාපියන් මේ දේවල් කරන්නේ දක්ෂ දරුවෙක් නිර්මාණය කිරීමේ අරමුණින් වුණාට අවසානයේ නිර්මාණය වෙන්නේ මානසික රෝගියෙක්. අම්මලා එක පැත්තකින් දරුවන්ට එහෙම පීඩනයක් දෙද්දි අනිත් පැත්තෙන් පාසල ලෑස්ති වෙලා ඉන්නවා හැමදාම පාන්දර 6.30ට විතර ප්‍රශ්න පත්තරයක් කරවන්න.
ඔන්න භූමිතෙල් ගහපු ගැරඬියෝ වගේ බාගෙට නිදාගත්තු දරුවව ඇදගෙන දුවනවා ඉස්කෝලෙට. ඊටපස්සේ ඉස්කෝලෙන් පස්සෙත් අමතරව උගන්වනවා. දරුවෝ පාන්දර 4.00, 5.00 ඉඳන් හවස 4.00, 5.00 වෙනකල්ම මොළයට දත්ත ගබඩා කරන්න සටන් කරනවා. මොළය කියන්නේ ආමාශය වගේ අවයවයක් කියලයි දෙමව්පියෝ හිතන් ඉන්නේ.
කාලෙකට උඩදි මං ගාවට දරුවෙක් එක්කන් අම්මෙක් ආවා. දරුවගේ වැරැද්ද ගේ පුරාම කෙළ ගහන එක. නිතරම කලිසම ගලව ගලව අඳින එක. ගෙදර බුදු පිළිමය හෝද හෝද වඳින එක. අම්මත් ටීචර් කෙනෙක්. ඉතින් මේ අම්මා කරලා තියෙන්නේ ළමයව කාමරයකට දාගෙන දොරත් වහන් උගන්නපු එක. ළමයා කියනවා අම්මේ ඔයා මේ කියලා දෙන දේවල් මට තේරෙන්නෙ නෑ කියලා.
ඒත් ඒක ගණන් නොගෙන ටොකු ඇන ඇන දරුවාට උගන්වනවා. ටික දවසක් යද්දි ළමයා ගේ පුරාම කෙළ ගහන්න පටන් ගත්තා. මම මේ අම්මගෙන් ඇහුවා ඇයි දරුවා වැඩ කරන්නේ නැත්තේ කියලා. අම්මා කියනවා දරුවා හිතලා වැඩක් කරන්නේ නෑලු. හිතන එකයි හිතෙන එකයි දෙකක්.
සාමාන්‍යයෙන් බුද්ධි මට්ටම 70 ට අඩු නම් ඒ දරුවා මන්ද බුද්ධිකයි. 70 – 85 අතර නම් ඔවුන් සෙමින් ඉගෙන ගන්නා දරුවන්. ශිෂ්‍යත්වය හොඳටම පාස් වෙන්න නම් දරුවන්ගේ බුද්ධි මට්ටම 115 ට වඩා වැඩි වෙන්න ඕන. මං මේක අර අම්මට පැහැදිලි කරලා ඒ දරුවාගේ බුද්ධි මට්ටම මැන්නා. ආපු ගාන 83 යි.
ඒ කියන්නේ මේ දරුවා සෙමින් ඉගෙනගන්න දරුවෙක්. අම්මලා තමන්ගේ දරුවන්ගේ බුද්ධි මට්ටම ගැන නිසි අවබෝධයක් නොදැන උගන්නන්න ගියොත් වෙන්නේ මාළු කපන මනුස්සයා සීසර් සැත්කමක් කළා වගේ වැඩක්.
මේක මේ රටේ ලොකු ඛේදවාචකයක්. අම්මලා දරුවන්ට කියන්නේ අහවලාට පුළුවන් නම් ඇයි ඔයාට බැරි? අහවලාගේ තාත්තා පොල් කඩලත් බලපං අද ඒ ළමයි ඉන්න තැන වගේ දේවල්. ඔවුන් හිතන්නේ උනන්දු වුණොත් කරන්න බැරි දෙයක් නෑ කියලා. නමුත් බුද්ධිය නැත්නම් කොච්චර මහන්සි වුණත් ප්‍රතිඵලයක් නෑ.
ලංකාවේ පැවැත්වෙන විභාගවලට වුණේ පිට ඉන්න ජාවාරම්කරුවන් ටික විභාගය බිලිගත්ත එක. ශිෂ්‍යත්වය එක්ක බැඳුණු සංස්කෘතිය පොඩ්ඩක් බලන්න. ටියුෂන්, මතුරපු පෑන්, ශිෂ්‍යත්ව පත්තර, සම්මන්ත්රණ. සමහර සම්මන්ත්‍රණවලට දේශකයා එන්නේ හෙලිකොප්ටරයෙන්. මෙවැනි විකාර ජාවාරම්කරුවන් ශිෂ්‍යත්ව විභාගය විනාශ කළා. දෙමව්පියන්ගේ ඔළුවලට එක එක විසබීජ පිරෙව්වා. නැතුව ශිෂ්‍යත්වය කියන්නේ කිසිම හානිකර විභාගයක් නෙවෙයි. ඒ නිසා තේරුම් ගන්න අපි මේ සටන් කරන්නේ දරුවාගේ මොලෙත් එක්ක.
මෙච්චර විකාර නටවලා දරුවාට ලියවපු විභාගයක් ආයේ ලියෙව්වොත් ඔය ටීවීවල කෑගහන අම්මලා දරුවන්ට නිකන් ඉන්න දෙනවද? නෑ. ආයෙත් අර වද ටිකම දරුවට දෙනවා. ඔවුන් මෙවර ශිෂ්‍යත්ව විභාගය එක්ක පැනනැගුණු ගැටලුව වෙනුවෙන් කතාකරන එක සාධාරණයි. නමුත් තේරුම් ගන්න ඕනේ ඔවුන් නැවතත් ශිෂ්‍යත්ව විභාගයක් ඉල්ලලා විනාස කරන්න හදන්නේ දරුවන්ගේ සංවේදී මොළයේ පටක සැකැස්ම කියන එක.
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක
සහ මනෝ චිකිත්සක
වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන
එරංදි කෞශල්‍යා ✍️