වාස්තු ශාස්ත්‍රය තුළදී කූපය ලෙස හඳුන්වනු ලබන ළිඳ මහඟු සම්පතකි. ජලය සම්පතක් වන බැවින් ළිඳ සම්පතක් වන බව අප ඉතා හොඳින් දන්නා කරුණකි. දිය බිඳක් නොමැතිව දුක් විදින ජනතාව දැකීමෙන් අපට මෙම සිතිවිල්ල හෙඳින් සිතට නැඟේ.මෙහිදී ළිඳ අසුබ යැයි සලකා වසා දැමිම ඉතාම අනුවණ ක්‍රියාවක් වන අතර එම අසුබයන් මඟ හරවා ගැනීමට සරල මෙන්ම සාර්ථක ප්‍රතිකර්ම සහ යෝජනාවන් ඇතැම් අවස්ථාවල වාස්තු ශාස්ත්‍රය තුළ දක්වා ඇත.
තවද නිවසක පොකුණු ආදියද ළිඳට සමාන වූ සිද්දාන්ත හා සංකල්පයන්ට සමාන වන පරිදි සලකා බැලිය යුතුය. මීට අමතරව නිවසක අභ්‍යන්තර අලංකරණය සඳහා නිර්මාණය කර ගනු ලබන මෙම පොකුණු මඟින් නිවැසියන්ට සෙම් ආශ්‍රිතව හට ගනු ලබන රෝගයන්ට මුහුණ දිමට සිදු වේ. මෙය නිවසක අලංකාරය ගැන පමණක් සිතීම මත ඇතිවන ගැටළුකාරී තත්ත්වයකි. එම නිසා නිවසක් සැලසුම් කිරීමේදි එහි අලංකාරත්වය සහ ඉදිකිරීමේ ගැටළු අවම වන පරිදි සැලසුම් කිරිමත් එය වාස්තු ශාස්ත්‍රනුකූලව සැලසුම් කර ගැනීමත් අනිවාර්යෙන්ම කළ යුතු දෙයකි.
ළිඳ හෙවත් කූපය
පෙර සඳහන් කළ පරිදි ළිඳ යනු නිවසකට මහඟු සම්පතකි. නමුත් නිවසකට ජලය ලබා ගැනීමේදී ළිඳක් කැපිය යුත්තේ එයට ගැළපෙන වාස්තු ශාස්ත්‍රිය සිද්දාන්ත හා සංකල්පයන්ට ගැළපෙන පරිදිය. මෙහිදී ආපෝ යන ගුණය වැඩි වශයෙන් පවතින පිරිසිදු ජලය මූලික වූ ඊසාන දිශාව මේ සඳහා සුදුසුම දිශාව වේ. මේ පිළිබඳව පැරණි වාස්තු ශාස්ත්‍රිය ග්‍රන්ථවල මෙසේ සඳහන් වේ.
වරුන දිසාවට ලින් නොක ප න්නේ
සියලු දෙයින් අවැඩයි පැමිණෙ න්නේ
ඉසාන දිග ලිද කැපුවෝ ති න්නේ
ආසිරි වඩවයි එගෙට නමි න්නේ
මෙහි සඳහන් ආකාරයට වරුන (බටහිර)
දිශාවට ළිඳක් සුදුසු නොවන බවත් ඊසාන දිශාවට ළිඳක් තිබීම ඉතාම සුදුසු බවත් කියවේ. මීට අමතරව මෙම ආපෝ ගුණය මූලික වූ උතුර සහ නැගෙනහිර යන දිශාවන් ද ළිඳක් සඳහා ඉතාම සුදුසු දිශාවන්ය. මෙම දිශාවන් තුළ පිරිසිදු ජලය තිබීම එම නිවසට ඉතාම සුදුසු කරුණක් වන අතර නූතන වාස්තු ශිල්පය තුළ සඳහන් වන අන්තරික්ෂ ශක්තිය පොළවට ආකර්ශණය කරගැනීමටත් එය නිවසක් තුළට ගලනය විම පහසු වීමටත් මෙය මහඟු පිටිවහලක් වේ.
නමුත් මෙම සුබ දිශාවන් තුළ ළිඳ පැවතියද එය නිවසක ප්‍රධාන දොරට ඉදිරියෙන් එක එල්ලේ පිහිටීමද නුසුදුසු ය. මෙය කූප වේධ දෝෂය වශයෙන් හඳුන්වනු ලබන අහිතකර පිහිටීමකි. මෙය නිවැසියන්ට මානසික පීඩාවන් ඇති කරවන තත්ත්වයකි. තවද නිවැසින්ගේ ආරක්ෂාවට බාධා ඇතිකරවීමද සිදු වේ.
කුඩා ළමුන් සිටින නිවාසවල මෙම අවදානම තවත් වැඩි වන අතර මෙ නිසා නිවසේ අනෙකුත් පිටවීමේ දොරටු ඉදිරියෙන්ද ළිඳ නොපිහිටන පරිදි ඉදිකර ගැනිම ඉතාම සුදුසුය. එමෙන්ම නිවසක අත්තිවාරමේ කොණ් ආසන්නයේද ළිඳක් පිහිටීම සුදුසු නොවේ. මේ මඟින් අත්තිවාරමේ ශක්තිය දුර්වලවීම ඉවුරු කඩා වැටීමේ අවධානමක් ද ඇත. තවද මුදුන් යටලී කොණ් යටලී ඉදිරියෙන් ද ළිඳක් නොපිහිටන පරිදි ඉදිකරීම වඩාත් සුදුසුය.
තවද ළිඳ සහ වැසිකිළි වළ අතර දුර අවම වශයෙන් අඩි 50’ පමණ තිබීම පිරිසිදු සහ සෞඛ්‍ය ආරක්ෂිත ජලය සහිත ළිඳක් ලබා ගැනීමට මහඟු උපකාරයක් වේ.එමෙන්ම පෙර සඳහන් කළ පරිදි ජලය නියෝජනය වන උතුර, ඊසාන සහ නැගෙනහිර දිශාවන් සුදුසු වූවද මේ සඳහා නුසුදුසුම දිශාවන් ද ඇත.
මේ අතරින් ගිනිකොණ, දකුණ සහ වයඹ දිශාව පෙන්වා දිය හැකි අතර ඉඩමක බ්‍රහ්ම පාදය හෙවත් මධ්‍ය ලක්ෂයේද ළිඳක් කැපීම නුසුදුසු ය.මෙහිදි විශේෂයෙන්ම තේජෝ ගුණය ප්‍රභල ගිනිකොණ දිශාව තුළ ළිඳක් කැපීම තරහව වැනි ගති පැවතුම් වැඩි කිරිමට හේතුවකි. ඒ පිළිබඳව පැරණි වාස්තු ශාස්ත්‍රිය ග්‍රන්ථවල මෙසේ සඳහන් වේ.
ගෙට අටදිග විපරන් කරප න්නේ
ලිඳක් කපන්නට කොයි කොන ගන්නේ
ගිනිකොන ලිඳ කැපුමට නොහොබි න්නේ
කැපුවොත් උණ ගතියන් කරව න්නේ
මෙහිදි සඳහන් ආකාරයට ගිනිකොණ දිශාව ළිඳක් සඳහා නුසුදුසු දිශාවක් වේ. කෙසේ නමුත් මෙම සඳහන් කළ නුසුදුසු දිශාවන්වල ළිඳක් ඇතිනම් එය නොවසා එයට සුදුසු ප්‍රතිකර්මයක් වශයෙන් “වාස්තු බැම්ම” යන වාස්තු ශාස්ත්‍ර සංකල්පය යොදා ගත හැකිය. මේ සඳහා ළිඳත් නිවසත් අතර විනිවිද නොපෙනෙන පරිදි අවම වශයෙන් උස අඩි 3 ත් – 6 ත් අතර වැටක් ඉදිකිරීම සුදුසු ය.
මෙය කෙටි තාප්පයක්, මල් වැටක් හෝ වීම ප්‍රමාණවත් වේ. මීට අමතරව කොන්ක්‍රීට් ලෑල්ලක් (Slab) එකක් මඟින් ළිඳ ඉහළින් ආවරණය කර වාතාශය හුවමාරු වීම සඳහා ඉතා කුඩා ප්‍රමාණයේ කවුළුවක් තබා ළිඳ ඉහළින් ආවරණය කර ගැනීම සුදුසු වන අතර මෙමඟින්ද ළිඳ මඟින් ඇති වන දෝෂයන් මඟ හරවා ගත හැකිය. තවද පිරිමීඩ වාස්තු ශිල්පය යොදා ගැනීමද සුදුසු ප්‍රතිකර්මයකි. නමුත් මෙම ප්රතිකර්මයන් ආරක්ෂාව සහ නිවැරදි ආකාරය අනුව සකස් කළ යුතුය.
නිවසක පොකුණු
නිවසින් පිටත ඉදිකරනු ලබන පොකුණු සඳහා ද උතුර, ඊසාන, නැගෙනහිර යන දිශාවන් සුදුසු වන අතර මෙම දිශාවල පොකුණු ඉදිකර ඇත්නම් එහි ඇති ජලය නිතර පිරිසිදු කර තබා ගත යුතුය. එමෙන්ම පෙර සඳහන් කරන ලද ළිඳ හා සබැදි දිශාවන් හා සංකල්පයන් නිවසින් පිටත පොකුණු සඳහා ද බැඳී පවති. වර්තමානයේ උද්‍යාන අලංකරණය සඳහා යොදා ගනු ලබන පොකුණු සහ දිය ඇළි සඳහා ද වාස්තු ශාස්ත්‍රිය සිද්දාන්ත අනුව යොදා ගැනීමද ඉතාම සුදුසු වේ.
තවද වර්තමානයේ ගෘහ අභ්‍යන්තර අලංකරණය සඳහා නිවස තුළ ඉදිකරනු ලබන පොකුණු මඟින් නිවසට අලංකාරයක් එකතු වුවද මෙ මඟින් නිවැසියන්ට සෙම් ආශ්රිත රෝගවලට මුහුණ පෑමට සිදුවේ. තවද නිවස අභ්‍යන්තරය තුළ ජලය තිබීමද නුසුදුසු වන අතර මෙ මඟින් ඇතැම් අවස්ථාවල ප්‍රායෝගික ගැට`ඵවලට මුහුණ පෑමට ද සිදු වේ. ජල කාන්දු වීම මඟින් දිය සිරාවන් මතු වීම, නිවැසියන් ඉතාම කාර්යබහුල ජීවිත ගත කරන බැවින් මෙම පොකුණ නිතර පිරිසිදු කිරීමට නොහැකි වීම මඟින් අපිරිසිදු ජලය නිවස අභ්‍යන්තරයේ එකතුවීම වැනි කරුණු පෙන්වා දිය හැකි අතර කුඩා දරුවන් සිටින නිවාසවල එම දැරුවන්ගේ ආරක්ෂාවට යම් තර්ජනයක් ඇතිවීම වැනි කරුණුද පෙන්වා දිය හැකිය.
මෙම හේතුන් මත නිවසක අභ්‍යන්තර අලංකරණය සහ උද්‍යාන අලංකරණයේදී පොකුණු නිර්මාණය කිරීම කල්පනාකාරීව සිදු කළ යුතුයි. නමුත් නිවසක අභ්‍යන්තරයේ ඇති මැද මිදුලක ජලය එකතු වන පරිදි පොකුණු තිබීම එතරම් සුදුසු නොවන බවද සඳහන් කල යුතුය.තමා ජීවත් වන නිවස සහ අවට ළිං සහ පොකුණු සුදුසු ලෙස නිර්මාණය කර ගැනීම මඟින් සොබාදහමේ හැසිරීම් නිවැරදි සහ තුලනාත්මකව යොදා ගැනීම මඟින් සාර්ථක මෙන්ම නිරෝගී ජීවිතයක් ලබාගත හැකිය.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
අර්චිත ඉඳුවර