විවේක බුද්ධියට කරන්නට බැරි බොහෝ දේ කෘතීම බුද්ධිය හෝ යොදාගෙන කරන්න හදන ලෝකයක ජීවත් වන අපටත් ඒහා සමගාමීව අපේ රටේ බොහෝ දේවල් ද කළ හැකිය. එය එසේ කළ යුතු වුවත් රටේ ජනතාවට අත්‍යාවශ්‍ය සේවා පවා සාමාන්‍ය ක්‍රමවේදය යටතේ හෝ කරන්නට ගොස් හත්පොළේ ගා ගත් අවස්ථා පහුගිය අවුරුදු දෙක පුරාම අපි හොඳින් දුටුවෙමු.
එයට කදිම උදාහරණය සපයන්නේ රට යන ජනතාවගේ අවශ්‍යතාවට සරිලන පරිදි පාස්පෝර්ට් නිකුත් කිරීමට මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුවට නොහැකිවීමයි. තවමත් ඇතිවී ඇති තත්ත්වය සම්පූර්ණයෙන්ම සමනය කර නොමැති අතර එයට බලපා ඇත්තේ හිටපු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාගේ යටිකූට්ටු වැඩ සහ ආගමන විගමන පාලකවරයාගේ බුද්ධි මට්ටම බව දැන් නීතිය ඉදිරියේද ඔප්පු වෙමින් පවතී.
ඔවුන්ගේ ක්‍රියා කලාපවලට එරෙහිව මෙරට නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ඒ නිසාය.15 වෙනිදා කැබිනට් ප්‍රකාශ පිළිබඳව දැනුම් දෙමින් කැබිනට් ප්‍රකාශක මෙන්ම විෂය භාරව කටයුතු කරන නව අමාත්‍යවරයා පවසා ඇත්තේ ඇණවුම් කරන ලද විදෙස් ගමන් බලපත්‍ර තොග ලබන 19 වැනි සෙනසුරාදා මෙරටට ලැබෙන බැවින් 21 වැනි සඳුදා සිට පාස්පෝර්ට් නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදුකිරීමට දැනටමත් කටයුතු යොදා ඇති බවය.
ඇණවුම් කරන ලද 750,000 ක සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර ඉදිරි මාස කිහිපයේදී අවසන් විය හැකි බැවින් නැවතත් පෝලිම් ඇතිවීම වැළැක්වීම සඳහා නව ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගොස් ටෙන්ඩර් පටිපාටියක් අනුව තවත් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් ගෙන්වීමට කටයුතු කරනා බවය.
අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ ඊ – පාස්පෝට් සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයේ වාරණ නියෝගයක් පවතින බැවින් ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමක් දැන් නොකරන බවය. එම උසාවි නියෝගය අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳ අවධානය යොමුකරන බවය.
දැනට වැඩ කරගෙන යන රජය මහජන අවශ්‍යාතාවන් කුමක්ද යන්න තේරුම් ගෙන ඒවා විසඳීමට කාලයත්, ශ්‍රමයත් වැය කිරීම අගය කළ යුතු අතර උගත් පාඩම් හොඳින්ම මතක තබාගත යුතුව ඇත.
ශ්‍රී ලාංකික පුරවැසියන් විදෙස්ගත වන්නේ සංචාරය සඳහා පමණක් නොවන අතර මේ රටේ තුන්වේල කා හෝ ජීවත්වීමට නොහැකි නිසා එතෙර කාසි සොයන්නට, වැඩිදුර අධ්‍යාපනය ලබන්නට මෙන්ම විදේශ ආයෝජන මෙරටට රැගෙන එන්නට යන පිරිසටවත් ගුවන් ගමනක් සඳහා අත්‍යවශ්‍ය ගුවන් ගමන් බලපත්‍රය හිසරදයකින් තොරව ලබාගැනීමට නොහැකි නම් එවැනි රටක ජීවත්වීම පිළිබඳව ඔවුන් තව තවත් සිතිය යුතුමය.