පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන්න බැලූ බැල්මට වචන හතරක් ලෙස පෙනුනද එහි අර්ථය සැබෑ යථාර්ථයක් බවට පත්කිරීම කවරෙකුට වුවත් හිතන තරම් ලෙහෙසි නැත.
මෙම වචන හතර වර්තමාන ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ තිබුණු අතර ඒ කෙරෙහි විශ්වාසය තැබූ මෙරට ඡන්ද දායකයන්ගෙන් සියයට හතළිස් දෙකක් ඔහුගේ වැඩපිළිවෙළ පිළිබඳව විශ්වාසය තබමින් ඡන්දය ලබා දී මෙරට පාලනය ඔහු සුරතේ තබා ඇත.
ජනතාව ගැන සිතන ජනාධිපතිවරයෙක් මුලින්ම කළ යුත්තේ ඔහු කෙරෙහි විශ්වාසය තැබූ මෙන්ම විශ්වාසය නොතැබූ ජනතාවගේත් විශ්වාසය දිනාගැනීම සඳහා කටයුතු කිරීමයි.
ඒ සඳහා කළ හැකි සරලම දෙය වන්නේ ජනතාවගේ ජීවන ගැටලු විසඳන්නට කටයුතු කිරීමයි. මේ වනවිටත් ජනාධිපතිවරයා ජනතාවගේ ජීවන ගැටලුව විසඳන්නට කමිටුවක් පත්කොට තිබේ.
නමුත් මේ කමිටු පිළිබඳව අපේ රටේ ජනතාවට පූර්ණ විශ්වාසයක් නොමැත. ඒවායේ වැඩ සිදුවෙන ආකාරය පිළිබඳ හොඳ අත්දැකීම් අපේ ජනතාවට ඕනෑතරම් ඇත. ඔවුන් සීතල කාමරවල සිට සකසන බොහෝ සැලසුම්වලට අරමුදල් අවශ්‍ය වේ.
එවැනි අරමුදලක් නොමැතිව ගොඩනැඟිය හැකි කටයුතු මේ රටේ නොමැතිද? ජනතාවගේ අදහස වන්නේ එවැනි ක්‍රියාමාර්ග බොහොමයක් ජනතාවට සැබෑ ලෙසම ආදරය කරන ජනාධිපතිවරයකුට ගතහැකි බවයි.
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කළ නොහැකිද? ඒ සඳහා වග කියන ආයතනද මෙරට ස්ථාපනය කර නොමැතිද? නව ජනාධිපතිවරයාගේ ආගමනය සමග ඇති වූ බිත්තර මිලේ අඩුවීම පැවතුණේ කී දවසක්ද? ජනාධිපතිවරයාටත් හොරා මෙරට දී බිත්තර දමන කිකිළියන් බිත්තරේ මිල වැඩි කළේ අහවල් කාරණය මුල් කරගෙනද?
පොල් මිල ද එලොව පොල් පෙනෙන්නට තරම්ය’ පසුගිය ජනාධිපතිවරණයේදී රුපියල් 80 ට තිබුණු පොල් ගෙඩිය දැන් 175 ත් 180 ත් අතර මිලකට ගන්නට සිදුවී ඇත. සහල් හිඟයද නිමව ගොස් නැත.
සහල් හිඟය මේ රට තුළ හැමදාම නිර්මාණය කළේ කවුරුන්දයි නොදන්නා කෙනෙකු නොමැති තරම්ය. රජයක් වශයෙන් තෙල් මිල අඩුකරත් එහි වාසිය තවමත් සාමාන්‍ය පාරිභෝගිකයාට ලැබී නැත.
ජනතාව දිනාගත යුතුම ඡන්දයක් අත ළඟට පැමිණෙමින් තිබේ. ඒ නිසාම ජනතාවගේ දුක හඳුනන ජනාධිපතිතුමනි, ඔබ වහාම ක්‍රියාත්මක වන්න’ ජනතාවගේ සාගින්න නිවා ඔවුන් සතුටෙන් තබන්න. එවිට ඔබ බලාපොරොත්තු වන ජනවරම පාර්ලිමේන්තුව තුළ ඔබට ලැබෙනු ඇත.