පුද්ගලයෙක් දුප්පතෙකු ලෙස උපත ලැබුවොත් ඔහු හෝ ඇය දුප්පතෙකු ලෙසින් මියෑමට අවශ්‍ය නැහැ. ඒ පුද්ගලයා විසින් උත්සාහයෙන් සහ කැපවීමෙන් තමන්ගේ ජීවන තත්ත්වය උසස් කර ගත යුතුයි. ඒ වගේම කුමන හෝ හේතුවක් නිසා යම් පුද්ගලයෙකු ආබාධ සහිතව උපත ලැබුවොත්, එසේත් නැත්නම් අනපේක්ෂිත ලෙස ජීවිතයේ හදිසියේ ආපදා තත්ත්වයකට පත් වුණොත් ඔහු හෝ ඇය එතැන නැවතිය යුතු නැහැ. ඒ පුද්ගලයා ආබාධ සහිත තත්ත්වය සමඟ ජීවත් වුණත් එය තමන්ගේ ජීවිතයේ ඉදිරි අනාගතයට බාධාවක් කරගත යුතු නැහැ. අද අපේ කතා නායිකාව එවැනි පසුබිමක් වෙනුවෙන් මනා වූ ජවයක් ලබා දෙන කාන්තාවක්.
අපි ඇගෙන්ම ඒ ගැන විමසා දැන ගනිමු…
මගේ නම නිශා ෂරීෆ්. මහනුවරට සමීප අම්පිටිය තමයි මගේ උපන් ගම. මම උපදින විට කොඳු ඇට පේලි අතරේ කුඩා ගෙඩියක් තිබුණා. මුලින් අම්මලා ඒ ගැන එතරම් උනන්දු වුණේ නැහැ. මට මාස තුනක් පමණ වුණාම මේ පුංචි ගෙඩිය වෛද්‍යවරුන්ට පෙන්නුවා. ඉතාම ඉක්මනින් මේ වෙනුවෙන් ශල්‍යකර්මයක් කරන්න ඔවුන් උපදෙස් ලබා දුන්නා. කොළඹදී ශල්‍යකර්මය කළත් මගේ ගෙඩියේ පිහිටීම අනුව ශල්‍යකර්මයේදී සුසුම්නාවට හානි වීම නිසා මගේ කොන්දෙන් පහළ ප්‍රදේශය පණ නැති වුණා.
මේකට හේතුව කිව්වොත්….
ඔව් මේ ගැන හැම ගර්භණී මවක්ම දැන ගැනීම වැදගත්. මගේ අම්මාට තිබුණ විටමින් ඌණතාවයක් නිසා මේ තත්ත්වය ඇති වුණ බැව් වෛද්‍යවරුන් කිව්වා.
ඔබේ අධ්‍යාපනය…
මම පුංචි කාලයේ ඉඳන්ම ආබාධිත කියන ලේබලයෙන් වෙන් කළා. මට විතරක් නොවෙයි, මං වගේ ආබාධ සහිත බොහෝ දෙකනුට අධ්‍යාපනය ලබන්න අවසර නැහැ. අනේ ලෙඩා නේ… ඔන්න ඔහේ ගෙදරට වෙලා හිටපු දෙන්… ආයේ ඉතින් රස්සාවක් කරන්නයැ… මේ වගේ හිතලා අපි වගේ දරුවන්ට දිනපතා පාසල් අධ්‍යාපනය ලබා දෙන්නේ නැහැ. අපේ දෙමව්පියනුත් මාව පාසල් යැව්වේ නැහැ.
මේ විදිහට මමත් ගෙදරටම කොටු වෙලා හිටියා. මට වයස අවුරුදු 17 ක් විතර වෙද්දී අකුරු කියවන, ලියන උනන්දුව මට ඇති වුණා. මම ගෙදර ඉඳලා අම්මාගෙන්, අක්කලාගෙන් අකුරු ඉගෙන ගත්තා. කෙසේ හෝ වේවා මගේ උත්සාහයෙන් පවුලේ මග පෙන්වීමෙන් මට දැන් සිංහල අකුරු ලියන්න, කියවන්න පුළුවනි.
රාගම පුනරුත්ථාපන රෝහලට ඇතුලත් වුණා..
මට වයස අවුරුදු 9 ක් වුණාම රාගම පුනරුත්ථාපන රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත්තා. එතැනින් පසුව 2019 වසරේදී රාගම පුනරුත්ථාපන රෝහලේ වෘත්තීය පුහුණුවට ඇතුළත් වුණා. එතැනදී අපි වගේ අයට වෘත්තීය පුහුණුවක් ලබා දුන්නා. මම ඔරලෝසු හදන්න ඉගෙන ගත්තා. එතැනින් පසුව මම ගෙදර ඇවිත් නිවසේ ඉඳලා ඔරලෝසු හදන්න පටන් ගත්තා.
මේ විදිහට මට ඔරලෝසු හදන්න ඇනවුම් ආවා. දැන් ගෙදරට වඩා නගරයෙන් තැනක් අර ගෙන ව්‍යාපාරික ස්ථානයක් පටන් ගන්න මම හිතුවා. මුලින්ම මම මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පොළ අසල තැනක ව්‍යාපාරය පටන් ගත්තා.
2019 වසරේදී බස්නැවතුම් පොළ කැඩුවා. ඊට පසුව පේරාදෙණිය පාරේ තැනක මගේ ඔරලෝසු අලුත්වැඩියාව පටන් ගත්තා. එතැන අවුරුදු එකහමාරක් පමණ කාලයක් වැඩ කළා. ඒත් සමඟ කොවිඩ් වසංගතයත් ආවා. අපේ ව්‍යාපරවලටත් ප්‍රශ්න ඇති වුණා. ඒ නිසා 2022 වෙනකම්ම මම නිවසෙට වෙලා හිටියා.
නැවත ව්‍යාපාරයට යොමු වුණේ…
2022 මම මහනුවර නගරයෙන් තැනක් අරගෙන ව්‍යාපාරය පටන් ගත්තා. එතැන බදු මුදල වැඩි නිසා මම දැන් සිටින පේරාදෙණිය පාරේ අද මම වැඩකරන තැන පටන් ගත්තා.
ඔබේ සහයට
ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩ සටහන යටතේ මට තවත් ආබාධ සහිත තරුණයෙකුට රැකියා අවස්ථාවක් ලබාදෙන්න ආරාධනාවක් ආවා. ඒ වනවිට ඔහුට ඔරලෝසු හදන්න දැණුමක් තිබුණේ නැහැ. මම මේ තරුණයාට හොඳින් පුහුණුව ලබා දුන්නා. ඔහු දක්ෂයෙක්. ඒ වගේම ආබාධිත තරුණයෙක්. මා සමඟ ඉතාම හොඳින් සහයෝගයෙන් ව්‍යාපාරයටත් ආදරයෙන් කටයුතු කර ගෙන හිටියත් මේ තරුණයාට තිබුණ හෘද රෝග තත්ත්වයක් නිසා 2021 වසරේදී ඔහු මිය ගියා. ඊට පසුව මම තවත් පිරිමි දරුවෙක් පුහුණු කර ගෙන දැන් ව්‍යයාපාරය කර ගෙන යනවා. මේ දරුවත් මට මුලින් සිටිය තරුණයා වගේම දක්ෂයි. එයා මට විශාල ශක්තියක්.
හිතේ හයිය තිබුනට ඔබට වැඩකටයුතු කර ගෙන යෑමේ අපහසුතාවයක් නැතිද…?
නැහැ. මම අත්වාරු දෙකක් භාවිත කරනවා. ඊට අමතරව රෝද පුටුවක් පාවිච්චි කරනවා. මගේ කටයුතු කර ගෙන යන්න හැකියාව මට තිබෙනවා. මේ විදිහට උපත ලැබීම මම ආශිර්වාදයක් විදිහට දකිනවා. සමහර විට මේ ආබාධ සහිත වීම මට ආශිර්වාදයක් නොතිබෙන්න මගේ ජීවිතය මීට වඩා වෙනස් මගක් ගන්න තිබුණා. අද වනවිට මම ස්වාධීනව ජීවත් වෙනවා. මම කාටවත් බරක්, ණයක් නැහැ.
සමාජයට ඔබ ලබා දෙන පණිවිඩය…
අද මං ගැන කතා කළාට මේ වගේ බොහෝ දෙනක් කතා නොකරන චරිත අපේ රටේ ඇති. නමුත් කිසිම දවසක අපේ ආබාධ සහිත බව බව වෙනස් කොට සළකන්න එපා. අපිත් අනිත් අය වගේම මිනිස්සු. ඒ වගේම කිසිම දවසක අනේ අපොයි… කියන අනුකම්පාව එපා. අපට අවශ්‍ය වෙන්නේ සහකම්පනය විතරයි. සමාජයේ හැසිරෙන ආකාරය ගැන අපි දැන් හොඳින් දන්නවා. අපිටත් අනිත් අයට සමානව සළකන්න. මගේ එකම ඉල්ලීම එයයි.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️