ගර්භණි මවකගේ ගැබ් දරණ කාලය සම්පූර්ණ වීමට පෙරාතුව දරුවකු බිහි වුණොත් එය ‘නොමේරූ දරු උපතක්’ ලෙසින් හැඳින්වෙනවා. සම්මත පිළිගැනීමට අනුව සති 37 කට පෙරාතුව බිහිවන දරුවන් නොමේරූ දරුවන් ලෙසයි හඳුන්වන්නේ. නොමේරූ දරු උපතකින් පසුව රෝහලේ ඒ වෙනුවෙන් විශේෂිත ප්‍රතිකාර ලබාදෙන අතර ඒ දරුවා නිවසට රැගෙන යෑමෙන් පසුව රැකබලා ගැනීම පිළිබඳවත් මව දැනුවත් කිරීමක් ද සිදුවනවා. එබැවින් නොමේරූ ඒකකයේ සිටින දරුවා රෝහලෙන් පිටව ගිය තැන පටන් රැකබලා ගැනීම මව්පියන්ගේ වගකීමක්.
නොමේරූ ළදරුවෙක් රැකබලා ගැනීමේදී මව්පියන්ට ඇතිවන ගැටලු කීපයක් තිබෙනවා. ඒ අනුව බහුලව ඇතිවන ගැටලු කීපයක් ගැන අවධානය යොමුකිරීම වැදගත්.
කිරි බීම…
දරුවකුට කුසගිනි දැනුණ විට මව්පියන් ඒ බැව් හඳුනාගැනීම වැදගත්. බොහෝ විට දරුවා අත කටේ දාගෙන උරන අතර ඇස් ඇර වටපිට බලනවා. මේ අවස්ථාව වන විටත් කිරි නොලැබුණොත් දරුවා අඬන්න පටන් ගන්නවා.
එය දරුවන්ගේ සාමාන්‍ය ස්වභාවයක්. නමුත් මෙතැනදී නොමේරූ දරුවා සම්බන්ධයෙන් යම් විශේෂත්වයක් තිබෙනවා. ඔබේ දරුවා නොමේරූ දරුවකු ලෙසින් හඳුනාගෙන ඇත්නම් බඩගිනි වීම ගැන සැලකිලිමත් වෙන්න.
මේරූ දරුවකුට සාපේක්ෂව බලන විට නොමේරූ දරුවකුට කිරි උරාබීමේ හැකියාව අඩුයි. ඒ වගේම දරුවා හඬන්නට පටන් ගැනීමෙන් පසුව කිරි පොවන්න සූදානම් වුණොත් දරුවාගේ නොසන්සුන් බව සමග වැඩි වෙලාවක් කිරි උරාබීම අපහසුයි.
නොමේරූ දරුවකුට කිරි උරා බොන්න වැඩි වෙලාවක් ගත වෙනවා. දරුවා නොසන්සුන් වුණාම කිරි පෙවීම අපහසුයි. ඒ වගේම හොඳින් කිරි බීම සිදුවන්නේ නැහැ. එබැවින් නොමේරූ දරුවකුගේ බඩගිනි වෙන කාලය හඳුනාගෙන දරුවා හඬන්නට පටන් ගැනීමට පෙරාතුව කිරි පෙවීම ගැන සැලකිළිමත් වීම ඉතා වැදගත්.
දරුවා අවදි වී සිටින කාලය…
නව ජන්ම දරුවෙක් සාමාන්‍යයෙන් දවසේ පැය 16-18 ක් පමණ කාලයක් නිදාගන්නවා. මලමුත්‍ර පිටවීම, බඩගිනි දැනීම වැනි හේතු නිසා දරුවා අවදි වෙන්න පුළුවන්. ඒ අතර දරුවා කිරි බීම, පිරිසිදු කිරීම වැනි කටයුතු අවසානයේ නැවත සුවසේ නිදාගැනීමක් සිදුවනවා.
ඒ නිසා නොමේරූ දරුවෙක් වැඩි කාලයක් නිදාගැනීම ගැන මව්පියන් බිය විය යුතු නැහැ. නමුත් දරුවාගේ නිදාගැනීමේ පුරුදුවල වෙනසක් (අසාමාන්‍ය ලෙස නිදාගැනීම හෝ අවදිව සිටීම) ඇත්නම් ඒ ගැන අවධානයෙන් සිටීම වැදගත්. නොමේරූ දරුවා නිදාගන්නා රටාවේ වෙනසක් ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍යයි.
දරුවාගේ උෂ්ණත්වය…
නොමේරූ දරුවන්ගේ මේද ස්ථරය අඩු නිසා ඔවුන්ගේ ශරීරයේ උෂ්ණත්වයේ ගැටලු තිබෙනවා. ඒ නිසා සාමාන්‍ය දරුවන්ට වඩා ඔවුන්ට සීතල දැනෙනවා. එබැවින් මෙම දරුවන් උණුසුම් වන සේ හිසට තොප්පි, කකුලට මේස් දැමීම වගේම කැන්ගරුවන් දරුවන් උණුසුම් කරන ආකාරයට මවගේ උණුහුම ලබාදීම වැදගත්. ඒ නිසා සාමාන්‍ය දරුවකුට වඩා නොමේරූ දරුවකුට උණුසුම ලබාදීම ගැන මව්පියන්ගේ අවධානය යොමුවිය යුතුයි.
ස්නානය…
නොමේරූ දරුවකු නාවන විටත් සාමාන්‍ය ශරීර උෂ්ණත්වය ඇති වතුරෙන් නාවාගෙන මවගේ උණුසුම ලබාදීම සුදුසුයි.
දරුවාගේ ක්‍රියාකාරීත්වය…
නොමේරූ දරුවකුගේ ක්‍රියාකාරීත්වය ගැන සඳහන් කරනවා නම් ඔවුන් මිහිරි සංගීතය ශ්‍රවණයට කැමැත්තක් දක්වනවා. ඒ වගේම මව්පියන් විසින් දරුවා සමග කතා කරමින් අන්තර් සම්බන්ධතාව ගොඩනගා ගැනීමත් වැදගත්.
පරිසරයට නිරාවරණය කිරීම…
දරුවන් ස්වභාවික පරිසරයට නිරාවරණය කිරීම නොමේරූ දරුවන් සම්බන්ධයෙන්ද සාමාන්‍ය රටාවක්. නමුත් මෙහිදී සෘජු සූර්යාලෝකයට ඔවුන් නිරාවරණය කිරීම සුදුසු නැහැ. දරුවා නිවසෙන් පිටට ගෙන ගිය විට ආලෝකය දරුවාගේ ඇසට දරාගැනීම අපහසු නිසා ඇසට සෘජු ලෙසින් වැටෙන හිරු එළියට මුවාවෙන සේ දරුවා තබාගන්න.
මලමුත්‍ර පිටවීම…
දරුවකු බොන කිරි ප්‍රමාණය, නව ජන්ම දරුවෙක් උපත ලැබූ දිනයේදී එක් වරක් මුත්‍රා පිටකිරීම සාමාන්‍ය තත්ත්වයක්. දින කීපයක් යන විට දරුවකු දිනකට පස් හය වතාවක් මුත්‍රා පිට කිරීම සිදුකරනවා.
මලපහ කිරීම ගැන සඳහන් කරනවා නම් ජන්මය ලැබූ මුල් දිනයේදී පැය 24- 48 අතර එක් වතාවක් වුණත් දින කීපයක් යන විට ඒ තත්ත්වයත් වෙනස් වෙනවා. මෙය හැම දරුවකුටම එක හා සමාන නැති වෙන්න පුළුවන්.
විටමින් හා පෝෂණ අතිරේක ලබාදීම…
නොමේරූ දරුවන් වෙනුවෙන් විටමින් සහ වෙනත් පෝෂක අතිරේක ලබාදීම නිර්දේශ කරනවා. ඒ අනුව නියම කරන විටමින්, කැල්සියම් සහ යකඩ අතිරේක අදාළ මාත්‍රාවෙන්, අදාළ වාර ගණනට ලබාදිය යුතුයි.
නමුත් කැල්සියම් සහ යකඩ අතිරේක එකවර ලබාදීම සුදසු නැහැ. නොමේරූ දරුවකුට මේවා අවශෝෂණයේදී ගැටලු ඇතිවන නිසා උදය වරුවේ කැල්සියම් සිරප් ලබාදෙනවා නම් යකඩ සිරප් හවසට ලබාදීමට උපදෙස් ලබාදීමත් වැදගත්.
සායනවලට සහභාගී කිරීම…
දරුවකු උපත ලැබීමෙන් පසුව බර කිරාගැනීම, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සඳහා සායනයක ලියාපදිංචි වීමට සිදුවනවා. එය සාමාන්‍ය රටාවක් වුණත් නොමේරූ දරුවකු වෙනුවෙන් මෙම සායනවල සහභාගීත්වය වෙනස් වෙනවා.
කථන තත්ත්වය, දෘෂ්ටිය පිළිබඳව පරීක්ෂා කිරීම සහ ව්‍යායාමවලට සහභාගී වීම වෙනුවෙන් සාමාන්‍ය දරුවකුට වඩා වැඩි සායන පහසුකම් නොමේරූ දරුවකුට ලැබෙනවා.
මෙම සායනයන්හිදී දරුවාගේ දුර්වලතාවන් හඳුනාගෙන ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබාදෙමින් අනාගතයේදී එම දරුවා සාමාන්‍ය නිරෝගී දරුවකු මෙන්ම ගුණාත්මක ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය පරිසරය සූදානම් කිරීම සිදුවනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️