අපි කවුරුත් අහස නැරඹීමට ප්‍රිය කරමු. එසේම එහි චමත්කාරය දකින අපි දවසේ විවිධ කාලවලදී අහසේ වෙනස අත්දකිමු. මේ වෙනස්කම් පසුපස සැඟවී ඇති විද්‍යාව ගැන දැනගැනීමත් අප වින්දනයේ කොටසක් බව සිතන්න. අද අප කතා කරන්නේ රාත්‍රී අහස ගැනයි. හිරු බැස යන සන්ධ්‍යාව එළඹෙන විට රත් පැහැ ගන්නා අහස අතිශයින්ම විසිතුරුය.
අප දකින්නේ කුඩා කොටසකි
විවිධ වර්ණයන් විවිධ තරංග ආයාමයන් හා සම්බන්ධය. එහෙත් පියවි මිනිස් ඇසට දර්ශනය වන්නේ තරංග ආයාම විශාල පරාසයකින් යුත් විද්‍යුත් චුම්බක විකිරණවල (Electromagnetic Radiation) කුඩා කොටසක් පමණි. ඔබ ඇසට පැමිණීමට පෙර දෘශ්‍ය තරංග ආයාමයන්ගෙන් සමහරක් වායුගෝලයට අවශෝෂණය වී පෙරීමක් සිදුවෙයි.
උසත් බලපානවා
හිරු බැස යාමේ දර්ශනයක් බිම සිට දකිනවාට වඩා පැහැදිලිව ඉහළ අහසේ ගුවන්යානයක සිට දැකගත හැකිය. හේතුව වන්නේ ගුවන් යානයක් වායුගෝලයේ මායිම් ස්ථරය (Atmosphere’s boundary layer) ඉක්මවන උසකට යෑමයි. එහිදී පහත වායු ස්ථරයේ සිරවී ඇති දූෂිත වායුවේ ඇති දුහුවිලි අංශු ආදියෙන් නිදහස් වී පිරිසිදු වාතයට ප්‍රවේශ වීම සිදුවෙයි. මේ නිසා එහිදී හිරුබැස යෑම විචිත්රවත්ය.
විසිරීම (scattering)
සූර්යාලෝක කදම්බයක් පහතට ළඟාවීමේදී වායුගෝලයේ ඇති අණුවකට පහරදීම සිදුවෙයි. එහිදී ආලෝක තරංග ආයාමයන් විවිධ දිශාවලට විසිරීම සිදුවෙයි. හිරුබැස යෑමේ දසුන ඔබ දෙනෙත්වලට ළඟාවීමට ප්‍රථම මෙම ක්‍රියාවලිය වාර මිලියන ගණනක් සිදුවේ. වායුගෝලයේ ඔක්සිජන් සහ නයිට්රජන් වශයෙන් ප්‍රධාන අණු දෙකකි. ඒවායේ තරංග ආයාමයන් හිරුකිරණ හා සංසන්දනය කළ විට වාර දහස් ගණනකින් කුඩාය.
මේ නිසා එකී වායු අනුවලින් විසුරවීමට වඩා කැමති වන්නේ සූර්යාලෝකයේ ඇති කුඩාම තරංග ආයාමයන් සහිත නිල් සහ දම් වර්ණයන්ය. දහවල් අහස වඩා නිල් පැහැයෙන් පෙනෙන්නේ එබැවිනි. අප ඇස් දම් පැහැයට වඩා වර්ණාවලියේ මැද කොටසේ ඇති නිල් වර්ණයට සංවේදී වේ.
හිරු බැස යෑම
හිරු බැස යෑමේදී සූර්ය කිරණ ඔබ ඇස වෙත පතිත වීම සඳහා වන ගමන්මාර්ගය, දහවල හිරු මුදුන් වී ඇති අවස්ථාවට වඩා දිගුය. එය ඇසට පෙනෙන දසුන් විශාල වෙනස්කමක් ඇතිකිරීම සඳහා ප්රමාණවත්ය. එවිට අප දෙනෙත්වලට ළඟාවීමට ප්‍රථම නිල් පැහැයෙන් වැඩි ප්‍රමාණයක් කැඩී විසිරී යයි. එවිට වරළට ළඟාවෙන විට සමානුපාතික නොවන තැඹිලි සහ රතු වර්ණ කොටස් ඉතිරි වේ.
www.nationalgeographic.com ඇසුරෙන්
සුනිල් අල්ගම