15 වැනි ලෝක කායවර්ධන හා ශාරීරික ශුරතාවලියේදී ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට පදක්කමක් දිනාදෙන්නට නිමල් වන්නිආරච්චි පසුගිය 8 වැනිදා සමත් වුණා. එලෙස ඔහු දිනාගත්තේ වයස අවුරුදු 50 – 60 අතර කි.ග්රෑ. 80 ට වැඩි බර පන්තියෙන් රිදී පදක්කමක්. 56 හැවිරිදි නිමල් වන්නිආරච්චි මෙරට කායවර්ධන ඉතිහාසයේ නමක් තැබූ ක්‍රීඩකයෙක්. මෙම තරගාවලියේදී ඔහු ඉදිරිපත් කළ රොබෝ අංගය බොහෝ දෙනෙකුගේ සිත් ඇදබැඳගත් ඉදිරිපත් කිරීමක් වුණා. පසුගිය සඳුදා ලංකාවට පැමිණි නිමල් මහත්මයා අප දුරකථන ඇමතුමක් ලබාදුන් විටත් සිටියේ විවේක ගන්නා අතරෙයි. නමුත් ඔහු අප වෙනුවෙන් ඔහුගේ ජයග්‍රහණය ගැන මොහොතක් කතාකරන්නට පැකිළුණේ නෑ.
අපි මුලින්ම කතාකරමු ඔබේ මේ ජයග්‍රහණය ගැන...
මේ තරගය පැවැත්වුණේ මාලදිවයිනේ.පහුගිය 5 වෙනිදා ඉඳන් 11 දක්වා තරග මාලාව පැවැත්වුණා. රටවල් හැත්තෑවකට අධික ප්‍රමාණයක් මේ ලෝක ශුරතාවලියට ඉදිරිපත් වෙලා තිබුණා. මට තමයි පළමු ස්ථානය ලැබෙන්න තිබුණේ. නමුත් අවසානයේදි එය මුදලට විකුණුනා හා සමාන සිදුවීමක් වුණා.
ඔබ රැකියාවක් කරනවද?
මගේම කියලා කායවර්ධන මධ්‍යස්ථානයක් තියෙනවා. 1986 තමයි මං කායවර්ධනය ආරම්භ කළේ. 1992දි මුල්ම කායවර්ධන මධ්‍යස්ථානය ආරම්භ කළා. ඒ තමයි හෝමාගම Lion Arm ජිම් එක. දැන් පදිංචිය කුලියාපිටිය. කුලියාපිටිය, මීගහකොටුවේ Golden Power Gym එක කරගෙන යනවා.
ඔබ කොහොමද කායවර්ධනයට යොමු වෙන්නෙ?
මම කායවර්ධනය පටන් අරන් දැන් අවුරුදු 38ක්. 1994 මගේ පළමු ජාත්‍යන්තර තරගය පැවැත්වුණා. ඒ තමයි Mr Hercules තරගය. මගේ පළමු ජාත්‍යන්තර තරගයෙන්ම මම පළමු ස්ථානය දිනාගත්තා. එදා ඉඳලා 2003 වෙනකල් මම දිගින් දිගටම ජයග්‍රහණ ලබාගෙන තියෙනවා.
2003න් පස්සෙ මොකද වුණේ?
2003න් පස්සෙ මට තරග කරන්න ලැබුණේ නෑ. මම පුවත්පත් සාකච්ඡාවකදී ලංකා කායවර්ධන සංගමයේ වැරදි කිව්වා කළා කියලා ඒ කාලෙ හිටපු සභාපති ඇතුළු කණ්ඩායම මට කායවර්ධනයේ යෙදීම ජීවිතාන්තය දක්වාම තහනම් කළා.
එහෙම ජීවිතාන්තය දක්වාම කායවර්ධනය තහනම් වුණ කෙනෙක් ලංකාවෙ නෑ මං ඇරෙන්න. මේ සිදුවීමත් එක්ක මම බොහොම කලකිරුණා මේ රට ගැන. අවුරුදු තුනක් තහනම ඉවත් කරගන්න සටන් කරලා බැරිම තැන මම රැකියාවකට ඩුබායි ගියා.
ඒ තහනම ඉවත් කරගන්න කවුරුත් මට උදව් කළේ නෑ. ඩුබායි ඉද්දි මගේ ඉතිහාසය දැනගත්ත ප්රභූවරයෙක් ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා විදිහට බඳවගත්තා. රාත්‍රී සමාජ ශාලාවල ආරක්ෂක නිලධාරියෙක් විදිහටත් රැකියා ලැබුණා. අවු 12ක් ඩුබායි ඉඳලා 2016දි ලංකාවට ආවා. ඒ එද්දි සංගමේ සභාපතිලා වෙනස් වෙලා..
මගේ තහනම ඉවත් කෙරුණා. අවසානේ අවුරුදු 17කට පස්සෙ, 2019 මිස්ටර් ශ්‍රී ලංකා තරගයෙනුත් දෙවෙනියා වෙන්න මට හැකි වුණා. මාව තරග තහනමකට ලක් නොවුණා නම් මම ලෝක ශූරයා වෙන්නෙ මීට අවුරුදු ගාණකට කලින්. තහනමකට ලක් නොවුණා කියලා හිතමුකෝ. ඒත් අපි අපේ මුදලින් තමයි තරගවලට සහභාගී වෙන්න ඕන. කන්න බොන්න ඕන. රටවල්වලට යන්න ඕන. දිනන්න ඕන. ලංකාවට කුසලාන ගෙනත් දෙන්න ඕන. ඒක තමයි මේ රටේ සිස්ටම් එක.
ඔබට මේ තරගාවලියෙදි අනුග්‍රාහකයෙක් හිටියද?
මගේ කායවර්ධන මධ්‍යස්ථානයෙන් උපයන මුදලින්ම මං තරගවලට සහභාගී වෙනවා ඇරෙන්න ආණ්ඩුවෙන් ආධාරවත්, අනුග්‍රහකයෙක්වත් මට නෑ. මම මේ තරගයට ගියේ මිනිස්සුන්ගෙන් අඬ අඬා හිඟා කාලා. මම සමාජ මාධ්‍යයේ මගේ කතාව කිව්වා.
අවුරුදු 38ක් වෙනවා මගේ කායවර්ධන ජීවිතයට. සමහර විට මේක මගේ ජීවිතේ අන්තිම තරගය වෙන්න පුළුවන්. මට අවශ්‍ය වුණේ අවසන් වතාවට ජාත්‍යන්තර තරගයකට සහභාගී වෙලාම කායවර්ධන තරගවලට සමුදෙන්න.
මගේ පළමු විවාහය අහිමිවෙන්නෙත් මේ ක්‍රීඩාවට තිබුණ කැපවීම නිසා. ඒ වීඩියෝ එකට ප්‍රතිචාර වශයෙන් මගෙන් කායවර්ධනය ඉගෙනගත්ත ශිෂ්‍යයෙක් මට ලක්ෂ හතරක් ආධාර කළා. තරගයට ලක්ෂ 12කට වැඩියෙන් වියදම් වුණා. ඩුබායි ඉන්න මගේ ගෝලයෙක් ටිකට් එක අරන් දුන්නා.
ඒ දරුවා ෆේස්බුක් පේජ් එකක් හදලා ඩුබායි ඉන්න ලංකාවෙ අයගෙන් මං වෙනුවෙන් මුදල් එකතු කරලා දුන්නා. එච්චර හිඟා කාලා තමයි මම මේ කුසලානය දිනාගත්තේ. දැන් මං බලන් ඉන්නවා මං වෙනුවෙන් මේ රට මොනවද කරන්නෙ කියලා.
පවුලේ විස්තර?
මම පදිංචි වෙලා ඉන්නෙ කුලියාපිටියේ. මම මහලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. මේ ක්‍රීඩාවට තිබුණ කැපවීම නිසාම මට පළමු විවාහය අහිමි වෙනවා. දැන් දෙවෙනි බිරිඳ එක්ක ජීවත් වෙනවා.
මේ ජයග්‍රහණයට අමතරව ඔබේ කායවර්ධන ඉතිහාසය ගැන අපි කතා කළොත්?
1998 මම මිස්ටර් කොමන්වෙල්ත් තරගාවලියේදි ටොප් සික්ස් කුසලානයක් දිනාගත්තා. 2000දි මිස්ටර් ඒෂියා තරගාවලියට ඉදිරිපත් වුණා. ඒකෙදි මට ජයග්‍රහණයක් ලැබුණේ නෑ. 2022 මම ලෝක වාර්තාවක් තිබ්බා මිස්ටර් ශ්‍රී ලංකා අවු 45 – 50 තරගයෙන්. එතකොට මගේ වයස 53යි. මං තරග කළේ මට වඩා තරුණයො පිරිසක් එක්ක. නමුත් මට පළවෙනි ස්ථානය ලැබුණා. මෙතෙක් ඉතිහාසයේ මිස්ටර් ශ්‍රී ලංකා තරගයක තරුණයො එක්ක තරග කරපු, අදාළ වයස් කාණ්ඩයට වඩා වැඩි කෙනෙක් ඉඳලා නෑ.
අපේ රටේ කායවර්ධනයට තියෙන තැන ගැන ඔබ තෘප්තිමත්ද?
ලංකාවේ කායවර්ධනයට තියෙන තැන ගැන තෘප්තිමත්. නමුත් ඒකෙන් වෙලා තියෙන හානිය තමයි කිලෝමීටරෙන් කිලෝමීටරේට දැන් ජිම් තියෙන එක. නමුත් කායවර්ධනය ගැන කිසිම දෙයක් නොදන්න අයයි ගොඩක්ම ඔය ජිම් කරන්නේ. ඒ ජිම්වලට යන අය ආයෙත් එන විදිහ ගැන කුතුහලයක් තියෙනවා. කායවර්ධනය කියන්නෙ නිසි පුහුණුවකින් කළ යුතු දෙයක්.
අවුරුදු 80 පැනපු මනුස්සයෙක් මං ගාවට ආවත් මං ඒ ඇඟත් මගේ ඇඟ වගේම හදනවා. තරුණ ජවය තියෙන ඕනම කෙනෙක්ගෙ ඇඟක් මං මාස තුනෙන් හදනවා. මම අනිත් අය වගේ මාස්ටර්, කෝච් කියන නම් ගහගෙන වැඩකරන කෙනෙක් නෙවෙයි. දන්න අය දන්නවා මං වැඩකාරයෙක්ද නැද්ද කියන එක. නිකන් බොරුවට සමාජයේ ඉලිප්පෙන්න අවශ්‍යතාවක් මට නෑ.
අවම පහසුකම් යටතේ මෙතෙක් ආ ගමන ගැන මොකද හිතෙන්නෙ?
අති දුෂ්කරයි. මං මගේ දේවල් කියාගත්තෙ මටමයි. ඒවා කවුද අහන්නෙ? අහන්නෙත් මමමයි. අවම පහසුකම් කියන්නෙ මම කායවර්ධන පුහුණුවීම් කළේ සිමෙන්තිවලින් කරපු භාණ්ඩවලින්. අපිට ජිම් තිබුණෙ නෑ. පසුකාලීනව හෝමාගම ඉඳන් කොළඹ ජිම් එකකට ගියා. ඒත් දැන් ස්පා වගේ ජිම්. ඒත් මෙලෝ වැඩක් නෑ. වැඩ දන්න මිනිස්සු නෑ.
තියෙන විදිහකට කාලා ඇඳලා ජීවත් වෙන්න පුළුවන් තාක් ජීවත්වෙලා මං මගේ ක්‍රීඩාවයි නමයි එක්ක මැරිලා යයි. නමුත් සමාජයට යළිත් අවස්ථාවක් ලැබිලා තියෙනවා මගෙන් වැඩක් ගන්න.
නිමල් වන්නිආරච්චි යනු නිකරුණේ දිය වී යා යුතු මිනිසෙකු නොව. අවුරුදු 56ක් වැනි වයසකදීත් කායවර්ධනයෙන් උපරිම දස්කම් පෙන්වන ඔහු වෙනුවෙන් මුළු රටම අත්වැල් බැඳගත යුතුය. ඔහුව රැකගත යුතුය. ඔහුගේ ඉදිරි තරග වෙනුවෙන් මින් ඉදිරියටවත් රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයැයි අප සිතමු.
නමුත් සමාජයේ අපටත් ඔහු වෙනුවෙන් සිදුකිරීමට කාරියක් ඇත. ඒ අප දිනවන ඔහු වෙනුවෙන් යමක් කිරීමයි. 0765744822 මේ ඔහුගේ දුරකථන අංකයයි. ඔබට හැකිනම් ඔහු වෙනුවෙන් ඉදිරි තරග සඳහා ආධාරයක් සිදුකිරීම පුන්‍යකර්මයේ දොරටු විවෘතව පවතී.
එරංදි කෞශල්‍යා ✍️