අපි පුංචි කාලයේ මව්පියන් විසින් කරන දේවල්වලින් බොහෝ ආභාෂය ලබනවා. පසු කාලයකදී එදා ලබා ගත් අත්දැකීම්වලින් අපි අලුත් නිර්මාණ කරනවා. භාග්‍යා එෂාන්ති තමන්ගේ බාල කාලයේ ලද අත්දැකීමක් මේ වනවිට ව්‍යාපාරයක් විදිහට ගොඩනගා ගත් කාන්තාවක්.
ඔයාගෙන්ම කතාව පටන් ගනිමු…
මගේ නම භාග්‍යා එෂාන්ති. මම දැන් පදිංචි හිඹුටාන පංචවත්තේ. මගේ පුංචි කාලය ගෙවුනේ කොහිලවත්තේ. මම අංගොඩ ශ්‍රි රාහුල විද්‍යාලයෙන් අධ්යනපොදු සහතික පත්‍ර උසස් පෙළ වාණිජ අංශයෙන් හදාරපු කෙනෙක්.
පාසල් අධ්‍යාපනයෙන් පසුව…
පාසල් අධ්‍යාපනයෙන් පසුව මම රැකියාවක් කළා. අවුරුදු පහක පමණ කාලයක් මේ සේවා ස්ථානයේ රැකියාව කරල විවාහයෙන් පසුව එතැනින් අයින් වුණා. දරුවන් රැක බලා ගෙන නිවසේ සිටියත් දෙවැනි දුව ලැබුනට පසුව මට අතිරේක ආදායමක් ලබා ගැනීමේ අවශ්‍යතාවය දැනෙන්න වුණා. උදේ ගෙදරින් ගිහින් හවසට ගෙදර එන රැකියාවක් කිරීමත් අපහසුයි. මගේ දරුවන් වෙනුවෙන් කාලය අවශ්‍ය වෙනවා. ඒත්… සැමියාට වගේම පවුලේ ආර්ථිකයට යම් දායකත්වයක් මගෙන් ලබා දෙන්න ඕන කියන දැඩි අවශ්‍යතාවය මගේ හිත නිතරම මට කිව්වා.
ඔබ කපුරු බෝල බෝනික්කන් හදන්න යොමු වුනේ ඇයි…?
අපේ රෙදි අල්මාරිවලට කාවන් වගේ සතුන් එනවා. ඒ වගේම අල්මාරි ඇතුලේ අඳුරු පරිසරයක මේ කෘමින් වේගයෙන් බෝ වෙනවා. අල්මාරි වහලා තිබුණාම ඇඳුම්වල පුස් වගේ අප්‍රසන්න ගන්ධයක් දැනෙනවා. මේ නිසා අල්මාරියේ රෙදි අතරට කපුරු බෝල දැමීම සාමාන්‍ය දෙයක්.
ඔබ මෙතැන දුටු විශේෂත්වය කුමක්ද…?
අපේ අම්මා කපුරු බෝල තැන්පත් කරද්දී පුංචි නෙට් කැබැල්ලක ගැට ගහල රෙදි අතරේ තියෙනවා. මගේ හිතේ මේ අදහස තිබුණා. ස්වයං රැකියාවක හෝ යොමු වෙන්න ඕන කියන සිතුවිල්ල හිත ඇතුලෙත් තියෙන නිසා මට අලුත් අදහසක් ඇති වුණා.
මොකක්ද ඒ අලුත් අදහස…
මට හිතුනා. ලස්සනට රෙදි බෝනික්කෝ හදලා ඒ අත් කකුල් ඇතුලට කපුරු බෝල දාලා අල්මාරියේ එල්ලන්න පුළුවන් නේද කියලා.
මෙතැන විශේෂත්වය ගැන කිව්වොත්…?
අපි සාමාන්‍යයෙන් කපුරු බෝල රෙදි අතරේ තැන්පත් කරනවා. සමහර විට ඒවා වැටෙනවා. කැඩෙනවා. අල්මාරියේ තට්ටු තුනක් තියෙනවා නම් මේ තට්ටු තුනටම කපුරු බෝල දානවා. නමුත් මම හදන බෝනික්කන්ගේ අත් කකුල් අතරට කපුරු බෝල දාලා අල්මාරි දොරේ එල්ලුවාම අල්මාරියටම ඇති.
මේ ක්රමයේ වාසියක් තියෙනවාද…?
ඔව් කපුරු බෝල වාෂ්පශීලියි. අපි රෙදි අතරේ කපුරු බෝල තිබ්බාම ඒවා ක්ෂය වුණත් අපට පෙනෙන්නේ නැහැ. නමුත් මේ බෝනික්කන් අතර තබන කපුරු බෝල ක්ෂය වෙන විට අපට පෙනෙනවා.
එතකොට අලුත් කපුරු බෝල තියන්න පුළුවනි. එක අතකින් පිරිමැස්මක් වෙනවා. අනවශ්‍ය විදිහට කපුරු බෝල දාන්න අවශ්‍ය නැහැ. බෝනික්කාට තබන කපුරු බෝල සංඛ්‍යාව ගැනත් අපි දැනුවත්. ඒ හින්දා පිරිමැස්මක් තියෙනවා.
බෝනික්කා මහන්නෙත් ඔබද?
ඔව් විසිතුරු විදිහට මහනවා. ගැහැණු, පිරිමි විදිහට හදනවා. මේ බෝනික්කෙක් රුපියල් 350 ක මුදලට අලෙවි කරනවා. එතකොට මග් හැඩ කරන්න පටන් ගත්තේ. “පොලිමර් ක්ලේ”වලින් මග් හැඩ කරන්න පුළුවන් බව යූ ටියුබ් වැඩ සටහනකින් මම දැක්කා. මට ඒ විදිහට නිර්මාණ කරන්න හිතුනා.
මම පොලිමර් ක්ලේ ගෙනත් විසිතුරු විදිහට මග් හැඩ කරන්න පටන් ගත්තා. මේවා හොඳින් මග් එකට ඇලවී තිබෙනවා. දැන් ඒවත් අලෙවි කරනවා. උපන්දින, සංවත්සර වගේම සිහිවටන විදිහට තෑගි දෙන්න මේ මග් ඇනවුම් කරන පාරිභෝගික ජාලයක් මට ගොඩ නැගිලා තියෙනවා. මග් එකක් රුපියල් 1000 ක මුදලකට අලෙවි කරනවා.
බෝනික්කන් ප්‍රවාහනය කරන්නේ කොහොමද?
මම කූරියර් සේවාව ඔස්සේ ඇනවුම් ප්‍රවාහනය කරනවා. ඒ අය වගකීමෙන් සහ ප්‍රවේසමෙන් ඒ කටයුතු කරනවා. මුලින් මුදල් ලබා ගෙන ඇනවුම් ලබා දීම සිදු කරනවා. මගේ කපුරු බෝල බෝනික්කන්ට වගේම, විසිතුරු මග් වෙනුවෙන් හොඳ ඉල්ලුමක් තිබෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️