අපේ ශරීරය කියන්නේ ඉන්ද්‍රියන් සහ පද්ධතීන් ගොඩක් එකතු වී හැදිල තිබෙන ඒකකයකි. මේ අතරින් ආහාර ජීරණ පද්ධතියට සුවිශේෂී තැනක් ලැබෙනවා. අපි ගන්නා ආහාර විවිධ පෝෂක කොටස් බවට පත්කරලා ඒවා ශරීරයට උරාගෙන අපට අවශ්‍ය ශක්තිය, ඒ වගේම වර්ධනයට, සෛල ප්‍රතිසංස්කරණයට අවශ්‍ය පෝෂක අවශෝෂණය කරගැනීම මෙහි ප්‍රධාන කාර්ය ලෙස සැලකෙනවා.
මොකක්ද මේ එන්ඩොස්කොපි (Endoscopy) පරීක්ෂණය?
ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් ගැන කතාකරන විට එන්ඩොස්කොපි පරීක්ෂණය ගැන කතා නොකරම බැහැ. මේ ගැන සරලව සඳහන් කරනවා නම් කැමරාව සහිත බටයක් අපේ ආහාර ජීරණ පද්ධතිය තුළට ඇතුළු කරලා සිදුකරන පරීක්ෂණය එන්ඩොස්කොපි පරීක්ෂණය යනුවෙන් හැඳින්වෙනවා. මෙය කොටස් දෙකකින් සමන්විතයි.
■ Processing unit
■ Screen
මෙම පරීක්ෂණයේ ප්‍රධාන වර්ග දෙකක් තිබෙනවා.
මුඛය හරහා සිදුකරන UPPER GI / OGD පරීක්ෂණය.
■ ගුද මාර්ගය හරහා සිදුකරන Lower GU එහෙමත් නැත්නම් කොලනොස්කොපි (Colonoscopy) පරීක්ෂණය. තරමක් ප්‍රමාණයෙන් කුඩා සිහින් දිගින් අඩු මෙම බටය මුඛය හරහා ඇතුළු කරනවා.
එයින් ගලනාලය, ආමාශය සහ කුඩා අන්ත්‍රයේ මුල් කොටස නිරීක්ෂණය කරන්න පුළුවන්.කොලනොස්කොපි (Colonoscopy) බටය ඊට වඩා තරමක් විශාල සහ දිගින් යුක්තයි. මෙමගින් මහාන්ත්‍රය සහ කුඩා අන්ත්‍රයේ අවසන් කොටස නිරීක්ෂණය කරන්න පුළුවන්.
Endoscopy සිදුකරන්නේ කුමන අවස්ථාවකදී ද?
Endoscopy පරීක්ෂණය සිදුකරන මූලික අරමුණු දෙකක් තිබෙනවා.
■ රෝග නිර්ණයට (Diagnosls) සිදුකරන එන්ඩොස්කොපි පරීක්ෂණය.
■ රෝග නිවාරණයට (Therapeutic) සිදුකරන එන්ඩොස්කොපි පරීක්ෂණය.
රෝග නිර්ණයට සිදුකරන එන්ඩොස්කොපි පරීක්ෂණය
ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් හඳුනාගැනීමට මෙම පරීක්ෂණය මගින් හැකියාවක් ලැබෙනවා
- ආමාශයික ප්‍රදාහය (Gastrities)
- ගලනාලය, ආමාශය සහ බඩවැල ආශ්‍රිතව ඇති වෙන තුවාල තත්ත්වයන්.
- ගලනාලය ආමාශය අතර සහ ආමාශය සහ කුඩා බඩවැල අතර ඇති කපාට (Valve) වල තිබෙන ආබාධ සහ පිළිකා තත්ත්වයන් හඳුනාගැනීම.
රෝග නිවාරණයට, එන්ඩොස්කොපි පරීක්ෂණය
- ආහාර මාර්ගයේ ලේ ගලන තුවාල තිබෙනවා නම් ප්‍රතිකර්ම කිරීම.
- ගැටිති පිළිකා ඉවත් කිරීම හෝ කොටස් ලබාගැනීම.
- සිරෝසිස් රෝගීන්ගේ ගලනාලය සහ ආාමශයේ නහර ගැටගැසීම පරීක්ෂා කිරීම. (Screening tool) ලෙසින් වසරකට එක් වරක් මෙම පරීක්ෂණය සිදුකරනවා.
Endoscopy පරීක්ෂණය සඳහා සූදානම් වීම
මුඛය හරහා සිදුකරන Endoscopy පරීක්ෂණය බාහිර රෝගී (Out patient) පරීක්ෂණයක් විදිහට සිදුකරනවා. මේ සඳහා වාට්ටුවකට ඇතුළත් වීමට අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් කෙටි කාලයකින් සිදුකරන්න පුළුවන්. පරීක්ෂණයට පැය හයකට පෙර ගන ආහාර ලබාගැනීම නවත්වන්න අවශ්‍යයයි. පැය දෙකකට පෙර දියර ආහාර ලබාගැනීම නවත්වන්න ඕන.
ආහාර ගිලීමේ අපහසුතාවක් හෝ ගලනාලය ආශ්රිත අවහිරතා ඇති රෝගීන්ට මේ නිරාහාරව සිටීමේ කාලය වැඩියි. ඒ නිසා එවැනි රෝගීන් පරීක්ෂණයට ප්‍රථම දින වාට්ටුවට ඇතුළු කර වැඩි කාලයක් නිරාහාරව තබා පරීක්ෂණයට ලක්කරනවා. ඊට අමතරව මුඛය හරහා සිදුකරන OGD මගින් ප්‍රතිකර්ම සිදුකරනවා නම් ඒ රෝගීන්ද වාට්ටුවට ඇතුළත් කර සූදානම් කරනවා. පරීක්ෂණයට ප්‍රථමව රෝගියාගේ උගුරට ස්ථානීය නිර්වින්දනය (Local Anaesthetics) ඖෂධයක් Spray කිරීම සිදුවනවා. මෙහිදී සම්පූර්ණ නිර්වින්දනයක් හෝ නිද්‍රාශීලී ඖෂධ ලබාදීමක් සිදුකරන්නේ කුඩා දරුවන්ට, හදවත්
රෝගීන්ට හෝ අධික බියක් දක්වන අයට පමණයි. පරීක්ෂණය අවසානයේදී අතුරු ආබාධ රහිත නම් රෝගියාට නිවසට ගොස් සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට පුළුවන්.Colonoscopy පරීක්ෂණය සඳහා රෝගීන් සූදානම් කිරීම මෙම පරීක්ෂණය සඳහා සූදානම් වන රෝගියෙකුගේ බඩවැල ඉතා පැහැදිලිව පෙනීමට ඕනෑ. මලපහ තිබුණොත් බඩවැල පැහැදිලිව පෙනෙන්නේ නැහැ.
ඒ නිසා පරීක්ෂණයට දින තුනකට පමණ පෙරාතුව පටන් තන්තු සහිත ආහාර ගැනීම අඩුකරන්න උපදෙස් ලබාදෙනවා. පරීක්ෂණයට දිනකට පෙර රෝගියා වාට්ටුවට ඇතුළත් කරනවා. ඇතුළත් වූ දිනයේ රෝගියාට ලබාදෙන්නේ පැහැදිළි දියර වර්ග පමණයි. උදාහරණ විදිහට ජලය, තැඹිලි, කුරුම්බා, සුප්, ජීවනී වගේ දේවල්. එයින් පසුව බඩ සුද්දවීම සඳහා විරේක (laxativs) ලබාදෙනවා.
මේ විරේක ලබාගැනීමෙන් පසුව රෝගියා වැසිකිළි යන විට අපද්‍රව්‍ය නොමැති පැහැදිළි දියරයක් ලෙසින් මලපහ පිටවෙනවා නම් ඔහුගේ බඩ විරේකය සාර්ථකයි. කොලනොස්කෝපි පරීක්ෂණයේදී තද නිද්‍රාශීලී ඖෂධ (Deep sedatives) ලබාදෙනවා. මේ නිසා රෝගියාට නින්දේදී දැනෙන අපහසුතාවයන් අවමයි.
විශේෂයෙන් සූදානම් වියයුතු අවස්ථා මොනවාද?
රෝගියාගේ ලේ තුනීකරන ඖෂධ ( Asprin , Clopidogrel, warfarin) වැනි ඖෂධ ලබාගන්නවා නම් පරීක්ෂණයට පෙරාතුව වෛද්‍යවරයාට දැනුම් දී වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ වෙනස් කිරීම හෝ නැැවත්වීම සිදුකළ යුතුයි. රක්තහීනතාව සඳහා යකඩ පෙති ගන්නවා නම් වෛද්‍යවරයාට ඒ බව දැනුම් දී පරීක්ෂණයට සතියකට පෙරාතුව ඒවා නැවැත්වීම. නැත්නම් බඩවැල් රතු පැහැ ගැන්වී තිබීම නිසා පැහැදිළිව පෙනෙන්නේ නැතිවන්න පුළුවන්.
Endoscopy පරීක්ෂණයේ අතුරු ආබාධ මොනවාද?
Endoscopy උපකරණය වැදී තුවාල සිදුවන්න පුළුවන්. ආසාදන (Infection) නිර්වින්දන ඖෂධ වෙනුවෙන් ආසාත්මිකතාවන් ඇතිවන්න පුළුවන්. ඉතාම කලාතුරකින් සිදුරුවීම් (Perforation) වෙන්නත් පුළුවන්. නමුත් මේ අතුරු ආබාධ ඉතාමත් කලාතුරකින් වියහැකි ඒවා වන අතරම එවැනි අනතුරක් සිදුවුණත් ඉක්මන් ප්‍රතිකර්ම තිබෙන නිසා රෝගියාට ඇති අවදානම ඉතාම අඩුයි. මෙවැනි පරීක්ෂණ සිදුකරන හැම අවස්ථාවකම අපි ඒ ගැන රෝගියා හා පවුලේ අය දැනුවත් කර ඔවුන්ගේ ලිඛිත අවසරය මත සිදුකරනවා.
Endoscopy පරීක්ෂණවල තවත් කාර්යන් තිබෙනවාද?
ඔව්. තාක්ෂණයේ දියුණුව සමග එන්ඩොස්කොපි හරහා සිදුකරන Scan (EUS & ERCP (අග්න්‍යාශය සහ පිත්තාශය ආශ්රිත රෝග සඳහා යොදාගන්නා කැමරා පරීක්ෂණ) සහ මීට කලින් විවෘත ශල්‍යකර්ම ලෙසින් සිදුකරන ලද ආහාර මාර්ගය ආශ්රිත නිවාරණ පරීක්ෂණ එන්ඩොස්කොපි එක හරහා කිරීමේ හැකියාව දැන් තිබෙනවා. මේ නිසා අතුරු ආබාධ, රෝහල්ගත වීමේ කාලය අඩු වී තිබෙනවා වගේම රෝගියා ඉතා ඉක්මනින් යථා තත්ත්වයට (Recovery) පත්වන නිසා ඉක්මනින් කියාවන්ට යොමුවීම හරහා ආර්ථික වාසියත් රෝගියාට වගේම රටටත් ලැබෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️