කෙසෙල් කියන්නේ අපි කාටත් හොඳින් හුරු පුරුදු පලතුරක්. ඒ විතරක් නොවෙයි, කෙසෙල් කොළය, කෙසෙල් මුවය විතරක් නොවෙයි, කෙසෙල් කැන කපාගත් පසුව ඉතිරි වෙන කෙසෙල් බොඩයත් සත්ත්ව ආහාර සහ වෙනත් විවිධ නිෂ්පාදන වෙනුවෙන් යොදා ගන්නවා. ඒ අතරේ පරඬැල් එහෙම නැත්නම් වියළි කෙසෙල් පත්‍ර ගැන ඔබ මොකද හිතන්නේ…? අපේ පැරණි සාහිත්‍යයේ පවා යෙදෙන උපමාවන්හි ඉවත ලද පරඬලා පතක් සේ යන යෙදුම යොදලා තියෙනවා ඔබට මතක ඇති… ඔබේ එදිනෙදා ජීවිතයේදී වුණත් වියළි කෙසෙල් කොළ සමහරවිට දැවටුමක් විදිහට යොදාගත් අවස්ථාවන් තියෙන්නත් ඇති. එතැනින් ඔබ්බට ගිය ආර්ථික වටිනාකමක් වියළි කෙසල් කොළයට ලැබුණේ නැහැ. නමුත් වියළි කෙසෙල් කොළයට ආර්ථික වටිනාකමක් ලබා දුන් අයෙක් අපට හමුවුණා. ඇය ගැන තොරතුරු ඇයගෙන්ම අසා දැන ගනිමු.
එහෙමනම් ඔබ ගැන කිව්වොත්…?
මගේ නම මදුනි නදීශා. මම අනුරාධපුර රඹෑව උපත ලැබුවා. අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. පාසල් යන අවධියේ පටන් විවිධ විෂය ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වුණා. මට පාසල් කාලයේ පටන්ම රචනා ලියන්න හැකියාව තිබුණා.
පාසලේ වගේම දහම් පාසලෙත් මම ගද්‍ය රචනා, පද්‍ය රචනා යන ඉසව්වලින් ජයග්‍රහණය කළා. නමුත් මට අත්වැඩ හෝ චිත්‍ර කලාව ගැන නම් එතරම් හැකියාවක් තිබුන බව තේරුනේ නැහැ. සමහරවිට මම ඒ අංශයට වැඩි නැඹුරුතාවයක් නොතිබුන නිසාත් වෙන්න ඇති.
උසස් පෙළ අවසානයෙන් පසු මම විවාහ වුණා. සාමාන්‍ය ගෘහණියක් විදිහට ගෙදර දොර වැඩ කටයුතු සහ දරුවන් රැක බලා ගෙන නිවසේ සිටියා. මේ විදිහට හිටියත් පවුලේ ආර්ථික අපහසුතාවයන් නිසා කුමන හෝ ස්වයං රැකියාවක් නිවසේ ඉඳන් කරන්න තිබුනා නම් හොඳයි යන අදහස මගේ හිතේ තිබුණා.
ඔය අතරේ නිර්මාණ වැඩමුළුවට ආරාධනා ලැබුණා…
ඔව්… මම මේ විදිහට ස්වයං රැකියාවකින් ආදායම් මාර්ගයක් ගැන විපරම් කරමින් සිටින කාලෙක රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිළධාරිතුමියගෙන් පණිවිඩයක් ලැබුණා. වියළි කෙසෙල් කොළ නිර්මාණ වැඩමුළුවක් තිබෙනවා එයට සහභාගී වෙන්න කියලා. මම කවදාවත් අත්කම් නිර්මාණ කරලා තිබුණේ නැහැ. මේ අවස්ථාව මට ලොකු කුතුහලයක් ඇති කළා.
මට මේ කලාව පුළුවන් වෙයිද කියන සැකය ඇතිවුණා.වැඩසටහන ගැන ලොකු ඇල්මක් ඇති වුණා. මේ වැඩසටහනට සම්බන්ධ වුණාට පසුව මට දවසින් දවස ඒ ගැන ආසාවක් ඇති වුණා. මම ඉතාම උනන්දුවෙන් මේ කලාව ඉගෙන ගත්තා.
නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ සිතුවිලි කොහොලන්ගොඩ ගුරුතුමා අපට වියළි කෙසෙල් කොළවලින් ( පරඬැල් ) නිර්මාණ කිරීම ගැන දින 18 ක පුහුණුවක් ලබා දුන්නා. චිත්‍ර හෝ අත්කම් ගැන පළපුරුද්දක් නොතිබුණ මට මේ වියලි කෙසෙල් කොළ නිර්මාණ කලාව ඉතා හොඳින් කර ගෙන යන්න හැකියාව ලැබුණා.
වියළි කෙසෙල් කොලයක මේ කලාව කරන්නේ…
වියළි කෙසෙල් කොළ අරගෙන ඒවා හොඳින් මදිනවා. ඊට පසුව කොටසින් කොටස කපල අලවනවා. එතැනින් පසුව කල් තබාගැනීම සඳහා වෝටර් බේස් කරලා රාමු කරනවා. මේ නිර්මාණ කල් තබා ගැනීමේ හැකියාවකින් යුක්තයි.
මේ වියළි කෙසෙල් කොළ මත අඳින සිතුවම් මොනවාද…?
මම කරන ලද නිර්මාණ අතර කරඬුව වඩම්මන ඇතා, මව සහ දරුවා, සංඝමිත්තා තෙරණිය ජයසිරිමහ බෝධින් වහන්සේ වැඩම කිරීම, වගේ සිතුවම් තිබෙනවා. ඊට අමතරව ආලේඛ්‍ය සිතුවම් (පුද්ගලයන්ගේ ) නිර්මාණය කරනවා. ජෝ අබේවික්‍රම, මහේන්ද්‍ර පෙරේරා, මනෝජ් සංජය වැනි ප්‍රසිද්ධ චරිත මම ඡායාරූපයට නගා තිබෙනවා.
මේ වෙනුවෙන් ඔබට ලැබෙන සහයෝගය…
මගේ නිර්මාණ වෙනුවෙන් සැමියාගෙන් විශාල දායකත්වයක් ලැබෙනවා. මේ නිර්මාණ කිරීමට අවශ්‍ය බෝඩ්, කැපුම් තල, අලවන ගම් වගේ දේවල් වෙනුවෙන් මුදල් ලබා දෙනවා.
මේවා අලෙවි කිරීම…
නිර්මාණ පුහුණු වැඩමුළුවේදී නම් මේවා අලෙවි වුණා. මගේ මිතුරු මිතුරියන් වගේම දන්නා අඳුනන අය ඒවා මිළදී ගත්තා. නමුත් මේ කලාව අලුත්. තවම ව්‍යාප්ත වෙලා නැහැ.
ඒ නිසා අපේ නිර්මාණ වෙනුවෙන් තිබෙන්නේ පෞද්ගලික වෙළඳපොළක් පමණයි.
අප දන්නා හිත මිතුරන් අතර හුවමාරුවීමක් සිදු වුණත් අනාගතයේදී මහා පරිමාණ වෙළඳපොළක් නිර්මාණය වෙලා අපේ නිර්මාණ වෙනුවෙන් ඉල්ලුමක් ලැබෙන දිනයක් ඒවී.
ඔබට සමාජයට ලබාදෙන පණිවිඩයක් තිබෙනවාද…?
ඔව්… වියළි කෙසෙල් පත්‍ර දිරලා පොළවට පස් වෙන්න නොදී ඒවාගෙන් යම් නිර්මාණයක් කිරීමෙන් ආදායමක් ලබා ගන්න පුළුවන්. මේ වගේ නිර්මාණ වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය වන වියළි කෙසෙල් පත්‍ර පහසුවෙන් ලබා ගන්න පුළුවන්.
නිවසේ විවේක කාලයේදී කරන්න පහසු ස්වයං රැකියාවක්. මේ කලාව ව්‍යාප්ත වුණොත් සංචාරකයන් වෙනුවෙන් වෙළඳපොළක් නිර්මාණය කරන්න පහසුවෙන් පුළුවන්. ඒ විතරක් නොවෙයි, සාර්ථක නිර්මාණයක් අවසානයේදී හිතට දැනෙන සතුට වචනයෙන් කියන්න හෝ මුදලින් තක්සේරු කරන්න බැහැ.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️