දරුවන් ලැබීම ගැන සඳහන් කරන විට අපි මවගේ වයස ගැන සැලකිළිමත් වෙනවා. ඒ ඇගේ ශාරීරික යෝග්‍යතාව නිසයි. නමුත් දරුවන් ලැබීමේදී පියවරුන්ගේ වයස ගැන සමාජයේ එතරම් අවධානයක් නැහැ.
පසුගිය දිනක ඇමරිකානු රංගන ශිල්පියකු වූ අල් පචීනෝ පිය පදවිය ලැබුවා. මේ වෙන විට ඔහුගේ වයස අවුරුදු 83 ක්. නමුත් ඔහුට පිතෲත්වය ලබාදුන් පෙම්වතියගේ වයස අවුරුදු 29 ක්. මේ අනුව අල් පචිනෝ දැන් වියපත් පියවරුන්ගේ සමාජයට එක්ව සිටිනවා.
අල් පචීනෝගේ මිතුරෙක් වූ රොබට් ඩි නීරො පිය පදවිය ලබන විට අවුරුදු 79 ක්. ඔහු හත් දරු පියෙක්. මේ ලෝකයේ වියපත්ව සිටින එකම පියවරු දෙදෙනා නොවේ.
2015 වසරේ සිදුකරන ලද අධ්‍යයනයකට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍යයෙන් පියකුගේ වයස අවුරුදු 30 යි මාස 9 ක් වන අතර 1972-2015 අතර කාලයේදී මෙම වයස වසර තුනහමාරකින් ඉහළ ගොස් තිබේ. මේ අනුව පියවරු අතරින් 9% ක්ම තම දරුවා උපදින විට අවුරුදු 40 ක් පමණ පරිණත වයසකට පත්ව සිටී. නමුත් වියපත් වයසේදී පියෙකු වීමේ යම් අවදානමක් තිබෙන බැව් යුටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් 2022 වසරේදී අධ්‍යයනයකින් තහවුරු කළා.
මෙම අධ්‍යනයේදී පරිණත පියෙකුගේ වයස, සශ්‍රිකත්වය, සහ කාන්තාවන්ගේ ලිංගික ගැටලු මෙන්ම ළමා සෞඛ්‍ය කෙරෙහි බලපෑම යන සවිස්තරාත්මක සමාලෝචනයක් පදනම් කරගත්තා. සැබවින්ම වියපත් වයසේදී පියෙකු වීමේ අභිමානය ඔහු ලැබුවත් දරුවාගේ අනාගතය සම්බන්ධයෙන් ඇතිවන මානුෂීය ගැටලු ගැනත් සිතීම වැදගත් බවත් අමතක නොකළ යුතුයි.
ජීව විද්‍යාත්මකව පුද්ගලයකුගේ ආයුෂ තුළ යම් සීමාවක් තිබෙනවා. ඒ අනුව පියාගේ ජීවිතයේ ඇති අවදානම අනිවාර්යෙන් දරුවාට බලපානවා. මේ ගැන දරුවාගේ හිතේ යම් චකිතයක් ඇතිවීමත් සාධාරණයි.
දරුවාට සාපේක්ෂව බලන විට පියාගේ වියපත් බව ගැටලුවක්. දරුවාට තමාගේ අනාගතය ගැන බියක් සමග ජීවත් වීමටත් සිදුවනවා. ඒ නිසා වාර්තා තැබීමට පිය පදවිය දැරීම සතුටට කරුණක් නම් නොවන බවත් කිව යුතුමයි.
බීබීසී ඇසුරෙන්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️