සෑම වසරකම දෙසැම්බර් මාසයේ පළමු වැනි දින ලෝක ඒඩ්ස් දිනය සමරනු ලබනවා. ලෝකයෙන් ඒඩ්ස් තුරන් කිරීම සඳහා සියලුම පාර්ශවකරුවන්ගේ දායකත්වය හඳුනාගැනීම මෙහි අරමුණයි.36 වැනි වරට ලෝක ඒඩ්ස් දිනය සමරන අපි මෙවර තේමාව ලෙස සලකන්නේ ‘අයිතින් සුරකිමු. ඒඩ්ස් නවතමු’ යන්නයි.2018 වසරේ සිට වයස අවුරුදු 15 ත් 24 ත් අතර වයස් පරාසයේ යෞවනයන් අතර HIV (Human Immunodeficiency Virus) ආසාදිතයන් ලංකාවෙන් හඳුනාගෙන තිබෙනවා. 2023 වසරේ HIV නව ආසාදිතයන්ගෙන් 105 (15%) දෙනකු මෙම වයස් පරාසයට ඇතුළත් වූ බව වාර්තා වෙනවා. ඒ අතරින් 87% ක් පිරිමි පුද්ගලයන්.
- HIV සමග ජීවත්වන පුද්ගලයන් 4,700 ( 4400-4900 )
- වැඩිහිටියන් අතර HIV පැතිරීම 01%
අපේ රටට HIV බලපෑම
අපේ රටේ HIV ආසාදිත රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් මෑත කාලයේදී දකින්න ලැබුණා. 2023 වසර තුළ පමණක් නව ආසාදිතයන් 694 ක් වාර්තා වී තිබෙනවා. මෙයින් 613 ක් (88%) පිරිමි පුද්ගලයින්. තවමත් ශ්රීි ලංකාව තුළ HIV පැතිරීමේ අඩු අවදානමක් තිබෙනවා. ප්‍රතිශතයක් ලෙස සඳහන් කරනවා නම් අපේ රටේ HIV ව්‍යාප්තිය 01% ට වඩා අඩු අගයක පවතිනවා.
HIV යනු කුමක්ද?
HIV යනුවෙන් අදහස් කරන්නේ මානව ඌනතා ප්‍රතිශක්ති වෛරසයයි. මෙම වෛරසය ශරීරයට ඇතුළු වී කාලයක් ගතවන විට ප්‍රතිශක්තිය අඩුවීම නිසා AIDS ( නතු කරගත් ප්‍රතිශක්ති ඌනතා සහ ලක්ෂණය ) තත්ත්වයට පත්වනවා. නමුත් වර්තමානයේදී HIV සමග ජීවත්වෙන පුද්ගලයින්ට සාර්ථක ප්‍රතිකාර ක්‍රම තිබෙන නිසා ඔවුන්ට ගුණාත්මක ජීවිතයක් ගත කරන්න පුළුවන්.
ඒ නිසාම HIV සමග ජීවත්වෙන පුද්ගලයින් ‘ඒඩ්ස් රෝගීන්’ ලෙස වාර්තා නොකරන ලෙසද මාධ්‍ය භාවිතයේදී HIV සමග ජීවත් වෙන පුද්ගලයින් වෙනස් කොට සැලකීම සහ කොන් කිරීම අවම වෙන ලෙසින් මාධ්‍ය භාවිත කිරීම ගැන ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන වැඩ සටහන මාධ්‍ය වෙත දන්වා සිටිනවා.
HIV නිවාරණයට ගෙන ඇති ජාතික මට්ටමේ ක්‍රියාමාර්ග මොනවාද?
යම් පුද්ගලයකුට තමා ඒඩ්ස් රෝගියකු දැයි සැකයක් ඇති වුණොත් රුධිර පරීක්ෂණ වාර්තාවක් මගින් ඒ බව තහවුරු කරගැනීමට පුළුවන්. ඒ වෙනුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පිහිටි රජයේ රෝහල්වල ලිංගාශ්‍රිත රෝග සායන මගින් නොමිලයේම රුධිර පරීක්ෂණයක් සිදුකර ගත හැකියි. මෙහිදී රෝගියාගේ රහස්‍ය බව සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරනවා.
මුල් අවධියේදී HIV ආසාදිතයෙක් බව දැනගතහොත් ප්‍රතිවෛරස ඖෂධ ප්‍රතිකාර ලබාගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට පුළුවන්. මුඛ මාර්ගයෙන් සිදුකරන HIV පරීක්ෂණ කට්ටල know 4 sure.lk වෙබ් අඩවිය මගින් කිවසටම ගෙන්වා ගැනීමට පුළුවන්. මෙම පරීක්ෂණ කටයුතු පුළුල් කර ගැනීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අමතරව රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන්ද සම්බන්ධ කරගෙන කටයුතු සිදුවනවා.
HIV වළක්වා ගන්නේ කොහොමද?
■ ඔබේ ලිංගික සම්බන්ධතාවයන් එක් විශ්වාසවන්ත සහකරුවෙකුට පමණක් සීමා කරන්න.
■ අනාරක්ෂිත ලිංගික එක්වීමකදී සැම විටම කොන්ඩමයක් පාවිච්චි කරන්න.
■ HIV සමග ජීවත්වෙන පුද්ගලයින්ට ප්‍රතිවෛරස ඖෂධ ලබාදීමෙන් ඔවුන්ගේ රුධිරයේ ඇති වෛරස ප්‍රමාණය ගැණිය නොහැකි තරමට කුඩා අගයකට පත්කරගත හැකිය. එවිට ලිංගිකව සිදුවන සම්ප්‍රේෂණය අවම කරගත හැකිය.
■ HIV වෛරසය පැතිරීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ට HIV පූර්ව ආරක්ෂක ප්‍රතිකාරය හෙවත් PrEP-pre-exposure prophylaxis ඖෂධ ලිංගික සම්බන්ධතාවයන්ට පෙර ලබාදීම.
■ HIV පැතිරීම සඳහා අවදානම වැඩි පුද්ගලයින්ට පසු ප්‍රතිකාරය හෙවත් PESPE – ( post exposure prophylaxis ) ඖෂධ, ලිංගික සම්බන්ධතාවයකින් පසු පැය 72 ක් ඇතුළත ලබාදීම.
මෙවර ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩි සටහන විසින් පහත දැක්වෙන වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.
■ 2024 වසරේ දෙසැම්බර් පළමු වැනි දින ලෝක ඒඩ්ස් දින පා ගමන.
■ මෙය කොළඹ ගාලුමෝදර පිටියෙන් ආරම්භ වී ලිබර්ටි වටරවුම, විහාර මහ දේවි උද්‍යානය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතක ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන් මූලස්ථානය වෙත ගමන් කිරීම.
■ කොළඹ නගරය පුරා දැනුවත් කිරීමේ බස් රථයක් ධාවනය කිරීම.
■ කොළඹ නගරයේ තෝරාගත් ස්ථාන කීපයක ප්‍රජාව වෙනුවෙන් HIV පරීක්ෂණ කටයුතු සූදානම් කිරීම.
■ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හා තරුණ ප්‍රජාව මුල් කරගෙන සිදුකරනු ලබන සමාජ මාධ්‍ය දැන්වීම් තරගයක් සංවිධානය කිරීම.
■ බන්ධනාගාරගත පුද්ගලයනගේ සහභාගීත්වයෙන් සිදුකරන නාට්‍ය තරගය.
■ ලෝක ඒඩ්ස් දිනය නිමිති කරගෙන බැනර්, අත්පත්‍රිකා, වීඩියෝ දර්ශන හරහා ජනතාව දැනුවත් කිරීම
■ දිවයින පුරා පිහිටුවා ඇති ලිංගාශ්‍රිත රෝග සායන මගින් ලෝක ඒඩ්ස් දින සැමරුම් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීම.
මේ අන්දමින් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් අනාගතයේදී HIV ආසාදිතයන්ගේ ව්‍යාප්තිය අඩුකිරීමට අදහස් කරන අතර ඒ අනුව අනාගතයේදී ලංකාව HIV ආසාදිතයන්ගේ ශුන්‍ය කලාපයක් බවට පත්කිරීම අනාගත අරමුණ ලෙසින් පෙන්වා දිය හැක.
පුන්‍යා චාන්දනි ද සිල්වා ✍️