ළග එන උත්සව සමය හා අවුරුදු උදාව සමඟ දිනෙන් දින වැඩි වන බඩු මිල, භාණ්ඩ හිඟකම හා තොග සැගවීම ආදී ක්‍රියාවන් සම්බන්ධව පවතින නීතිමය තත්ත්වයන් කෙරෙහි පාරිභෝගිකයන් වන අප වැඩි උනන්දුවක් නොදක්වයි. පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා සබැඳි වෙළෙඳපොළ අවශ්‍යතාවන් කාලෝචිත වන අතර මෙරට පාරිභෝගික ආරක්ෂාව හා සම්බන්ධයෙන් පවතින නීතිමය වපසරිය මෙසේ විමසා බලමු.
පාරිභෝගිකයා යනු කවරෙක්ද?
පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 75 වගන්තිය අනුව “ වෙළෙන්දෙකු හෝ නිෂ්පාදකයෙකු විසින් ප්‍රතිෂ්ඨාවක් සදහා ලබා ගැනීමට සලස්වන යම් භාණ්ඩයක් හෝ සේවා, නියම වශයෙන් භාවිත කරන්නෙකු හෝ භාවිත කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි තැනැත්තෙකු” ලෙස අර්ථ දක්වනු ලබයි.
මේ අනුව වර්තමානය තුළ වෙනම සන්දර්භයක් සේ පිළිගන්නා “ පාරිභෝගිකයා” යන කුලකයට භාණ්ඩය හෝ සේවාව ලබා ගන්නා තැනැත්තා පමණක් නොව, ලබා ගැනීමට අපේක්ෂිත ඕනෑම පුද්ගලයෙකු අන්තර්ග්‍රහණය කර ඇත.
පාරිභෝගික ආරක්ෂණය යනු කුමක්ද?
සරලවම දක්වන්නේ නම් පාරිභෝගිකයාට සිදුවන අක්රමිකතාවන් අවම කොට දරණ පිරිවැයට උපරිම තෘප්තියක් ලබාදීම පිණිස නෛතිකමය රැකවරණයක් ලබාදීම මෙලෙස හඳුන්වනු ලබන අතර මෙකී සංකල්පය පසුපස ඇති තර්කය වන්නේ පාරිභෝගිකයා හා සැපයුම්කරු අතර පවත්නා සබඳතාවයන් සාධාරණ හා සමබරව පවත්වාගෙන යාමයි.
එසේම “Exploitation Theory ( සුරාකෑමේ න්‍යාය ) අනුව පාරිභෝගිකයන් හා විකුණුම් පාර්ශවය අතර ගිවිසුම් ගතවීමකදී ආධිපත්‍ය පාර්ශවය ලෙස විකුණුම් පාර්ශවය විසින් කොන්දේසි පැනවීමත්, පවත්නා විෂමතාවයන් යටතේ සැලකිය යුතු ලෙස පාරිභෝගිකයන් සුරාකෑමට ලක්වීමත් යන හේතු ද්විත්වය මත පාරිභෝගිකයාට ආරක්ෂණයක් පැවතිය යුතුය.
ශ්‍රී ලංකාව තුළ පාරිභෝගික ආරක්ෂණය සඳහා පවතින නෛතික පසුබිම කුමක්ද?
ගෝලීය වශයෙන් පාරිභෝගික ආරක්ෂක සාර්වත්රික නීතිය (Umbrella Law) වශයෙන් Consumer Right Directive 2011$83/EU ක්‍රියා කරන අතර මෙරට පළිහ ලෙස 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත ක්‍රියාත්මක වන්නේ පෙර පැවති 1979 අංක 01 දරණ පාරිභෝගික ආරක්ෂණ පනත හා 1987 සාධාරණ වෙළෙඳපොල කොමිෂන් සභා පනත අහෝසි කරමිනි.
එහි 7 වන වගන්තිය තුලින් විශාල පරාසයක විහිදෙන අරමුණු සදහන් කර ඇති අතර ජීවිතයට හා දේපළට හානිකර භාණ්ඩ හා සේවා සැපයීමෙන්, අසාධාරණ වෙළෙඳ පිළිවෙත්වලින්, වෙළෙදුන් විසින් කරනු ලබන සුරාකෑම්වලින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම හා හැකි සෑම විටම තරගකාරී මිලට භාණ්ඩ හා සේවා ලබාගැනීමට අවස්ථාව උදාකිරීම යන ඒවා ප්‍රධාන වේ. එසේම 8 වන වගන්තිය තුළින් වෙළෙඳ ඒකාධිකාරය නතර කිරීම, පාරිභෝගික පැමිණිලි විමර්ශනය, ඵලදායී තරගකාරීත්වයක් පවත්වාගැනීම හා පාරිභෝගිකයාට නිසි දැනීමක් ලබාදීම වැනි අධිකාරියේ අවශේෂ කටයුතු දක්වයි.
තවද 28 වගන්තිය තුළ ගැණුම්කරු භාණ්ඩය මිලට ගන්නා අවස්ථාවේදී කුවිතාන්සිය ඉල්ලන්නේ නම් එය ලබාදිය යුතු අතර එහි භාණ්ඩයේ වර්ගය, මිළ, විකුණුම් දිනය, ප්‍රමාණය, විකුණුම්කරුගේ නම හා කුවිතාන්සිය සැකසු අයගේ නම යනාදී විස්තර ඇතුලත් විය යුතුය. එසේම 34 වගන්තිය තුළින් තරඟ විරෝධී චර්යාවන්( Anticompetitive Practice) හදුන්වා ඇති අතර ඉන් තරගය සීමා කිරීම් හෝ අහෝසි කර වෙළෙඳ ඒකාධිකාරයක් නිර්මාණය කරනු ලබන ක්‍රියාවන් සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනයට අධිකාරියට බලය ලබා දී ඇත.
පනතේ නාමිකව සඳහන් කර ඇති වැරදි කවරේද?
I. 10 වගන්තිය : භාණ්ඩවල මිල සහ ඇසුරුම සමබන්ධයෙන් වන නියෝග
II. 11 වගන්තිය : නියමිත මිලට වඩා වැඩිමිලට භාණ්ඩ විකිණීම
III. 15 වගන්තිය : තම සන්තකයේ පවත්නා භාණ්ඩ ප්‍රතික්ෂේප කිරීම
IV. 16 වගන්තිය : භාණ්ඩ සනතකයේ තිබියදී භාණ්ඩ තොග නොමැති බව පැවසීම.
V. 17 වගන්තිය : අවශ්‍යතාවයට අතිරේක ලෙස භාණ්ඩ තොග පවත්වාගෙන යාම
VI. 30 වගන්තිය : පාරිභෝගිකයා නොමග යැවීම හෝ රැවටීම
VII. 31 වගන්තිය : භාණ්ඩ පිළිබදව අසත්‍ය තොරතුරු දැක්වීම
ඉහත ආකාරයට වැරදි නම් කිරීම තුළ වූ මුඛ්‍ය පරමාර්ථය වන්නේ පාරිභෝගික ආරක්ෂණය හා වෙළෙද ප්‍රජාවේ යුතුකම් හා වගකීම් අවබෝධ කරවීමයි.
භාණ්ඩයක උපරිම මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයාට ඇති අයිතිය කුමක්ද?
පනතේ 14 වගන්තිය තුළින් උපරිම මිල සම්බන්ධයෙන් ආරක්ෂාවක් පාරිභෝගිකයාට ලැබෙන අතරම 19(1) හා 20(8) අනුකූලව සාධාරණ නොවන මිලකට භාණ්ඩය විකුණා ඇතිබව අධ්‍යක්ෂක ජනරාල්වරයාට පෙනී යන්නේ නම් ඒ පිළිබදව පාරිභෝගික කටයුතු සභාවට දැන්විය යුතු අතර සභාවේ නිර්දේශ අනුව ඉහළ මිල නියම කරමින් ගැසට් පත්‍රයක් පළ කළ යුතුය.
පනතේ 18 වගන්තිය යටතේ ඇමතිවරයා අධිකාරියෙන් විමසා යම් භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රජාවගේ හෝ එහි යම් කොටසකගේ ජිවිතයට අත්‍යවශ්‍ය බවට තීරණය කර නිශ්චිත භාණ්ඩ හෝ සේවා ලෙස නම් කර ඇත්නම් එහි මිල ඉහළ නැංවීම අධිකාරියේ අවසරයකින් තොරව සිදු කළ නොහැක. එසේම සෑම වෙළෙන්දෙකුම අධිකාරියේ ලියාපදංචි විය යුතු බව 27 වගන්තිය දක්වත්දී 26 හා 29 වගන්තිවලින් විකුණුම් භාණ්ඩයන්හි මිල දර්ශනය හා අධිකාරියේ විධිවිධාන පුවරුවක් ප්‍රදර්ශනය කළ යුතුය.
අධිකාරියේ රෙගුලාසි කඩකළ බවට වූ පැමිණිල්ලක් මාස 3 ක කාලයක් තුළත්, භාණ්ඩවල තත්ත්වය සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් මසක් තුළදී අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතු අතර ඒවා මාස 3 ක කාලයක් තුළ විභාග කිරීමේ වගකීම අධිකාරිය සතු වේ. විමර්ශනයෙන් පසු එහි ප්‍රතිඵල වශයෙන් දෝෂ සහගත භාණ්ඩයක් සදහා නව භාණ්ඩයක් හුවමාරු කිරීමටත්. නැතහොත් සිදු වූ අලාභය පියවීමට වන්දි අය කරගැනීමේ හැකියාවද ඇත.
නීතීඥ ආර්. එම් පබෝධා රත්නායක
pabodabandara@gmail.com