බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි… සැළළිහිණි සංදේශ කාව්‍යයේ සඳහන් වන අන්දමට අපි තවමත් පෙර මග නිමිති ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. ඒ වගේම අපි සුබයි යැයි සිතන දේවල් වගේම අසුබ යැයි අප විසින්ම ගොඩනගාගත් සංකල්පත් තිබෙනවා. බුද්ධකාලීන සමාජයේ පිරිසක් දකින දෙය මංගල යැයි සිතූහ. තවත් පිරිසක් ඇසෙන දෙය මංගල යැයි සිතුවා. තවත් පිරිසක් දැනෙන දෙය මංගල යැයි සිතුවා. මේ අන්දමින් විවිධ මතවාද සමාජයේ පැතිරී තිබුණි. දෙවියන්ට පවා මෙය විසඳා ගත යුතු ගැටළුවක් බවට පත්ව තිබුණා.
මහා මංගල සුත්‍රයේ නිදාන කතාව…
බුදුරජාණන්වහ්නසේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩ වාසය කරන සමයේ දෙවියන් විත් නිවරැදි වූ මංගල කරුණු මොනවාදැයි විමසා සිටියා. දෙවියන් උදෙසා බුදුරජාණන්වහන්සේ විසින් මංගල කරුණු 32 ක් ගැන මහා මංගල සුත්‍රයේ දේශනා කර තිබෙනවා.
ඒ අනුව සමණානංච දස්සනං… ශ්රමණයන් වහන්සේලා දැකීම මංගල කාරණාවක් විදිහට උන්වහන්සේ පෙන්වා දුන්නත් අපේ සමාජයේ ස්වාමින්වහන්සේලා නිමිත්තක් ලෙසින් මුණ ගැසීම අසුබ යැයි සලකනවා. ඒ වගේම සුබ කටයුතත්කදී ගණුදෙණු කිරීම වැනි අවස්ථාවන්හිදී ස්වාමින්වහන්සේලා වෙනුවෙන් සමාජයේ තැනක් නැහැ.
මේ සංකල්පය ඇති වුණේ කොහොමද…?
බුදදුහම පවතින රටක, බුදුරජාණන්වහන්සේ විසින් ශ්රමණයන් දැකීම මංගල කාරණාවක් ලෙසින් සලකා තිබියදීත් මෙවැනි අසුබ අදහස් ගොඩනැගුනේ කෙසේද…? යන්නත් ඔබ සිතනු ඇති. යටත් විජිත පාලන සමයේදී බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා මුල් කර ගෙන සමාජයේ පැවැති ගෞරවය නැති කිරීම සඳහා යොදන ලද ඉතා සියුම් උපායක් ලෙසින් මෙවැනි අදහස් සමාජගත කරනු ලැබුවා.
සුපෙශල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේ නමක් දැකීම සැබැවින්ම සිතට ශාන්ත බවක් ඇති කරවන දර්ශනයක්. චණ්ඩාශෝක ලෙසින් ප්‍රසිද්ධියට පත් අශෝක රජතුමාගේ සිත සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන්වහන්සේ දැකීමෙන් ධර්මාශෝක වීමට තරම් වෙනස්වීමකට පත් වුණා. අස්සජී ස්වාමින් වහන්සේගේ සන්සුන් ගතිපැවැතුම් දුටු උපතිස්ස ධර්මය අසා බුදුසසුනේ අග සව් තනතුරු දැරීමට පවා වාසනාව ලබා ගත්තා. එසේ නම් අප නිවසෙන් බැහැරව යන ගමනකදී භික්ෂුන් වහන්සේනමක් ඉදිරියට මුණ ගැසීම අසුබ නිමිත්තක් ලෙසින් සැලකිය හැකිද ?
අවබෝධයෙන් සිතන්න…
බුදුරජාණන් වහන්සේ වතාවක් බාහිය දාරුචීරියට දේශනා කරන ලද මේ ගාථාව අද සමාජයට ඉතාම වැදගත්.
දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති
සුතේ සුත මත්තං භවිස්සති
මුතේ මුත මත්තං භවිස්සති
විඤ්ඤාතේ විඤ්ඤත මත්තං භවිස්සති
තේරුම…
දකින දේ දකින පමණින් ගන්න
ඇසෙන දේ ඇසෙන පමණින් ගන්න
දැනෙන දේ ( පංචඉන්ද්‍රියන්ට ) දැනෙන පමණින් ගන්න
හිතෙන දේ හිතන පමණින් ගන්න
අද අපි විද්‍යාත්මක ලෝකයක ජීවත් වුණත් තවමත් හූනෙකුගේ හඬට… බල්ලෙකුගේ උඩ බිරුමකට, බස්සෙක්… බකමූනෙක් හඬ නගන විට දුර්මුඛ වෙනවා.
මේ නිසාම අපේ සිතේ යම් සෘණාත්මක සිතුවිළි ඇති වෙනවා එහෙත් මෙය තවත් එක් සත්ත්වයෙකුගේ හඬක් යැයි සිතන්නට තරම් ඔබේ සිත දියුණු කර ගැනීම ඉතා වැදගත්.
ක්‍රෝධය නිසා ඔබ වැනසෙනවා…
ඒ වගේම යම් යම් දර්ශන හා ශබ්ද මුල් කරගෙන ඔබ විසින් ඇති කරන ගන්නා ක්‍රෝධ සිතුවිලි විටෙක ඔබේම ජීවිතයට විවිධ ගැටළුකාරී තත්ත්වයක් ඇති කිරීමට ඉඩ තිබෙනවා. ධම්මපද අටුවාවේ සඳහන් වන මේ කථාව ඊට හොඳම නිදසුනක්.
එක් දිනක් උදෑසන සුනඛයන් පිරිවරා ආයුධද ගෙන දඩයමේ යමින් සිටි කෝකාලික නම් වැද්දා අද මට ඉදිරියට මුණ ගැහුනේ මේ භික්ෂුවයි. අද දවසේ මට දඩයමක් නොලැබෙනු ඇතැයි කෝපයෙන් එම භික්ෂුව දෙසට සුනඛයන් උසි ගැන්නුවා.
තැනට සුදුසු නුවණ ඇති භික්ෂුන් වහන්සේ සැනින් ගසකට නැගගත් අතර ගස යටට පැමිණි වැද්දා විවිධ ආයුධ තුලින් භික්ෂුන් වහන්සේගේ පාදයන්ට ඇන තුවාල කරන්න පටන් ගත්තා.
භික්ෂුන්වහන්සේ බේරීමට තැත් කරන විට උන්වහන්සේගේ සිවුර ගැලවී එය වැද්දාගේ සිරුර මතට වැටිණි. සුනඛයන් මේ වැටුනේ භික්ෂුන් වහන්සේ යැයි සිතා වහා එතැනට විත් මරණයට පත් වෙන තෙක්ම වැද්දා සපා කන්නට පටන් ගත්තා.
මේ කතාව අනුවත් ඔබ දකින දේ ගැන මිථ්‍යා දෘෂ්ටි සිතකින් සිතුවොත් එයින් ඔබටම අවැඩක් සිදු වෙනු ඇත. ඔබට අවැඩක් කරන්නේ තවත් බාහිර බලවේගයක් නොව ඔබේම සිතුවිළිය.
හූනෙක් හඬ නගන විට ඔබේ සිතුවිලි පරම්පරාවම සෘනාත්මකව සිතන්නට පටන් ගනු ඇත. එතැන් පටන්ම ඔබ කටයුතු කරන්නේ මෙයින් මට ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි වෙනු ඇත යන චකිතයෙන්ය. මේ නිසාම ඔබ කරන කටයුත්ත අසාර්ථක විය හැක. එහෙත් එයට පසුබිම් වූයේ හූනාගේ හඬ නොව ඔබේ සිතේ ඇති වුන අසුබවාදී ආකල්පයයි.
හැම හේතුවකටම ඵලයක් තිබෙනවා…
බුදදුහමේ ඉගැන්වීම එයයි. සුබවාදී ප්‍රතිඵල ලැබෙන්නේ ඔබ දකින දෙයින්වත්, ඔබට ඇසෙන දෙයින්වත්, ඔබට දැනෙන දෙයින්වත් නොවේ.
තෙරුවන් සිහිපත් කරන්න…
බෞද්ධයන් වන අපට තෙරුවන් සරණ හැර වෙනත් සරණක් නැත. පෙර මග නිමිතිවලට වඩා තෙරුවන් ගුණ මෙනෙහි කිරීම බලවත්ය. දුටුගැමුණු රජතුමා යුද්ධයට යන විට රන්පතක ලියා ඔටුන්නේ තබාගත් ගාථා ආරක්ෂක ගාථාවන් ගැන සඳහන් වෙනවා.
බුද්ධො තිලොක
සරණෝ – බුද්ධො සුරියෝ තමෝනුධෝ
ඒවං තං සරණං කේමං- බුද්ධෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං බුද්ධං- නත්ථි මය්හං භයං සදා….
ධම්මෝ තිලොක සරණෝ – ධම්මො සුරියෝ තමෝනුධෝ
ඒවං තං සරණං කේමං- ධම්මෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං ධම්මං- නත්ථි මය්හං භයං සදා…
සංඝෝ තිලොක සරණෝ – සංඝෝ
සුරියෝ තමෝනුධෝ
ඒවං තං සරණං කේමං- සංඝෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං සංඝං- නත්ථි මය්හං භයං සදා…
ජයො මුනින්දස්ස සුබෝධිමුලේ- අහෝසි මාරස්ස පරාජයොහි
උග්ගගෝසයුං දේව ගනා
පසන්නා- ඒතේන සච්චේන ජයස්සු මය්හං
එසේ නම් මිථ්‍යාවන් මත එල්බ නොවන්න. සතුන්ට නාද කළ හැක. ඒ ඔවුන්ගේඳ ගති ස්වභාවයයි. භික්ෂුන්වහන්සේ යනු බුදුරාණන් වහන්සේගේ දහම පිළිපදින, ඒ අනුව හැසිරෙන සිල්වත් ගුණවත් පිරිසකි. එසේනම් භික්ෂුන්වහන්සේ යනු අපේ ජීවිතයට ආශිර්වාද කරන පැවිදි උතුමන් මිස අසුබ චරිත නම් නොවේ.
ශාස්ත්‍රපති පූජ්‍ය කොළොන්නාවේ නාරද ස්වාමින් වහන්සේ
ශ්‍රී බෝධිරාජාරාමය- කොළඹ 10
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️