පතිරණ මහත්මිය තිදරු මවක්. ඇගේ ස්වාමි පුරුෂයා මීට අවුරුදු දෙකකට පමණ පෙර උඩුදුවන ලද පෙනහලු පිළිකාවක් හේතුවෙන් ජීවිතයෙන් සමුගෙන තිබුණා. ඒ අවාසනාවන්ත සමුගැනීමත් සමඟ දරු තිදෙනාගේ සම්පූර්ණ වගකීම ඇය වෙත පැවරී තිබුණා. මේ හේතුව නිසාම පිළිකා පිළිබඳ දැඩි බියක් ඇය තුළ පැවතුණා.
පිළිකා හැම එකක්ම එක වගේ නෙවෙයි. බොහෝමයක් පිළිකා හැදෙන්නෙ නැතිව වළක්වා ගන්න පුළුවන්. තවත් පිළිකා වර්ග විශාල ප්‍රමාණයක් උඩුදුවන්නට කලින් හඳුනාගතහොත් සම්පූර්ණයෙන්ම සුව කරගන්නත් පුළුවන්. හැබැයි නිසි සම්මත ප්‍රතිකාර කලට වේලාවට කරගත්තොත් විතරයි, එහෙම හොඳ කරන්න පුළුවන්.
පතිරණ මහත්මියගේ පිළිකා ගැන තිබුණ බිය හරිම අමුතු එකක්. පිළිකා කල්තියා හඳුනාගන්න කරන පරීක්ෂණ කරගන්න ඇය ගොඩක් බිය වුණා. එහෙම වුණේ, තමන්ට පිළිකාවක් තිබුණොත් ඒක දැනගන්න වෙන නිසා. ඇගේ මේ විපරීත සිතුවිලි ඇයව යථාර්ථයෙන් දුරස් කර තැබුවා. වෘත්තියෙන් විද්‍යා උපාධිධාරි ගුරුවරියක් වුවත්, මේ බිය නිසා ඇතිවූ චර්යාවන් වෙනස් කිරීමට ඇයට හැකියාවක් තිබුණේ නෑ.
පතිරණ මහත්මියගේ ඉහත ක්‍රියා කලාපය ඇයටම සීමාවූ දෙයක් නොවේ. ඇතැම් පුද්ගලයන් තුළ මේ අසාමාන්‍ය බිය පවතිනවා. ඇත්තටම කළයුතු වන්නේ පිළිකාවක් තමන් තුළ තියෙනවද කියල බලන, කල්තියා හඳුනාගැනීමේ පරීක්ෂණයන් කරගෙන, එසේ තිබේ නම් ඊට කළ යුතු නිසි පිළියම් කිරීමයි. පිළිකා කල්තබා හඳුනාගැනීමට කරන පරීක්ෂණවලින් කෙරෙන්නේ සිරුර තුළ තිබෙන පිළිකාවක් හඳුනාගැනීම මිසක්, පරීක්ෂණය කිරීමෙන් සිරුර තුළ පිළිකාවක් හටගැනීම නොවේ.
මෙය ඉතා පැහැදිලිව තේරුම්ගත යුතුයි. වයස අවුරුදු 40 පසුකර වසර කිහිපයක්ම ගතවී තිබුණත් ඇය තවම මැමෝග්රැපි පරීක්ෂණයක් කරගෙන තිබුණේ නෑ. එසේ වූයේ ඇය එම පරීක්ෂාවන් ගැන දැන නොසිටි නිසා නොවේ. ඒ ගැන තිබූ ඉහත කී බිය නිසයි. දිනක් නාන කාමරයේ ස්නානය කරමින් සිටින විට ඇගේ දකුණු පියයුරේ යම් අමුත්තක් ඇයට දැනුණා. හොඳින් අල්ලා බැලීමේදී ඒ පියයුරේ වූ ගෙඩියක් බව ඇයට වැටහුණා.
“නෑ මේක නම් වෙන්ඩම බෑ. මට එහෙම ලෙඩක් හැදෙන්ඩ කොහෙත්ම බෑ. දරුවො තුන්දෙනා එකලසක් වෙනකම් මම ජීවත් වෙන්ඩ ඕනේ” මෙසේ සිතූ ඇයට හීන් දාඩිය දමන්නට වුණා. වැඩිමහල් දරුවගෙ උසස් පෙළ විභාගයට තව මාස දෙකකටත් වඩා අඩුවෙන් තියෙන්නේ. දෙවැනියා සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා. චූටි දරුවා තවම අට වසරේ. මම ඉස්පිරිතාලෙට ගිහින් මේක පිළිකාවක් කියලා හොයාගත්තොත් මොනවයින් මොනවා වෙයිද?
ඇය මේ ගැන කාටවත් කියන්නේ නැතිව අන් අයට වසන් කර තබාගන්නට තීරණය කළා. මේ අනුවණ ක්‍රියාවන් සමඟ ඇය සෑම නිමේෂයකම මැරි මැරී ඉපදෙමින් දැඩි මානසික පීඩාවන් සමඟ කාලය ගතකළා. ක්‍රමක්‍රමයෙන් පියයුරේ ගෙඩිය ලොකු වන්නට වුණා. ඊට අමතරව එම ගෙඩිය ඇති පැත්තේ කිහිල්ලේ කුද්දැටි කිහිපයක් ද විශාල වී ඇති බව ඇයට තේරුම් ගියා. මේ වෙනස්කම් සමඟ ඇගේ සිතේ තිබූ පීඩාවන් තවදුරටත් සඟවා තබාගැනීමට ඇයට පුළුවන්කමක් තිබුණේ නෑ.
මෑත කාලයේදී තම මවගේ චර්යාවන්ගේ සිදුවූ පැහැදිලි වෙනස දරුවන් තිදෙනාටම නිරීක්ෂණය වුණා. වෙනදා මෙන් නොව නිතරම ඇයට සුළු දෙයටත් කේන්ති යාමත්, බොහෝ සෙයින් අතපසුවීම් සිදුවීමත් දක්නට ලැබුණා. බුද්ධිමත්ව ක්‍රියා කළ දරුවන් තිදෙනා තම මවගේ විපර්යාසය ගැන තම සමීපතම ඥාතීන්ට දැනුම් දුන්නා.
“මොකද අක්කෙ වෙලා තියෙන්නේ? මොකක් හරි කරදරයක්ද? අපිට කියන්න බැරි දෙයක් තියෙනවද?” පුංචි අම්මාගේ පෙරැත්ත කිරීම මත පතිරණ මහත්මිය කතා කරන්නට වුණා. කොහොම වුණත් ඇගේ ඇස්වල තිබූ බිය නම් වසන් කරන්නට බැරි වුණා.
“අනේ නංගියේ, බලන්ඩකො අපිටමනේ වෙන්නේ” මෙසේ පවසමින් පතිරණ මහත්මිය ඉකිගසමින් අඬන්නට වුණා. පතිරණ මහත්මියව තරයේ අල්ලාගත් ඇගේ නැගණිය ඇයව සනසන්නට වුණා.
“අනේ නංගියේ! මගේ බ්‍රෙස්ට් එකේ ගෙඩියක්. මේක පිළිකාවක් නෙමේ නේද නංගියේ”
කාරණාව හරි හැටි තේරුම්ගත් ඇගේ නැගණිය පසුදිනම ඇයව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත රැගෙන ගියා. මෙතෙක් කල් සිදුවූ සියලු දේ ඔවුන් එකින් එක විස්තර කළ අතර ඒ විස්තරයට ඉතා හොඳින් සවන් දුන් වෛද්‍යවරයා මින් ඉදිරියට කරන සියලුම දේට ප්‍රථම ඇගේ මනස ශක්තිමත් කළ යුතු බවත්, ඇය මේ ප්රශ්නයේදී තනිවී නැති බවත් විස්තර කර දුන්නා.
ඉතා ඉක්මණින් මනෝ වෛiවරයකුගේ උපදෙස් ලබාගත් ඇයගේ මානසික මට්ටම ඉතා ඉක්මණින්ම යථා තත්ත්වයට පත්වුණා. මේ කටයුත්ත කෙරෙන අතරතුරේදීම පියයුරේ ගෙඩිය සම්බන්ධයෙන් කළ යුතු පරීක්ෂණයන් ද ප්‍රමාදයකින් තොරව කරදීමට තරම් පිළිකා රෝග විශේෂඥ වෛiවරයා ඉතා කාරුණික වුණා.
කරන ලද මැමෝග්රැපි පරීක්ෂාවෙනුත්, පියයුරුවල කරන ලද අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂාවෙනුත් පියයුරේ ඇති ගෙඩිය බොහෝ දුරට පිළිකාවක් බවට නිගමනය වූ අතර ඒ මොහොතේම එම ගෙඩියෙන් ලබාගත් පටක සාම්පලවලින් කරන ලද පරීක්ෂාවෙනුත්, කිහිල්ලේ වූ කුද්දැටිවලින් කරන ලද FNAC පරීක්ෂාවෙනුත් පියයුරේ ඇති ගෙඩිය පිළිකාවක්ම බවත් එය කිහිල්ලේ කුද්දැටිවලට පැතිරී තිබූ බවත් සැකයකින් තොරව සොයාගනු ලැබුවා.
“මිසිස් පතිරණ, දැන් කොහොමද?”
“දැන්නම් මනසට පොඩි සැහැල්ලුවක් දැනෙනවා ඩොක්ටර්. මේක කොහොම හරි හොඳ කරගන්න ඕනේ. මගෙ දරුවො තුන්දෙනා ලොකු වෙනකම් මම ජීවත් වෙන්න ඕනේ.” දැඩි අධිෂ්ඨානයකින් යුක්තව පතිරණ මහත්මිය පැවසුවා. “ඔයාට හිතෙන විදිහට මේ ගෙඩිය මොකක් වෙන්න පුළුවන්ද? දැන් කරපු පරීක්ෂණවල වාර්තා ඔක්කොම ලැබිලා තියෙන්නේ.”
“මට නම් හිතෙන්නේ මේක පිළිකාවක්ම කියලා. එන්න එන්නම ගෙඩිය ලොකු වුණා. අනික කිහිල්ලේ කුද්දැටිත් ලොකු වුණානේ.”
“පටක වාර්තාවල තියෙන දේවලුත් එක්ක මිසිස් පතිරණ හිතපු එක හරි. මේක පියයුරේ හටගත් පිළිකාවක්. කිහිල්ලේ කුද්දැටිවලටත් පැතිරිලා තියෙන්නේ.”
“එහෙම නම් මං දැන් මොකක්ද කරන්න ඕනේ.”
“මොන දේ කරන්නත් කලින් මේ පිළිකාව කොච්චර දුරට ඇඟේ පැතිරිලා තියෙනවද කියල බලන්න ඕනේ. අපි ඒකට කියන්නෙ පිළිකාවේ ස්ටේජ් එක හොයා ගන්නවා කියලා. මේකට කරන්න පුළුවන් හොඳම පරීක්ෂණය තමයි PET – CT ස්කෑන් පරීක්ෂණය. ඒක හැමෝටම ඉක්මණට කරගන්න අමාරුයි.
විශේෂයෙන්ම ඒකෙ මිල අනික් පරීක්ෂණවලට වඩා තරමක් වැඩියි. PET – CT ස්කෑන් එක කරන්න ආර්ථික අතින් අපහසු නම් ඊළඟට තියෙන හොඳම විදිහ වෙන්නේ පපුවේ, උදරයේ සහ ශ්‍රෝණි ප්‍රදේශයේ CT ස්කෑන් පරීක්ෂණයක් කිරීමත්, අස්ථිවලට පිළිකාව පැතිරිලාද කියල බලන්න ‘බෝන් ස්කෑන්’ පරීක්ෂණයත් කරන එක.”
ආර්ථික වශයෙන් යම් අපහසුතා තිබූ නිසා ඇයට PET- CT ස්කෑන් පරීක්ෂණය කරගැනීමට නොහැකි වුණා. ඒ වෙනුවට යෝජනා කර තිබූ අනෙකුත් ස්කෑන් පරීක්ෂණ දෙක කරගනු ලැබුවා. එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව නම් පෙනෙන ආකාරයට පියයුරේ හටගත් පිළිකාව එම පැත්තේ කිහිල්ලේ කුද්දැටිවලට හැර සිරුරේ වෙනත් කොටස්වලට පැතිරිලා තිබ්බේ නැහැ. හැබැයි මේ ප්‍රතිඵලවලින්
100% ක්ම කියන්න බෑ පිළිකාව වෙනත් තැන්වලට පැතිරිලා නෑ කියලා. මොකද ඕනෑම ස්කෑන් පරීක්ෂණයකින් පිළිකාව ඒ තැන්වල තියෙනවද කියල බලාගන්න නම් පිළිකා සෛල 1000000කට වඩා එක ගොනුවට තියෙන්න ඕනේ.
ස්කෑන් පරීක්ෂණවලට හසුවෙන්නේ නැතිව මෙසේ සැඟවී තිබෙන පිළිකා සෛල පැතිරීමට කියන්නේ ‘මයික්රොස්කොපික් ඩීසීස්” කියලා. ඒ කියන්නේ අන්වීක්ෂයකින් හැර වෙන ක්‍රමයකින් එම සෛල බලාගන්න බැරි බවයි. මේ අනුව මිසිස් පතිරණගේ පියයුරු පිළිකාව ස්ථානීයව පැතිරුණු පිළිකාවක් බවට නිගමනය වුණා.
ඉහත සොයාගත් සායනික කරුණු අනුව ඇගේ පියයුරු පිළිකාව සඳහා ඉතා ඉක්මනින් ශල්‍යකර්මයක් කළ යුතු බව නිගමනය වුණා. මේ සඳහා ඇයව පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකරනු ලැබුවා. එම වෛද්‍ය හමුවේදී පතිරණ මහත්මිය සමඟ කළයුතු ශල්‍යකර්මය ගැන වැඩිදුරටත් විස්තර කතාකරනු ලැබුවා.
පිළිකාව පියයුරේ පිහිටා තිබූ ආකාරයත්, පියයුරට සාපේක්ෂව පිළිකාවේ ප්‍රමාණයත් සලකා බලා එම පියයුර සම්පූර්ණයෙන්ම පිළිකාව සමඟ ඉවත් කිරීමටත්, කිහිල්ලේ වූ කුද්දැටි ඉවත් කිරීමටත් තීරණය කරනු ලැබුවා.
තවද මෙම ශල්‍යකර්මය කරන අතරතුරේදීම අනාගතයේදී ඇයට “කීමෝතෙරපි” ඖෂධ එන්නත් ලෙස ලබාගැනීමට සිදුවන නිසාත්, ඇය තරමක් තරබාරු කෙනෙකු නිසා නිතර නිතර ‘කැනියුලා’ දැමීම අපහසු වියහැකි නිසාත් ‘කීමොතෙරපි ෆෝට්’ එකක් ස්ථානගත කිරීමටද තීරණය කළා. මේ සියලුම කාරණා හොඳින් අසා අවබෝධ කරගෙන එම ප්‍රතිකාරයන් සඳහා කැමැත්ත ඇය ලබාදුන්නා.
ශල්‍යකර්මයෙන් පසු සිදුවූ දෙය තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න…
හරින්දී ලියනගේ ✍️