ලෝක ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව ගැන දැනුවත් කිරීමේ (World Antimicrobial Resistence Awareness) සතිය නොවැම්බර් 18-24 වැනි දින දක්වා යෙදී තිබුණා. එහිදී ‘දැනුවත් කරමු-යොමු කරමු- දැන්ම ක්‍රියාත්මක වෙමු. (Aducate, Advocate, Act now) යන්න මෙවර තේමාව ලෙස යොදාගෙන තිබුණා.
ප්‍රතිජීවක ඖෂධ ලබාදෙන්නේ ඇයි?
ප්‍රධාන වශයෙන් බැක්ටීරියා ආසාදනයක් ඇතිවිට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමක් සිදුවනවා. බැක්ටීරියා විනාශ කිරීම හෝ අඩපණ කිරීමේ හැකියාව ප්‍රතිජීවක ඖෂධවලට තිබෙන නිසාම යම් බැක්ටීරියා ආසාදන තත්ත්වයකදී ප්‍රතිජීවක ඖෂධ ලබාගත් විට රෝග තත්ත්වය සුව වෙනවා.
ප්‍රතිජීවක ඖෂධවල ඉතිහාසය
ලෝකයේ මුල්ම ප්‍රතිජීවක ඖෂධය ලෙස සැලකෙන පෙනිසිලින් 1928 වසරේදී ක්ෂුද්‍රජීවි විශේෂඥයකු වූ ඇලෙක්සැන්ඩර් ප්ලේමිං විසින් සොයාගත්තා. එය ඉතා අහඹු සිදුවීමක්. පෙනිසිලින් මගින් බැක්ටීරියා විනාශ කරන බව ඔහු නිරීක්ෂණය කළා. මේ ගැන තව දුරටත් පරීක්ෂණ සිදුකළ අතර 1943 වසරේදී පෙනිසිලින් වාණිජ වශයෙන් ඖෂධයක් ලෙස හඳුන්වා දී තිබෙනවා.
දෙවන ලෝක සංග්රාම සමයේදී අනතුරුවලින් තුවාල වුණ සෙබළුන්ට ඖෂධයක් ලෙසින් පෙනිසිලින් ලබාදුන්නා. ඉන් ඔවුන් සුවය ලැබුවා. එයින් සොල්දාදුවන්ගේ පාද අහිමි නොකරම ජීවිතය බේරාගැනීමේ හැකියාව ලැබුණා.
එදා මෙදා තුර බොහෝ ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය වුණා. බටහිර වෛද්‍ය විද්‍යාවේ කොඳු නාරටිය ලෙස ප්‍රතිජීවක ඖෂධ සැලකෙන අතර ඒවායේ ප්‍රභේද කීපයක් තිබෙනවා.
ප්‍රතිජීවක ප්‍රභේද
- ඇමොක්සලින්
- කෙෆලෙක්සින්
- කෙෆියුරොක්සිම්
- එරිත්‍රොමයිසින්
- ඩොක්සිසයික්ලින්
මේවා ඉතා බහුලව භාවිත කරන ප්‍රතිජීවක ඖෂධ ලෙසින් හඳුන්වන්න පුළුවන්.
ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනයේ අඩුවීමක් තිබෙනවාද?
වසර ගණනක් තිස්සේ නව ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය වුණත් දැන් අලුත් ප්‍රතිජීවක ඖෂධ සොයාගැනීම්වල තරමක අඩුවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් මෙම ප්‍රතිජීවක අවභාවිතය නිසා බැක්ටීරියා ඇතුළු රෝගකාරක ක්ෂුද්‍ර ජීවින් ප්‍රතිජීවක ඖෂධවලට ප්රතිරෝධීතාවයක් දැක්වීමට පටන්ගෙන තිබෙනවා.
ඒ නිසාම කාලයත් සමග ප්‍රතිජීවක ඖෂධවලට රෝග සුවකිරීමට පෙර තිබුණ හැකියාව නැති වී ගොසින් තිබෙනවා. උදාහරණයකින් පැහැදිළි කරනවා නම් මේ සටහනේ මුලින්ම සඳහන් කළ අන්දමට 1943 වසරේදී පෙනිසිලින් ඖෂධය නිසා ජීවිත දහස් ගණනක් බේරා ගත්තා.
නමුත් දැන් පෙනිසිලින් ඖෂධය බැක්ටීරියා ප්‍රතිරෝධී තත්ත්වයට පත්ව ඇති නිසා වර්තමානයේදී පෙනිසිලින් සුලභව භාවිත කිරීමට හැකියාවක් නැහැ. මේ නිසා වෛද්‍යවරුන්ට රෝග සුවකිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වී තිබෙනවා. ඒ නිසාම ජීවිත අහිමිවීම් සංඛයාත්මකව ඉහළ යෑමත් සිදුවනවා.
මේ තත්ත්වය අනාගතය ඉදිරියේ මහත් අභියෝගයක් වී තිබෙනවා. අනාගතයේදී ප්රතිජීවකවලට බැක්ටීරියා දක්වන ප්‍රතිරෝධය එහෙමත් නැත්නම් AMR Antimicrobial Resistence නිසා මිනිස් ජීවිත බිලියන ගණනින් බිලිවේය යැයි පර්යේෂකයන් විසින් පුරෝකථනය කරනවා. එසේ වී නම් ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය පිටු දැකීමට අප දැන්ම ක්‍රියාත්මක විය යුතු අතර එය අප කාගේත් වගකීමක් ලෙස සැලකීම ඉතා වැදගත්.
ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී මේ ගැනත් දැනගැනීම වැදගත්
■ ඔබ ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීිමේදී ශ්රිී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙද්යවරයකුගේ නිර්දේශය අත්‍යවශ්‍ය බව සිතන්න. එසේ නොමැතිව ඔබේ හිතුමතයේ ඔසසුල්වලින් ප්‍රතිජීවක ඉල්ලා ගැනීමෙන් වළකින්න.
■ ඔබට වෛද්‍යවරයෙක් විසින් ප්‍රතිජීවක ඖෂධ නියම කර ඇත්නම් එය නියමිත මාත්‍රාවෙන්, නියමිත කාලයට ලබාගන්න.
■ නියමිත කාලයට අඩුවෙන් හෝ දීර්ඝ කාලයක් භාවිත නොකරන්න.
■ එක් වතාවකදී නිර්දේශ කරන ලද ඖෂධ වට්ටෝරු ළඟ තබාගෙන පෙර රෝග තත්ත්වයක් නැවත ඇති වූ හැම විටක එම ඖෂධ ඔසුසල්වලින් ලබාගෙන පානය නොකරන්න.
■ මිතුරකුට හෝ පවුලේ වෙනත් අයෙකුගේ රෝග තත්ත්වයක් සඳහා නිර්දේශ කරන ලද ඖෂධ වට්ටෝරු හුවමාරු කරගෙන භාවිත නොකරන්න.
■ වෛරස මගින් ඇතිවන උගුරේ ආසාදන, හෙම්බිරිස්සාව, උණ වැනි රෝගවලට ප්‍රතිජීවක ඖෂධ භාවිත නොකළ යුතුය. එවැනි රෝග තත්ත්වයක් ඇති වූ විට සුදුසු පරිදි ඇඳ විවේකය ලබාගෙන, ලුණු මිශ්‍ර ජලයෙන් උගුර සෝදාගැනීම සහ හුමාලය අල්ලාගැනීමට යොමුවන්න.
■ ඇස්වලට, කන්වලට දමන ප්‍රතිජීවක ඖෂධ බින්දු නියමිත කාලයේදී පාවිච්චියෙන් පසුව සුදුසු පරිදි ඉවත් කරන්න. ඒවා නැවත භාවිත කිරීම සුදුසු නැහැ.
■ වෛද්‍ය නිර්දේශ අනුව රෝග වළක්වන එන්නත් තිබේ නම් ඒවා නිසි පරිදි ලබාගත යුතුයි. විශේෂයෙන් කුඩා දරුවන්ට ලබාදෙන ක්ෂය රෝග එන්නත (BCG) Pentavalent එන්නත (කක්කල් කැස්ස, ගලපටලය, පිටගැස්ම, හෙපටයිටිස් B, Heamophlin ඉන්ෆුලුවන්සා ආදි එන්නත් නිසි පරිදි ලබාගත යුතුය.
■ අත් සේදීමෙන්, මුඛ ආවරණ පැළඳීමෙන්, සුරක්ෂිත ආහාර හා ජලය භාවිත කිරීමෙන් රෝගීවීම අවම කරගත හැකිය.
■ එමෙන්ම කාලීනව මෙවැනි මාතෘකා ගැන දැනුවත් විය යුතුය. දැනුම බෙදාගත යුතුය.
එසේ නම් මේ සියලු දේ මගින් ප්‍රතිජීවක අවභාවිතය අවම කොට, ක්ෂුද්‍රජීවින්ගේ ප්‍රතිරෝධය ඇතිවීම වළක්වා මතු පරපුර වෙනුවෙන් ප්‍රතිජීවක ආරක්ෂා කරදීමට, වගකීමක් ඇති පුරවැසියන් ලෙස අප සැවොම කැපවෙමු.
පුන්‍යා චාන්දනී ද සිල්වා