ලෝකයම පාලනය කරන සිතුවිලි චිත්තේන නියති ලෝකෝ… සිත ලෝකය පාලනය කරනවා… අපේ මිනිසුන් මුතු මැණික් වෙනුවට තිරිවානා කැට අහුලන පිරිසක්. හොඳ දේ තිබියදී වැරදි දේ අල්ලා ගන්නා පිරිසක්. පිවිතුරු සිත නිසල විලක්. රාග, ද්වේශ මෝහ ක්ලේශයන් නිසා සිත බොර වෙනවා. අපි පින් වගේම පව් කිරීමේදී සිත, කය සහ වචනය යන තුන්දොර ප්‍රධාන වෙනවා. සිතින් ඔබට බොහෝ අකුසලයන් වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම ඔබේ සිතින් ගොඩ නැගෙන සිතුවිලි තුළ ඇති යහපත් සිතුවිළි ඔබට ශාන්තියක් ලබා දෙන්නා සේම, අයහපත් සිතුවිළි ඔබට අයහපතක් කරනු ඇත.
අයහපත් සිතුවිළි වෛරය බවට පත් වීම…
අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං
ආහාසි මෙ
යෙතං උප නයිහන්ති – වෙරං තෙ සං
න සම්පති
අසවලා මට අපහාස කළේය. මට හිංසා කළේය. මා පැරද වූයේය. මා සතු දෙය පැහැර ගත්තේය. යමෙක් වෛර බඳිද… ඔහුගේ වෛරය නොසන්සිඳේ.
අකුසල කර්මයක් කිරීමේදී ලෝභ, ද්වේශ සහ මෝහ යන අකුසල සිත් පහළ වෙනවා. ඔබේ අයහපත් සිතුවිල්ලක් තුළ මේ අකුසල සිත් තුනම අන්තර්ගතව තිබෙනවා. සේරිවාණිජ ජාතකයේ උපත ලද වෛරය දෙව්දත් ලෙසින් බද්ධ වෛරයක් බවට පත් වූ බැව් අප දන්නවා. මෙතැන අයහපත් සිතුවිල්ල තුළ රන්තලිය මුල් කර ගත් ලෝභය, අලෙවි වුණ දෙයක් නැවත නොලැබෙන බව උපේක්ෂාවෙන් දරා ගත නොහැකි වුණ මෝහය වැනි අයහපත් සිතුවිළි බලපා තිබෙනවා.
මෙම අයහපත් සිතුවිළි කොතරම් බලවත්ද යත් දෙව්දත් පැවිදි වී ධ්‍යාන සම්පත් ලබා ගැනීමට තරම් කුසලතාවයන්ගෙන් පිරුණ චරිතයක් වුණත් අයහපත් සිතුවිලි නිසා සංඝ භේදය ඇති කොට අපායගාමී අකුසලයන් රැස් කර ගත් බැව් ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා.
හොඳ සිතුවිළි ඇති කර ගැනීම…
පුද්ගලයෙක් ලෙසින් ඔබට යහපත් සිතුවිළි ඇති කර ගැනීම අපහසුවක් නැත. නමුත් ඒ ඔබේ සිතේ මෛත්‍රි සහගත සිතුවිළි පරම්පරාවක් ගොඩ නැගුනොත් පමණි.සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා… නිරෝගී වෙත්වා යැයි ඔබට කිව හැක්කේ ඔබේ සිතේ කරුණාවක් තිබුණොත් පමණි. උදාහරණයක් ලෙස හොඳ බිජයක් පැල වෙන්නට නම් සරු පසක් තිබිය යුතුය. ඒ අන්දමින්ම හොඳසිතුවිලි ඇතිවීමට නම් ඔබේ හිතේ ඊට සුදුසු පරිසරයක් ඇති වී තිබීම ඉතාම වැදගත් වෙනවා.
ඔබ නිතරම දුකෙන් පසු වෙනවා…
ඔබේ හිතේ හොඳ සිතුවිලි නොමැති නම් ඔබද නිරන්තරව දුකින් පසුවන පුද්ගලයෙක් බැව් අමුතුවෙන් කිව යුතු නැත. ඔබ මේ කියමන අසා ඇති. ඊර්ෂයාවන්තයා නිතරම දුකෙන් පසු වෙනවා.
සැබැවින්ම ඊර්ෂ්යාවන්තයා එසේ දුකින් පසු වෙන්නේ ඇයි…? ඔහුට තවත් අයෙකුගේ දියුණුවක් බලා සිටීමට රිසි නොවන නිසාය. එයින් දියුණුවෙන අයගේ ජයග්‍රහණයට කිසිදු බාධාවක් නැත. නමුත් ඊර්ෂ්‍යා කරන්නා නිතරම දුකින් පීඩාවට පත් වෙනු ඇත. ජීවිතයට මුදිතාව ඉතා වටිනවා. අනුන්ගේ දියුණුව දැක සතුටු වෙනවා.
හොඳ සිතුවිළි ඔබට යහපතක් කරනවා…
ඔබ නිතරම හොඳ දෙයක් සිතන්න. එය ක්‍රියාවට නැගීමට පෙරාතුව වුණත් ඔබේ සිතේ ඇති වෙන්නේ යහපත් අදහසක්. ඒ වගේම මෙම සිතුවිල්ල ක්‍රියාත්මක වීමේදීත් ඔබට ඇති වෙන්නේ සතුටු සිතක්.
එපමණක් නොවෙයි, මේ ක්‍රියාව අවසානයේදී පමණක් නොව එය සිහිපත් කරන වාරයක්, වාරයක් පාසාම ඔබගේ යහපත් සිතුවිල්ල මූලික කරගත් ක්‍රියාව නිසා තෘප්තියට පත් වෙන්න පුළුවන්.
ඒ වගේම ඔබ අයහපත් සිතුවිල්ලකින් තවත් අයෙකුට වරදක් කළ විට යම් දවසක එය සිහිපත් වන වාරයක් පාසාම ඔබ ඒ ගැන පසුතැවෙන්නට පවා පුළුවනි. ඔබේ හෘදය සාක්ෂිය ඒ අයහපත් සිදුවීම යටපත් කරන්නට ඉඩ නොදෙන්න පුළුවනි. ඒ වගේම ඔබේ මානසික ප්‍රබලත්වය පවා නැති කිරීමට තරම් මෙම අයහපත් සිතුවිළි ඔබේ ජීවිතයට බලපාන්න පුළුවනි.
සෘණ සිතුවිළි….
ඒ වගේම අපේ සිතුවිළි ධනාත්මක වගේම සෘණාත්මක සිතුවිළි විදිහටත් ඇති වෙනවා. සමහර පුද්ගලයන් තමාගේ ජීවිතය දෙස ධනාත්මකව බලපානවා. ජීවිතයේ බිඳ
වැටීමක් සිදු වුණත් එතැනින් නැගිටින්න උත්සහ කරනවා. එවැනි අය කාරුණික, ප්‍රියමනාප චරිතයක් බවට පත් වෙනවා. ඒ අතර තවත් අය නිතරම ජීවිතය දෙස සෘණාත්මකව බලනවා.
මේ සෘණ සිතුවිලි එහෙම නැත්නම් උදාසීන සිතුවිලි නිසා ජීවිතයේ දියුණුව ගොඩ නගා ගැනීම අපහසුයි. බැහැ කියල හිතුවොත් එයින් දුර්වලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම අපේ ජීවිතයේ ගෙවෙන තත්පරයක්වත් නැවත ලබා ගන්න බැහැ. මේ ගෙවෙන්නේ වටිනා කාලයක්. ඒ නිසා අප ලබාගත් ජීවිතය යහපත් ලෙසින් ගත කිරීමට නම් අපේ සිතේම ඇති වෙන සිතුවිළි මත රැඳී තිබෙනවා.
කිසිම කෙනෙක් රිදවන්නේ නැහැ…
ඔබ සිතුවිල්ලකින්වත් තවත් කෙනෙකු රිදවන්නේ නැත්නම් සැබැවින්ම සත්පුරුෂයෙක්. එය ඔබටත් සතුටක්. ඒ වගේම අපට සත්පුරුෂයා හොඳින් හඳුනා ගත හැකියි. ඔවුන් වචනයෙන්, බැල්මෙන් හෝ තවත් අයෙකු රිදවන්නේ නැහැ. අයහපත් සිතුවිලි නිසාම ඔබේ වචනත් අයහපත් විය හැකියි. වචනයක් පිට කිරීමේදී එය සුභාෂිත වචනයක් වන්නේ ඔබේ සිතුවිලි හොඳ වුණොත් පමණි.
සැර පරුෂ වචන පිටවන්නේද ඕපපාතිකව නොවේ. එවැනි වචනයක් පිටවීමට පෙරාතුව ඔබේ සිත ද්වේශයෙන් දැල්වෙනවා. මේ ද්වේශයත් සමඟ බැඳුන වචනවලටත් සීමාවක් නැහැ. ප්‍රශ්නයකදී අදාල ප්‍රශ්නයෙන් පිට පැන පවුල් ඉතිහාසය, ඒ පුද්ගලයාගේ අතීතය පවා ඇඳා ගෙන අපහාස සහගතව කතා කිරීමට තරම් මෙම ද්වේශ සහගත සිතුවිළි බලවත් විය හැකියි.
කුඩා කාලයේ පටන්ම සිතුවිලි යහපත් කර ගන්න. තමන්ගේ ජීවිතය ආලෝකමත් කර ගත හැකි එකම මාර්ගය යහපත් සිතුවිළි බැව් අමතක කරන්න එපා. අනුන්ගේ යහපත දකින්න පුළුවන් නම් ඔබ හැම දෙනාටම ප්‍රියමනාප චරිතයක්.
ඔබේ හැසිරීම ඔබටම ආශිර්වාදයක් වෙනු ඇත. ජීවිතය වෙනස් කර ගැනීමට එක දහම් පදයක් ඇති. දහමට අනුව ජීවත් වෙන පුද්ගලයා දහමින්ම ආරක්ෂා කරනවා. “ ධම්මෝ භවෙ රක්ඛති… ධම්ම චාරේ…” ඒ නිසා ජීවිතය දිනා ගැනීමට නම් ඔබේ සිතුවිළි යහපත් ලෙසින් හැඩ ගසා ගන්න. එය ඔබේ ජීවිතයේ නොසැලෙන ශක්තියක් වෙනු ඇත.
කිවියර, ගීත රචක-
ශාස්ත්‍රපති පූජ්‍ය
මහගම සීලානන්ද ස්වාමින්වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️