වයස ඉලක්කමක් පමණයි කිව්වත් අපේ ශරීරයේ ජීව විද්‍යාත්මක වෙනස්කම් අනුව ශාරීරික වශයෙන් යම් යම් වෙනස්කම් ඇති වෙනවා. අද බොහෝ දෙනාට ඇතිවන ඇසේ සුද ඇතිවීමේ රෝග තත්ත්වයත් වයස සමග ඇතිවන දුර්වලතාවක්. නමුත් වයස්ගත නොවුණ පුද්ගලයන්ටත් ඇසේ සුද ඇති වෙන්න පුළුවන්…
ඒ වගේම ඇසේ සුද ඇතිවීමට වයස්ගත වීමට අමතරව බලපාන තවත් හේතු තිබෙනවා.
- දියැවැඩියාව
- ඇසට සිදුවන තුවාල
- රේඩියෝ කිරණවලට වැඩි වශයෙන් ඇස නිරාවරණය වීම
- ජානමය බලපෑම
ඇසේ සුද කියන්නේ කුමක්ද?
ඇසක කාචය පාරදෘශ්‍ය ද්‍රව්‍යවලින් සැදී තිබෙනවා. විවිධ හේතූන් නිසා මෙම පාරදෘශ්‍ය බව වෙනස් වුණොත් ඇසට ඇතුළු වන ආලෝක කිරණ අඩුවීම නිසා ඇසේ පැහැදිලි ප්‍රතිබිම්බයක් දෘෂ්ටි විතානය මත නිර්මාණය වෙන්නේ නැහැ.
සුද ඇතිවුණ බව රෝගියා දැනගන්නේ කොහොමද?
ඇසේ සුද ඉතා සෙමෙන් වර්ධනය වෙනවා. නමුත් රෝගියාට වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒ අතර ක්‍රමයෙන් පෙනීම පිළිබඳ අපහසුතාවන් ඇතිවන්න පටන් ගන්නවා.
මොනවද මේ අපහසුතාවන්?
- පෙනුම අඩිවීම
- පෙනුම බොඳවීම. මේ තත්ත්වය විශේෂයෙන් මීදුමක් අතරින් බලන විට දැනෙන අපහසුතාවට සමානයි.
- එක් ඇසක් වසා බැලුවිට සුද ඇති ඇසෙන් පැහැදලිව නොපෙනීම.
- ආලෝකය දෙස බැලීම අපහසු වීම.
- යම් දෙයක් දෙස බලන විට දෙක දෙක (ද්විගුණ) වී පෙනීම.
- ඡායාවක් වගේ දැකීම.
- රාත්‍රි කාලයේදී පෙනීමේ අපහසුතාව.
සුද ඇතිවන විට සමහර විට එය එක ඇසක ඇතිවීමට පුළුවන්. සමහර අයගේ ඇස් දෙකේමත් සුද ඇතිවනවා.
ඇසේ සුද වෙනුවෙන් ලබාදෙන ප්‍රතිකාර මොනවාද?
ඔබට පෙනීමේ යම් අපහසුතාවක් දැනෙනවා නම්, වෙනදා පහසුවෙන් සිදුකළ කටයුතු කිරීමේදී යම් අපහසුතාවක් දැනෙනවා නම් අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකු වෙත ගොස් ඔබේ ඇස් පරීක්ෂා කරගැනීම වැදගත්. මේ තත්ත්වය කල්තැබීම සුදුසු නැහැ.
ඒ වගේම ඔබගේ වෛද්‍යවරයා විසින් ඇසේ සුද ඇතිබැව් හඳුනාගත් සැනින් ශල්‍යකර්මයක් සඳහා ඔබ යොමුකරන්නේ නැහැ. සුද ඉතා සෙමෙන් වර්ධනය වන නිසා මුල් අවස්ථාවේදී කණ්ණාඩි පැළඳීමෙන් පෙනුම පිළිබඳව ඇති ගැටලු විසඳා ගැනීමට පුළුවන්. වයසත් සමග සුද මෝරන විට කණ්ණාඩි මගින් පාලනය කිරීම අපහසුයි. එවිට ශල්‍යකර්මයක් මගින් ඇසේ සුද ඉවත් කොට කාචයක් ඇතුළු කරනවා.
සුද ඉවත්කිරීමේ ශල්‍යකර්මය…
සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා රෝගියා සිහි නැති කිරීමක් සිදුවන්නේ නැහැ. නවීන වෛද්‍ය තාක්ෂණය අනුව ශබ්ද තරංග මගින් මේ ශල්‍ය කර්මය සිදුකරනවා. එන්නත් කිරීමක් නැහැ. Probe එකක ආධාරයෙන් ඇසේ කාචය ඇතුළත ශල්‍යකර්මය සිදුකරනවා. මිලි මීටර් දෙකක් වැනි ඉතා සියුම් කැපුමකින් කෘතිම කාචය ඇසට ඇතුළු කරනවා.
ශල්‍යකර්මයෙන් පසුව ඇතිවන අතුරු අපහසුතා…
සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු දින අපි නැවත රෝගියා පරීක්ෂා කරනවා. පසු දින වන තෙක් සුද ඉවත් කළ ඇස වසා තබනවා. රෝගියා පරීක්ෂා කිරීමේදී ආසාත්මිකතාවක් තිබුණොත් හඳුනාගන්න පුළුවන්.
ඇතිවිය හැකි ආසාත්මිකතාවන් මොනවාද?
- අසාමාන්‍ය ලෙසින් ඇතිවන ඇසේ තද කැක්කුම
- ඇස් පිහාටු ඉදිමීම
- ඇස රතුවීම
- පෙනුම අඩුවීම
- ආලා්කයට සංවේදී වීම
සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු…
අද පවතින තාක්ෂණය හා සැත්කම්වල ගුණාත්මක බව නිසා එවැනි සංකුලතාවන් ඉතාම විරලයි. ශල්‍යකර්මයෙන් පසුව ඇසට ආරක්ෂව සඳහා දියර බින්දු දැමීම වෛද්‍යවරයා විසින් නියම කරන මාත්‍රාවට අනුව අදාළ කාල පරතරය අනුව සිදුකිරීම වැදගත්.
සුද ඉවත් කිරීමෙන් පසු නැවත සුද ඇතිවීම…
සුද ඉවත් කිරීමෙන් පසුව ඇතුළත් කරන කාචය තුනී පටලයක්. සමහර රෝගීන්ගේ මෙය ඝනකම් වනවා. එවැනි අවස්ථාවලදී කිරණ මගින් ප්‍රතිකාර කිරීම සිදුවනවා. මෙය එක් වතාවක් සිදුකිරීමෙන් පසු සාමාන්‍ය තත්ත්වයට පත්වනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️