බීරළු කියන්නේ ඉතා සියුම් කලාවක්. ඒ වගේම අලංකාරයි. පෘතුගීසින්ගෙන් අපට ලැබුන බීරළු කර්මාන්තය ලන්දේසින් විිසින් තවත් සංවර්ධනය කළා. මුහුදුබඩ කලාපයට සීමා වී තිබුණ බීරළු රේන්ද කලාව ඉංග්‍රිසීන්ගේ පාලනය සමග උඩරට පළාත්වලටත් ව්‍යාප්ත වුණා. මේ නිර්මාණශීලී කලාව අපේ රටෙන් ක්‍රමයෙන් බැහැර වෙන ප්‍රවණතාවයක් තිබුණත් අදටත් බීරළු රේන්ද නිර්මාණය පිළිබඳව සුවිශේෂී හැකියාවන් ඇති කාන්තාවන් සිටිනවා. ඔවුන් නිසාම හෙට දවසටත් මෙම අපූරු නිර්මාණ කලාව ලෝකය විසින් දැන හඳුනා ගැනීමට ඉඩ තිබෙනවා. එවැනි කාන්තාවන් අතළොස්සක් අතරට ස්ටෙලා එදිරිසිංහගේ නමක් එකතු වෙනවා.
මම දකුණු පළාතේ උපත ලබා හැදී වැඩුණත් පාසල් අධ්‍යාපනයෙන් පසුව කොළඹ ප්‍රදේශයේ රැකියාවන් කීපයකම නිරත වුණා. මම මුලින්ම ඇය නේපාල කොන්සල් ජනරාල් කාර්යාලයේ රැකියාවකට සම්බන්ධ වුණා. විවාහයෙන් පසුව මම රැකියාවක නිරත වුණේ නැහැ. මගේ සැමියා වතු අධිකාරිවරයෙකු ලෙසින් සේවය කළ අතර මම දරුවන් රැක බලා ගෙන ගෘහණියක විදිහට කටයුතු කළා. රැකියාවක නිරතවීමට වඩා තමන්ගේ දරුවන්ගේ අනාගතය යහමගට ගැනීම මම එකම අරමුණ ලෙස සැලකුවා.
දරුවන්ගේ කටයුතු අතර යමක් කරන්න පුළුවන් නේද කියල මට හිතුණා. මට පාසල් කාලයේ පටන්ම අත් රේන්ද ගෙතීමේ හැකියාව තිබුණා. පාසල් කාලයේදී ප්රාග් වෘත්තීය විෂය යටතේ මම අත්රේන්ද ඉගෙන ගෙන තිබුණා. යූ ටියුබ් බලලා අත් රේන්ද ගොතන්න පටන් ගත්තා. මේ අතර බීරළු රේන්ද ගොතන්න ඉගෙන ගැනීමේ කැමැත්තක් මගේ හිතේ තිබුණා.
ශිල්ප සභාවට කතාකළා…
මේ අතර ශිල්ප සභාවේ බීරළු රේන්ද ඉගැන්වීමේ පාඨමාලාවක් පැවැත්වෙන බව මට දැන ගන්න ලැබුණා. මම ශිල්ප සභාවට කතාකළා. මගේ ඉල්ලීමට ඉඩ ලැබුණා. 2015 වසරේ පටන් මම මේ කලාව ඉගෙන ගත්තා. ඒ වගේම මට බීරළු රේන්ද ගොතන කලාව ඉතාම ඉක්මනින් ග්‍රහණය කර ගැනීමටත් හැකියාව ලැබුණා. ඒ නිසාම බීරළු රේන්ද පාඨමාලාවේ මම ඉතා දක්ෂ ශිල්පිනියක් ලෙසින් හඳුනාගෙන තිබුණා.
මේ හඳුනාගැනීම නිසා ඇයට ලැබුණ වරප්‍රසාදයක්…
මේ විදිහට ශිල්ප සභාවේ බීරළු පාඨමාලාව හොඳින් හදාරමින් සිටින අවස්ථාවක මගේ උපදේශිකා මහත්මිය විදේශගත වුණා. එතැනින් පසුව ශිල්ප සභාවේ මේ නිර්මාණ ඉගැන්වීමේ උපදේශක තනතුර පුරප්පාඩු වුණා. දැනට සිටින අය අතරින් මම කැපී පෙනුණ නිසාමදෝ බීරළු රේන්ද නිර්මාණ ඉගැන්වීමේ උපදේශිකාවක් ලෙස මම 2018 වසරේදී ශිල්ප සභාවට සම්බන්ධ වුණා.
මේ අතර මම බත්තරමුල්ල “ අපේ ගම ” ප්‍රදේශයෙන් අලෙවිසැලක් වෙන් කරගත්තා. එය බීරළු රේන්ද අලෙවි මධ්‍යස්ථානයක්. මෙතැන බීරළු රේන්ද අලෙවි වෙනවා. මේ මධ්‍යස්ථානය තිබුණත් විශාල ඉල්ලුමකට රේන්ද ලබාදීම අපහසුයි. මේවා ඉතා සියුම් කර්මාන්ත. යන්ත්‍රානුසාරයෙන් කරන නිෂ්පාදනයකට වගේ ඉල්ලුමට අදාළව සැපයුම වැඩි කරන්න බැහැ.
එතකොට මේ අලෙවි මධ්‍යස්ථානයට අවශ්‍ය රේන්ද?
මමත් රේන්ද ගොතනවා. ඒ වගේම මගේ පංතියේ සිටින දක්ෂ ශිෂ්‍යන්ගේ රේන්ද මේ මධ්‍යස්ථානයේ අලෙවි කරනවා. මගේ ශිෂ්‍යයන් කිව්වාට මේ අය බොහොම පරිණත අය. සමහර දෙනෙක් විශ්‍රාම ලැබුවාට පසුව විවේක කාලයෙන් ප්‍රයෝජන ගැනීමට රේන්ද ගොතන්න ඉගෙන ගැනීමට එනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් ඔවුන්ගේ පාඨමාලාවේ කොටසක් විදිහට ඉගෙන ගන්නවා. මේ පංතියට සම්බන්ධ වෙන්න වයසක් නැහැ. ඒ වගේම පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබා ගන්න පුළුවන්.
පාසල් ශිෂ්‍යයන්ට වුණත් පුළුවන්…
ඔව්… අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසානයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින දරුවන්ට මේ පාඨමාලාව හදාරන්න පුළුවන්. ඒ වගේ කෙටි කාලයකදී මේ පාඨමාලාව අවසන් කරන්න පුළුවන්.
ඔබේ යෝජනාවක් තිබෙනවා...
ඔව්… පාසල්වල ප්රාග්වෘත්තිය තාක්ෂණ කුසලතා විෂය යටතේ බීරළු වගේ රේන්ද ගොතන කලාවත් විෂයක් විදිහට ඇතුළත් කළොත් අනාගතයේදී මේ හීනවෙමින් යන කලාවට නව පණක් ලැබේවි. ඒ වගේම අත්කම් නිර්මාණ කරද්දී මානසික කුසලතාවයන් වැඩි දියුණු වෙනවා. ඉවසීම පුරුදු වෙනවා. බීරළු කොට්ට නිර්මාණය කරන වඩු කාර්මිකයන්ටත් ඉල්ලුමක් ඇති වේවි.
ඔබේ නිර්මාණ ගැන කිව්වොත්…
මම බීරළු අත් රේන්ද වගේම තවත් නිර්මාණ කරනවා. Hand fan, ටයි පටි, මේස රෙදි වගේ නිර්මාණ කරනවා. 2015 වසරේ පටන් මම විවිධ සම්මාන ලබාගෙන තිබෙනවා. 2016 වසරේදී බස්නාහිර පළාතේ අත් රේන්ද වෙනුවෙන් මට ප්‍රථම ස්ථානය ලැබුණා. 2023 වසරේ ජනාධිපති සම්මාන ප්රදානයේදී මගේ බීරළු ටයි පටිය වෙනුවෙන් කුසලතා සම්මානයක් ලැබුණා. 2024 වසරේ මට බස්නාහිර පළාතේ දෙවන ස්ථානය හිමි වී තිබෙනවා. ඒ වගේම ජනාධිපති සම්මාන සඳහා මගේ නම නිර්දේශ වී තිබෙනවා. තවම අවසන් ප්‍රතිඵල නිකුත් වී නැහැ.
බීරළු කර්මාන්තයේ අනාගතය ගැන…
බීරළු කර්මාන්තය කියන්නේ කොටින්ම භාවනාවක්. මනස එක්තැන් කරනවා. ඒ වගේම එක්තැන් වුණ මනසෙන් නිර්මාණයක් එළි දුටුවාම හරිම සතුටක් හිතට දැනෙනවා. පාසල් අධ්‍යාපන විෂය මාලාවට මේ කර්මාන්තය එකතු කිරීමෙන් මානසික සුවතාවයෙන් යුක්ත දරු පරපුරක් නිර්මාණය කරන්න අපට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම නිවසේ නිකරුනේ කාලය ගත කරන කාන්තාවන්ටත් මෙය ඉතාම වටිනා විදිහට ප්‍රයෝජනයට ගන්න පුළුවන්.
මම විවේක කාලයෙන් යමක් කරන්න හිතා ගෙන බීරළු රේන්ද ගොතන්න ඉගෙන ගත්තා. ඒ අතරේ මම නිවසේ වැඩකටයුතු වගේම මගේ දියණිවරුන් දෙදෙනාත් රැක බලා ගත්තා. අද වනවිට ඔවුන් දෙදෙනාම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ලෙස සේවය කරනවා. ඉතින් මේ හැමදෙයක් සමග මමත් බීරළු කලාවෙන්ම ඉදිරියට ගියා. ශිල්ප සභාවේ බීරළු රේන්ද ගෙතීමේ උපදේශිකාවක් විදිහට සේවය කිරීමත් මට විශාල සතුටක්. ඉතාම සරලව කිව්වොත් අද මම ජීවිතය ගැන බොහොම තෘප්තියෙන් සිටින කාන්තාවක්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️