විභාගයක් අවසන් වුණාම බොහෝ දෙනෙක් සැනසුම් හුස්මක් හෙලනවා. කාලාන්තරයක් මුළුල්ලේ යම් ඉලක්කයක් හඹා යෑමේ වෙහෙසකර වෑයම සමග ගැටුන පුද්ගලයන්ට විභාගය අවසන්වීම යම් ආකාරයක මානසික සුවයක්. නමුත් ඒ සමග ඇතිවන විවේකය නිසාම උදාසීන හැගීමක් ඇති වෙනවා. එය මානසික හිස්බවක් වැනි තත්ත්වයක්. සමහරවිට විභාගය අවසන් වූ වහාම රැකියාවක නිරතවීම තවත් කෙනෙකුගේ අරමුණවීමට පුළුවනි. එහෙත්… පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට විභාගය වෙනුවෙන් පාඩම් කිරීම නිසා මෙතෙක් ඔබේ ආහාර රටාව, ව්‍යායාම කිරීම සහ සෞඛ්‍ය පුරුදු ඔබටත් නොදැනීම මග හැරෙන්නට ඇති. ඒ නිසාම නැවත ඔබ සාමාන්‍ය ජීවිතයට අනුගතවීමට අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් අනුගමනය කළ හැකි පුරුදු කීපයක් මෙම පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා.
අහිමි වුණ නින්ද නැවත ලබා ගන්න…
විභාග ඉලක්ක මානසිකත්වය නිසා ඔබේ ශරීරය සහ මොළය නොනවත්තාම වෙහෙසකර තත්ත්වයකට පත් වන්නට ඇති. ඒ නිසා දැන් ස්ථාවර මනෝභාවයක් පවත්වා ගැනීමට සඳහා ප්‍රමාණවත් ලෙසින් නින්දක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. නින්ද මග හැරීම අපේ ශරීරයට වගේම මනසටත් හානි කර වීමට පුළුවනි.චිකාගෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යනයක සඳහන් වන අන්දමට ඔබ පැය 20 කට වඩා වැඩි කාලයක් නින්ද මග හැරියොත් එයින් ඇති වෙන බලපෑම සතියකින් නැවත පරිවර්තනය කිරීම අපහසු වෙනවා. ඒ නිසා විභාගයක් අවසන් වුණ පසුව නිතිපතා නින්දට යෑම ඉතාම වැදගත්.
වෙනසකට මුල පුරන්න…
ඔබ සැබැවින්ම කාර්ය බහුල පුද්ගලයෙකු විය හැකියි. නමුත් අපේ මොළයට කුඩා ප්‍රමාණයෙන් හෝ විවිධත්වයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා සැමවිටම ඔබට හැකි අලුත් දෙයක් කරන්න. විනෝද චාරිකාවක යන්න. ඒ සියල්ල අපහසු නම් අවම වශයෙන් කාමරයේ ඇති භාණ්ඩ තබා ඇති තැන් වෙනස් කිරීම වැනි සුළු වෙනසක් හෝ කිරීමට උනන්දු වෙන්න.රූපවාහිනි වැඩසටහන් නැරඹිම වැනි දෙයකට යොමු වෙන්න. නමුත් ඒවාට ඇබ්බැහි වීමෙන් මිදීමත් වැදගත්.
කාමරයේ වෙනස…
විභාගය වෙනුවෙන් පාඩම් කිරීමේදී භාවිතා කළ කඩදාසි ගොණු සියල්ල දැන් එක්රැස් වී තිබෙන්නට පුළුවන්. ඒවා ඉවත් කර කාමරය අලුත් කරන්න. ඔබ අවදි වනවිට පිරිසිදු මේසයක් දකින්න ලැබෙනවා නම් එය ඉතාම සතුටට කරුණක් විය හැකියි. නමුත් මෙතෙක් පාවිච්චි කළ සටහන් ඉදිරියටත් අවශ්‍ය නම් ඒවා පමණක් තබා ගෙන අනවශ්‍ය හැම දෙයක්ම ඉවත් කරන්න. ඒ වගේම විභාග විෂය නිර්දේශයට කිසිසේත්ම සම්බන්ධ නැති පොතක් කියවීමෙන් මෙතෙක් අධ්‍යාපනය නිසා මොළයට ලැබුන ඒකාකාරීබව වෙනස්වීමට ඉඩ තිබෙනවා.
වෙනස් කළ නොහැකි දේවල් අමතක කරන්න…
ඔබ විභාගයට පෙනී සිටීමෙන් පසුව ඊළග අදියර වන්නේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටීමයි. නමුත් ප්‍රතිඵලය ගැන සිතේ කනස්සල්ලක් ඇති කරගත යුතු නැත. ප්‍රතිඵලය කුමක් වුණත් එය ඉදිරි පියවරකි. ඒ නිසා විභාගය අවසන් කිරීම ගැන ඔබ ආඩම්බර වෙන්න.ඉදිරයේදී සිදු විය හැකි දේ ගැන පමණට වඩා සිතීම අවශ්‍ය නැත. එය නොසලකා හරින්න.
විභාගයට හොඳින් මුහුණ දීමට නොහැකි වූවා නම්…
ඇතැම් විට ඔබට ජීවිතයට බාධා පැමිණෙනු ඇත. විභාගයට විශිෂ්ට ලෙස මුහුණ නුදුන් ඔබගේ ඉලක්කය මඟ හැරෙනු ඇත. නමුත් එයින් ඔබට සියල්ල අහිමි වන්නේ නැත. දෙවනුවට සිතන්නට විකල්ප ඇත. නැවත වරක් විභාගයට පෙනී සිටීම ලැජ්ජාවට කරුණක් නොවෙන බව සිතන්න. සෑම කෙනෙකුගේම ගමන වෙනස්ය. එකිනෙකාට අනන්‍යය.
ප්‍රතිඵල පැමිණෙන දිනය…
ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන සහ මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඩේවිඩ් පුට්වේන් සඳහන් කරන අන්දමට බොහෝ දරුවන් මෙන්ම මව්පියන් බලාපොරොත්තු සුන්වීම පිළිබඳව කනස්සල්ලට පත් වෙති. යම් ලෙසකින් ඔබේ අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබුනොත් දෙමව්පියන් හෝ මිතුරෙකු සමග කතා කරන්න.
මානසික ගැටළුවකට යොමු වී සිටිනවා නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන්න. විභාග ප්‍රතිඵලය යනු සිය දිවි හානි කර ගැනීමට හේතුවක් නොවේ.සමහර අවස්ථාවල දරුවන්ට ලැබෙන හෝ ලැබිය හැකි ප්‍රතිඵලය පිළිබඳව මව්පියන් කනස්සල්ලෙන් පසු වෙති. ඒ නිසා දරුවාගේ ප්‍රතිඵලය කුමක් වුණත් මව්පියන්ගේ ප්‍රතිචාර යහපත් විය යුතුය.
biteside ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️