මේ දවස්වල ලංකාවේ වැඩියෙන්ම කතා වෙන්නෙ වගේම වැඩිපුර ප්රවෘත්ති මවන්නේ ‘මොඩිෆයි බස්.’ ඒකට හේතුව Clean Sri Lanka කියන ව්‍යාපෘතියෙන් මොඩිෆයි කරපු බස් රථ සියල්ලේම කෑලි ගලවගෙන යන නිසා. ලංකාවේ තියෙන්නෙ අමුතුම බස් සංස්කෘතියක්. ඉතින් ඔය හේතුව නිසා පිල් බෙදිලා සමාජ මාධ්‍යවල ගහ මරාගන්න පිරිස අතරේ අපට මුණගැසුණා මොඩිෆයි කරපු බස් හදන අපූරු නෝනෙක්. ඇය නයනි සඳරේකා. නයනි අතින් දම් රැජිණ, සීගිරි, මායාවී වගේ රටේ නිතරම නම කියවෙන බස් රථ මොඩිෆයි වෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේ කතාව වෙනස් විදිහකට කිව්වොත් නයනි ඇත්තටම කරන්නෙ පාරෙ දුවන මේ සද්ධන්තයෝ සෙල්ලම් බඩු කරන එක. ඇය හදන්නේ මේ හැම බස් රථයකම අනු රූ. හැබැයි අනු රූ කිව්වට නිකන්ම නිකන් බස් එකක පෙනුම තියෙන අනු රුවක් නෙවෙයි. ඇය හදන හැම බස් එකකම ඇත්තම බස් එකේ තියෙන හැම විශේෂාංගයක්ම තියෙනවා. සෑම අංගයකින්ම පරිපූර්ණ නයනිගේ බස් දුරස්ථ පාලකයක් මගින් මෙහෙයවීමේ හැකියාවකුත් තියෙනවා. අනිත් කාරණය මේ සම්පූර්ණ ක්‍රියාවලියම සිද්ධ වෙන්නෙ ඇගේ සියුමැලි දෑතින්ම වීමයි. සෙල්ලම් බස් ඕනතරම් තියෙන මේ රටේ 26 හැවිරිදි නයනි සඳරේඛා අපට විශේෂ වෙන්නෙ අන්න ඒ නිසයි.
අපි මුලින්ම නයනිගෙන් අහලා බැලුවා ඇයට මෙහෙම අදහසක් ආවෙ කොහොමද කියලා…
මං පුංචි කාලෙ ඉඳලම වාහනවලට ආසයි. ගෑනු ළමයෙක් කියලා නෑ මමත් ඉස්සර සෙල්ලම් වාහනවල කෑලි ගලව ගලව ආයෙ හයි කළා. ඉතින් ඒ ආසාව නිසා තමයි මට මෙහෙම දෙයක් කරන්න හිතුණේ. මුලින්ම මගේ සැමියා දැකලා තිබුණා පිරිමි ළමයෙක් මෙහෙම බස් එකක් හදන වීඩියෝ එකක්. ඊටපස්සෙ එයා කිව්වා මටත් පුළුවන් එකේ බස් එකක් හදලා ෆෙස්බුක් දාලා බලමු කියලා. හිතුවට වඩා හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් දිගටම කරන්න හිතුවා.
මගේ ගෙවල් කොළඹ. විවාහ වෙන්න කලින් කොළඹ මූල්‍ය ආයතනයක තමයි රැකියාව කළේ. විවාහ වෙලා කෑගල්ලට ආවම මට රැකියාවෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ඔහොම ගෙදරට වෙලා නිකන්ම ඉද්දි මට ඕනෙ වුණා සැමියටත් උදව්වක් විදිහට දෙයක් කරන්න. එහෙම තමයි මම මේ ව්‍යාපාරය පටන්ගත්තේ. දැන් අවුරුදු දෙකක් විතර වෙනවා මේක පටන් අරගෙන.
නයනි කියන්නෙත් බස් පිස්සියක්ද?
(සිනාසෙමින්) මං ගාව පොඩි කාලෙ ඉඳන් එකතු කරගත්ත බස් කලෙක්ෂන් එකක් තවම තියෙනවා. බස්වලට විතරක්ම නෙවේ හැම වාහනේකටම ආසයි.
මොනවද නයනි මේ වෙද්දි හදලා තියෙන බස්?
දම් රැජිණ, සීගිරි, මැණික් කැටේ, කූඹියෝ වගේ බස් 90ක් විතර මේ වෙද්දි හදලා තියෙනවා. මේ හැම බස් එකක්ම මං හැදුවේ ඇනවුම්වලට.
ඒ කියන්නෙ නයනිගෙ බස්වලට හොඳ ඉල්ලුමක් තියෙනවා.
ඔව්. මේ වෙනකොට පිටරටවලින් පවා ඇනවුම් ලැබෙමින් පවතිනවා.ඒකට එක හේතුවක් තමයි මේ බස් ඇත්ත බස් එක වගේම නිර්මාණය වීම.DJ lights, VIP room, 54 Seats හැමදේම අංගසම්පූර්ණව තියෙනවා. අනිත් එක සීට් එකේ ඉඳන් මම හැම උපාංගයක්ම හදන්නේ අතින්. ලංකාවෙන් නම් ගොඩක් මට ඇනවුම් ලැබෙන්නෙ බස් තෑගි කරන්න. අන්තිමට හදපු බස් එක ගත්තෙ ඇමෙරිකාවෙ ඉන්න කස්ටර්මර් කෙනෙක්.
මේ බස් එකේ තව මොනවද තියෙන විශේෂත්වය?
ෆෝම් බෝඩ් කියන ප්ලාස්ටික් බෝඩ් එකෙන් තමයි සම්පූර්ණයෙන්ම මේ බස් එකේ සැකිල්ල හදන්නේ. ස්ටිකර්ස් ටික නම් ෆොටෝෂොප් කරලා හදාගෙන අවසානයේ අලවනවා. ස්ටිකර්ස් වුණත් ඇත්ත බස් එකේ ස්ටිකර්ස් වගේම අපි ප්‍රින්ට් කරගන්නවා. බස් අනුරුව දිගින් අඩි එකහාමාරක් විතර වෙනවා. අඟල් හයක් උසයි.
නයනි බසයට අවශ්‍ය රිමෝට් කන්ට්‍රෝල් දැනුම ලබාගත්තෙ කොහොමද?
මගේ සැමියා ප්‍රසාද් බණ්ඩාර. ඔහුට ඒ පිළිබඳ දැනුමක් තියෙනවා. ඔහුගෙන් තමයි මම රිමෝට් කන්ට්‍රෝල් දැනුම ලබාගත්තේ. ඒ වගේම ස්ටිකර්ස් ටික ෆොටෝෂොප් වලින් ඩිසයින් කරලා දෙන්නෙත් ඔහු.
බස් විතරද හදන්නෙ?
නෑ. ජීප්, කාර් වගේ වාහනත් හදනවා. ඉල්ලීම අනුව ඕනම වාහනයක් හදන්න පුළුවන්.
මේ දවස්වල මොකද්ද හදන බස් එක කියලා ඇහුවොත්?
දම් රැජිණ. දම් රැජිණ බස් තුන හතරක්ම තියෙනවනේ. මීට කලිනුත් දම් රැජිණ බස් එකක් මං හැදුවා. මේ හදන බස් එකට අමතරව තවත් දම් රැජිණකට ඇනවුමක් ලැබිලයි තියෙන්නේ.
මේ කාලෙ මොඩිෆයි කරපු බස්වල කෑලි ගලවගෙන යන කාලයක්නේ. ඒක නයනිගේ ව්‍යාපාරයට යම් බලපෑමක් කරලා තියෙනවද?
ඇත්තටම ඒකෙන් මගේ ව්‍යාපාරයට බලපෑමක් එල්ල වෙලා නෑ. තවමත් වෙනදා වගේම ඇනවුම් ලැබෙනවා.
එරංදි කෞශල්‍යා ✍️