විවිධ හේතු නිසා අපේ මුඛයේ තිබෙන දත් අහිමි වෙන්න පුළුවන්. උදාහරණ විදිහට සඳහන් කරනවා නම් අස්ථියෙන් ගලවා ඉවත් කළ දතක් හෝ දත දිරා යෑම, හදිසියේ කැඩීම, විදුරුමස් රෝග නිසා දත් හැලීම වැනි හේතු නිසා කෙනෙකුට දත් අහිමි වෙන්න පුළුවන්. ඒ දත් නැවත ස්ථානගත කිරීමේ හොඳම ක්‍රම දැන් තියෙනවා.
මේ විදිහට දතක් අහිමි වුණාම මෙතෙක් පැවැති දන්ත ශල්‍ය තාක්ෂණයන් අනුව කෘතිම දතක් දැමීම විවිධ ක්‍රම අනුව සිදුවුණත් අදවන විට ඊට වඩා වැඩි දියුණු කරන ලද තාක්ෂණයන් තිබෙනවා. දතක් සිටුවීම හෙවත් Implant මගින් ඔබට අහිමි වුණ දත වෙනුවට කෘතිම දතක් නැවත හකු ඇටයටම සවි කළ හැකි සංවර්ධනය වූ නවීන වෛද්‍ය තාක්ෂණයන් දැන් තිබෙනවා.
දතක් ඉම්ප්ලාන්ට් කරන්නේ කොහොමද?
මෙය ඉතාම සරල ශල්‍යකර්මයක්. දත සවි කරන ස්ථානය පමණක් නිර්වින්දනයක් යටතේ සිදුකරනු ලබනවා. මේ අනුව එක දතක් හෝ සම්පූර්ණ දත් ඇන්දම වුණත් නැවත ස්ථානගත කිරීමට පුළුවන්. හිරිවැට්ටීමකින් පසුව අස්ථිය විවෘත කිරීම සිදුකරනවා. මෙම හකු අස්ථියට ටයිටේනියම් ලෝහයෙන් සෑදූ Screw ඇණයක් වගේ උපාංගයක් මගින් දත සවි කරනවා. සමහර රෝගීන්ට මේ එක දිනයකින්ම දත සවි කරන්න පුළුවන්. නමුත් අස්ථියේ ස්වභාවය අනුව ඒ වෙනුවෙන් ගෙවෙන දින ගණන වෙනස් වෙනවා.
දතක් නැවත ස්ථානගත කිරීමේ දෙවන අදියර
Implant දත සවි කිරීමෙන් පසුව ඒ වටා තිබෙන විදුරුමස දැන් පැතැලි ස්වභාවයකින් තියෙනවා. එය සාමාන්‍ය විදුරුමසක ආකරයට සකස් කිරීම දතක් Implant කිරීම සිදුවන දෙවන අදියර විදිහට සඳහන් කරන්න පුළුවන්. මේ වෙනුවෙන් සකස් කරන කුඩා උපාංගය Implant එකට සවිකර සති දෙකක් පමණ තබා ගැනීම සිදුවනවා.
තුන්වන අදියර
සති කීපයකින් පසුව මුඛය තුළ දතෙහි පෙනෙන කොටස හෙවත් දන්ත මස්තිකය සකස් කිරීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් රෝගියා නිර්වින්දනය කිරීම හෝ හිරි වැට්ටිමක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය අච්චුවක් මගින් ලබාගත් මිම්මට අනුව දන්ත මස්තිනය ( Dentel crown ) අලුතින් ස්ථානගත කරන ලද දතට සවි කරනවා.
Implant කරන ලද දත ආරක්ෂා කරගන්නේ කොහොමද?
මෙම ස්ථානගත කරන ලද දත තවමත් මුඛයට ආගන්තුකයි. එය අස්ථියට සවිවිීමට මාස 3- 6 ක් වැනි කාලයක් ගතවනවා. සැබැවින්ම මෙය ජීව විද්‍යාත්මක දතක් නොව කෘතිම දතක් නිසා වැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත්. ඒ නිසා ඉතා තද දේවල් හැපීමෙන් සවිකරන ලද දතට හානිවීමට පුළුවන්.ඒ වගේම ස්ථානගත කරන ලද දත වෙනුවෙන් ඔබේ සාමාන්‍ය මුඛ සෞඛ්‍ය පවත්වා ගැනීමත් ඉතාම වැදගත්. දත හා විදුරුමස පිරිසිදු කර ගැනීම අත්‍යවශ්‍යයි. එසේ නොමැති වුවහොත් Implant අවට ආසාදන ඇතිවීමට ඉඩ තිබෙනවා.
දතක් Implant කිරීමට යෝග්‍ය නොවන රෝගීන් කවුද?
දතක් Implant කිරීම සරල තාක්ෂණයක් වුණත් සෑම රෝගයකුටම මෙම ක්‍රමය කිරීමට අපහසුයි. ඇතැම් රෝග තත්ත්වයන් නිසා එවැනි රෝගීන් ගැන වැඩි අවධානයක් දැක්වීමට සිදුවනවා.
එවැනි රෝගීන් කවුද?
දතක් නැවත ස්ථානගත කිරීමේදී රෝගියාගේ කායික, මානසික සහ ජීව විද්‍යාත්මක සෞඛය ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත් වෙනවා. කායික වශයෙන් සලකන විට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට (තමාගේ මුඛ සෞඛ්‍ය තනිව පවත්වා ගත නොහැකි පුද්ගලයන්ට) දතක් සවිකිරීමෙන් පසුව එය ආරක්ෂා කරගැනීම අපහසුයි. නමුත් ඔවුන් රැකබලා ගන්නා පුද්ගලයින්ට ස්ථානගත කරන ලද දත ආරක්ෂා කරදීමේ හැකියාව තිබෙනවා නම් එයින් දතක් Implant කිරීමට බාධාවක් නැහැ.
මානසික අක්රමිකතාවන් ඇති රෝගීන්ටත් දතක් ස්ථානගත කිරීමෙන් පසුව එය ආරක්ෂා කරගැනීම අපහසුයි. නමුත් ඖෂධ මගින් පාලනයක් පවත්වාගෙන යන රෝගීන්ට Implant ක්‍රමය යොදාගැනීමේ බාධාවක් නැහැ. ඒ වගේම මානසික අක්රමිකතාවයන් ඇති රොගීන් වෙනුවෙන් නිරන්තරව පසුවිපරම් කිරීමේ හැකියාව ඇත්නම් දතක් Implant කිරීමට පුළුවන්.
■ හෘද සැත්කම් කරන ලද රෝගීන්ට දතක් Implant කරනවා නම් විශේෂ අධීක්ෂණයක් අවශ්‍ය වෙනවා.
■ දියවැඩියා රෝගීන් සම්බන්ධවත් මේ අධීක්ෂණය වැදගත්.
■ ඔස්ටියෝපොරෝසිස් රෝගීන් වෙනුවෙන් දතක් Implant කිරීමේදී ඔවුන් රෝග අවස්ථාවේ පසුවන අවධිය අනුව එය තීරණය වෙනවා.
■ පිළිකා රෝගී ප්‍රතිකාර ලබන (කිරණ චිකිත්සක ප්‍රතිකාර) රෝගීන් ගැනත් වැඩි අධීක්ෂණයක් අවශ්‍ය වෙනවා.
■ දුම්පානය කරන පුද්ගලයන්ට දතක් Implant අවශ්‍ය නම් ඊට පෙරාතුව දුම්පානය නැවැත්වීමට උපදෙස් ලබාදෙනවා.
ඉතා වැදගත්…
ඉහතින් සඳහන් කරන ලද රෝගීන් සම්බන්ධයෙන් දතක් Implant කිරීමට කිසිම බාධාවක් නැහැ. නමුත් ඔවුන්ගේ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් දැක්වීම වැදගත් බැව් සඳහන් කිරීමට අවශ්‍යයි. ඔවුන්ගේ රෝග තත්ත්වය පිළිබඳව පාලනයන් පවත්වා ගනිමින් දතක් ස්ථානගත කරගැනීමට ඕනෑම රෝගියකුට දත් Implant කිරිමේ හැකියාව තිබෙනවා.
අහිමි වුණ දතක් වෙනුවෙන් දතක් ලබාදෙන දත් ඇඳි (Denture) සහ දන්ත පාලම් (Bridge) වලට වඩා දත් සිටුවීම ( Dentel implant) වඩාත් සුදුසු වෙන්නේ ඇයි?
- Implant ක්‍රමයේදී පිටින් දකින අයකුට කෘතිම දතක් බව හඳුනාගැනීමට අපහසු පරිදි ඉහළ පෙනුමක් ලැබීම.
- මෙම දත හණුවටම සවි වී තිබීම නිසා ගැලවීමට නොහැකි වීම.
- දෙපස දත් දත්වලට කිසිදු හානියක් නොවීම.
- මුඛ සෞඛ්‍ය පවත්වා ගැනීමේ පහසුව.
ඒ වගේම දතක් Implant කිරීමෙන් පසුව ඔබේ දන්ත ශල්‍ය වෛද්‍යවරයා විසින් ලබාදෙන උපදෙස් අනුගමනය කිරීම ඉතාම වැදගත්. ලබාදෙන දිනයට ඔබේ දන්ත පරීක්ෂාව සිදුකර ගැනීමට අමතක නොකරන්න. ඊට අමතරව යම් වෙනසක් ඇති වුණොත් ඒ වෙනුවෙන් කාලය ගෙවන්න එපා. හැකි ඉක්මනින්ම වෛද්‍යවරයා හමු වීම වැදගත්.ඔබට දතක් Implant කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසුකම් ලත් දන්ත ශල්‍ය වෛද්‍යවරයකු මෙන්ම නවීන ශල්‍යාගාර පහසුකම් සහිත ස්ථානයක් තෝරාගන්න. මේ තෝරාගැනීම ඉතාම වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️