කාගෙත් ජීවිතවල විවාහය කියන්නෙ හරිම සුන්දර දෙයක්. විවාහ වෙලා වෙනම ලෝකෙකට යනවා කියන ඒ අපූරු හැඟීම කා තුළත් තියෙනවා. නමුත් විවාහය කියන්නෙ මිනිස්සුම හදාගත්තු සංකල්පයක් මිස ස්වභාවික සංකල්පයක් නෙවේ. මේක ස්වභාවික සංකල්පයක් නොවන නිසාම විවාහ ජීවිතය ඇතුළේ නොයෙකුත් ගැටුම් ඇති වෙනවා.මේක පවත්වගෙන යන්න නම් විවාහ වුණ දෙන්නා අතරේ පුදුමාකාර අවබෝධයක්, කැපවීමක් තියෙන්න ඕන. නමුත් ස්වභාවයෙන්ම මිනිස්සු ආත්මාර්තකාමියි. අපි හැමතිස්සෙම බලන්නෙ අපිට මොනවද ලැබෙන්නෙ කියලා. එහෙම බැලුවම විවාහය දෙදෙනෙක් එකඟ වෙලා කෙරෙන විවාහයක් කියන්නෙත් ගනුදෙනුවක්.
විවාහය කියන්නෙ වෙළඳපොළක් වගේ. ඒ වෙළෙඳපොළේ අපි හැමෝම විකිණෙනවා. වැඩිම මිලකට විකිණෙන්න නම් අපිට වැඩි වටිනාකම් ටිකක් තියෙන්න ඕනේ. එක්කො උගත් වෙන්න ඕන. එක්කො සල්ලි තියෙන්න ඕන. එක්කො ලස්සන වෙන්න ඕන. මෙන්න මේ වටිනාකම් ටික ටික එකතු කරගන්න එකනෙ අපි පොඩි කාලෙ ඉඳන් කරන්නේ.
ගෑනු ළමයෙක් නම් වැඩිවියට පැමිණුනාට පස්සෙ හැමෝටම එන්න කියලා කන්න බොන්නත් දීලා ඒ ළමයව ප්‍රදර්ශනේ කරනවා දැන් අපේ ගෙදරත් විකුණන්න පුළුවන් බඩුවක් තියෙනවා කියලා.
ඊටපස්සෙ වත්කම්, උගත්කම් එක්ක වෙළෙඳපොළේ හොඳට විකිණෙන්න පුළුවන් දෙයක් බවට පත්වෙනවා. ඊටපස්සෙනෙ ප්‍රේම සම්බන්ධයක්, විවාහයක් වෙනුවෙන් දෙන්නෙක් තෝරගන්නේ. ප්‍රේම සම්බන්ධයකින් හෝ යෝජිත විවාහයකින් අපි විවාහ වෙන්නෙ සමාජ අවශ්‍යතාවක් වෙනුවෙන්.
විවාහය කියන්නෙ ස්වභාවික දෙයක් නොවුණට විවාහය ඇතුළේ තියෙන ලිංගිකත්වය කියන්නෙ ස්වභාවික දෙයක්. ස්වභාවධර්මයට අවශ්‍ය වෙන්නෙ මේ ලෝකෙ ඉන්න සත්තු තමන්ගේ වර්ගයා බෝ කරන එක. නමුත් විවාහයකදි ලිංගිකත්වයට එහා ගිය දේවල් කරන්න සිද්ධ වෙනවා. ගෙවල් හදන්න වෙනවා. වාහන ගන්න වෙනවා. සමාජීය අවශ්‍යතා ඉෂ්ඨ කරන්න සිද්ධ වෙනවා. සමාජ තත්ත්වයන් ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා.
මේ දේවල් එක්ක මිනිස්සු ලොකු අරගලයක් කරනවා. අපේ රටේ නම් බොහෝවිට විවාහය කියන්නෙ ලිංගිකත්වයට දෙන අවසරයක්. ගොඩක් අය ලිංගිකත්වය සම්පූර්ණ කරගන්නෙ විවාහ වුණාට පස්සේ. එතකොට ලිංගිකත්වය සම්පූර්ණ කරගත්තට පස්සෙ විවාහ ජීවිතය ඇතුළේ පවතින්න හේතු තියෙනවද කියන ගැටලුව අපිට එනවා.
බොහෝ දෙනකුට විවාහය කියන්නෙ විශ්‍රාමික සැලැස්මක්. අර අපේ සමාජයේ කතාවක් තියෙන්නෙ මැරෙන වෙලාවට වතුර උගුරක්වත් දෙන්න කෙනෙක් නැති වෙයි ඒ නිසා කසාද බැඳපන් කියලා. වයසට යද්දි දරුවො, මුනුබුරු මිනිබිරියො අපිව බලාගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එතන තියෙන්නෙ අපි අපි ගැන හිතලා කරගන්න දෙයක්. එහෙම නැත්නම් ඇත්තටම වෙන්නෙ අපි අපේ වර්ගයා බෝ කරන එක. ලිංගිකත්වය සම්පූර්ණ කරගන්න විවාහ වෙනවා.
ඒක සම්පූර්ණ කරගත්තට පස්සෙ රැඳෙන්නෙ මොකක් නිසාද කියලා ගැටලු එනවා. කාලයක් යද්දි ලිංගික ජීවිතය ගැනත් ලොකු උනන්දුවක් නැති වෙනවා. තමන්ගෙ සහකරු සහකාරිය ගැන ලොකු උනන්දුවකුත් නෑ. ගරු කිරීමකුත් නෑ. ඊටපස්සෙ ජීවත් වෙන්නෙ කසාදය බැඳගත්ත නිසා පමණයි.
එහෙමත් නැත්නම් තමන්ට වෙන යන්න තැනක් නැති නිසා. වෙන් වෙන්න ඕනතරම් හේතු තිබුණට දරුවො නිසා වෙන් වෙන්න බැරි වෙන්නත් පුළුවන්. සමාජය අපි දිහා බලන් ඉන්න නිසා වෙන් වෙන්න බෑ. මේ වගේ හේතු නිසා විවාහ ජීවිතය ඇතුළේ බොහෝ දෙනා ඉන්නෙ හිරවෙලා, තනිවෙලා.
ලෝකෙ එක් පර්යේෂණයක් කරලා තියෙනවා විවාහ වෙලා ඉන්න මිනිස්සු අතර. එතනදි 99%ක්ම කැමති වෙලා තිබුණේ තමන්ට දෙවෙනි අවස්ථාවක් ලැබෙනවා නම්. හැබැයි මේ ලෝකෙ ගොඩක් අයට දෙවෙනි අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ගොඩක් අය පිළිගන්නවා තමන්ගේ
පළවෙනි තෝරාගැනීම වැරදියි කියලා. ඒක ඇතුළෙ තමන් සතුටින් නෑ කියලා. ගැටුම් ඇති වෙනවා. හැමෝම ආත්මාර්තකමී වෙනවා. අනිත් කෙනා තමන්ට කොච්චරක් දේවල් දෙනවද කියලා මනිනවා. ඒ මත තමයි අනිත් කෙනා කැපකිරීම් කරන්නේ. මේ හේතු නිසානෙ විවාහයන් දෙදරලා යන්නේ.
අනිත් කාරණාව ලිංගිකත්වය ගත්තොත් ලිංගික කාර්ය සම්පූර්ණ කරගත්තට පස්සෙ ඒකට තියෙන ආසාව නැති වෙලා යනවා. ලිංගික කාර්ය සම්පූර්ණ වුණාට පස්සෙ කවුරුහරි හිතනවා නම් මං මේ කෙනා එක්ක දිගටම ඉන්නවා කියලා අන්න ඒ විවාහය පවතිනවා.
නමුත් ගොඩක් අයට විවාහ වෙලානෙ ලිංගිකව එකතු වෙන්න වෙන්නේ. ලිවින් ටුගෙදර් කියන සංකල්ප පිටරට ගොඩක් ප්‍රසිද්ධ වුණාට අතීතෙ ලංකාවෙත් ඕක තිබුණා. එතකොට ඒ කාලෙ මිනිස්සුන්ට විවාහය රැකගන්න ගැටුම් ඇතිකරගන්න උවමනාවක් තිබුණෙ නෑ. මොකද ලිංගිකත්වය වෙනුවෙන් ඔවුන් විවාහ නොවුණු නිසා.
හිතන්නකො යාළුවෙලා ඉන්න දෙන්නෙක් විවාහ වෙන්න කලින් තමන්ගෙ ලිංගික කාර්යය සම්පූර්ණ කරගෙන තිබුණොත් ඒත් බොහෝ වෙලාවට ඒ දෙන්නා වෙන් වෙනවා. පිරිමියා මගහරිනවා. මේ නිසා තමයි සමාජය විසින් රීතියක් දාලා විවාහ කරවන්නේ. එතකොට දන්නවා විවාහයෙන් පස්සෙ ගැලවිලා යන්න බැරි බව.
අපිට කෙනෙක්ව දැක්කම ඇති වෙන්නේ ආදරයක් නෙවේ. ආශාවක්. නමුත් අපි ඒක අර්ථකථනය කරනවා ආදරය කියලා. අපිට ඇත්තටම ඕනෙ ලිංගිකව එකතු වෙන්න. ලිංගිකව එකතු වෙන්න අපි යොදන උපක්‍රමය තමයි ආදරය කියන්නේ. ආදරය පවතින්නේ ලිංගිකව එකතු වුණාට පස්සේ. ගොඩක් පවුල් ජීවිත දෙදරලා යන්නෙ අනියම් සම්බන්ධතා නිසා. ඒ කියන්නෙ තමන්ගෙ විවාහ ජීවිතය ඇතුළේ ලිංගිකව තමන් තෘප්තිමත් නැති නිසා. අපි මුලින්ම අවබෝධ කරගන්න ඕන විවාහ ජීවිතේ ඇතුළේ ප්‍රශ්න ගොඩක් ඇති වෙන්නෙ ඇයි කියලා.
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක හා
මනෝ චිකිත්සක
ඩී’ එස්’ හේවගේ
එරංදි කෞශල්‍යා ✍️