ඇය නමින් ප්‍රිමාලි මදාරා. ප්‍රිමාලි කියන්නෙ අවුරුදු කීපෙකට කලින් අතේ තියෙන මුදලේ හැටියට ඇන්තූරියම් පැළ මිලට අරගෙන ඒවා අනිත් පැත්තට තමන්ට පුංචිම පුංචි ලාබයක් තියාගෙන විකුණපු කෙනෙක්. ඇයට ඕන වුණේ ඇන්තූරියම් පැළ විකුණලා ලබාගන්න ලාබයෙන් පුංචි ස්කූටරයක් මිලදී ගන්න. තමන්ට පොඩි ලාභයක් තියාගෙන අඩු මුදලට ඇන්තූරියම් පැළ විකුණපු ප්‍රිමාලි වටේ දිනෙන් දින පාරිභෝගිකයන් බොහෝ ප්‍රමාණයක් එකතු වුණා. ඇය ඇගේ ගමන නතර කළේ නෑ. ස්කූටරයක් ගන්න හිතාගෙන ඇන්තූරියම් පැළ ව්‍යාපාරය පටනගත්තු ප්‍රිමාලි අද මොන්ටෙරෝ රථයක හිමිකාරිණියක්. නමුත් ඇය තවමත් අර පරණ ඇන්තූරියම් ව්යාපාරිකාවමයි. ඇයව අපිට විශේෂ වෙන්නෙ ලබා අලාබ දෙකම උරුම ව්‍යාපාර ලෝකයේ මොන අලාබ සිද්ධ වුණත් තමන්ගේ ව්‍යාපාරය අත් නොහැර ඇය එය තදින් අල්ලන් සිටි නිසයි. ඇගේ සාර්ථකත්වයේ රහස එයයි.
ප්‍රිමාලි අපි මුලින්ම කතා කරමු කොහොමද මේ ව්‍යාපාරයක් අතගැහුවෙ කියලා…
2017 අවුරුද්දෙ තමයි මම මේ ව්‍යාපාරය පොඩියට පටන්ගත්තේ. ගෙදර නිකන් ඉන්න කාලෙ මං ආසාවට මල් හැදුවා. රෝස, ඩේලියා, කපුරු වර්ග ගොඩක් මං ගාව තිබුණා. අපි ඉන්නෙ කුරුණෑගල, මාවතගම. මේ පැත්තෙ කාලගුණේ එක්ක මේ මල් වර්ග මේන්ටේන් කරන්න ටිකක් අමාරු වුණා. ඊටපස්සෙ ඕකිඩ් පටන්ගත්තා. ඒකත් සාර්ථක වුණේ නෑ. ඊටපස්සෙ තමයි මට ඇන්තූරියම් හදන්න හිතුණෙ.
මට හිතුණා මෙච්චර ගණන් දීලා ඇන්තූරියම් පැළයක් ගන්න එකේ ඒකෙන් මට පැළ බෝ කරලා විකුණන්න පුළුවන් නම් හොඳ ලාබයක් ගන්න පුළුවන්නේ කියලා. මම මුලින්ම කළේ ඇන්තූරියම් පැළ රටින් ගෙන්වගෙන පොඩි ලාභයක් තියාගෙන විකුණපු එක. ඒ කියන්නෙ Buy and Selling’ මේ වැඩේ මං පටන්ගත්තෙ රුපියල් 43,000කින්. ඒ මුදලත් ඒ කාලෙ හරිම අමාරුවෙන් මං එකතු කරගත්තේ. ඇන්තූරියම් කලෙක්ෂන් එකක් හදාගන්න ලොකු ආසාවක් තිබුණත් එච්චර සල්ලියක් තිබුණෙ නෑ වියදම් කරන්න. ඒ නිසා මං කළේ ගේන ගේන පැළ ටික පහුවදා වෙද්දි කොහොම හරි විකුණපු එක. ඊටපස්සෙ ලැබුණු ලාභයෙන් තමයි මම හෙමීට පැළ බෝකරන්න පටන්ගත්තේ.
එතකොට ප්‍රිමාලි ගේම ගැහුවෙ පැළ විකුණලා ලැබෙන පුංචි ලාබයෙන්?
ඔව්. මුලින්ම මම පැළ බෝ කරලා තියාගත්තෙ අඩි 8ඥා10 ප්‍රමාණයේ පොඩි නෙට් හවුස් එකක. පස්සෙ බැංකු ණයකින් තමයි දැන් ඇන්තූරියම් වගාව දාලා තියෙන ඉඩම ගත්තේ. මං ලාබෙට මල් පඳුරු විකුණපු නිසා සතියකට පැල 100, 200ක් විකුණගන්න මට පුළුවන් වුණා. එක පඳුරකින් ලැබෙන ලාබය කුඩා මුදලක් වුණත් මල් පැළ විශාල ප්‍රමාණයක් විකිණෙද්දි ඒ ලාබය මට ප්‍රමාණවත් වුණා.
මුල් කාලෙ කොපමණ මුදලකට මල් පැළ අලෙවි කළේ?
මල් පඳුරක් මම 1750ට වගේ අරගෙන 1900ට වගේ විකිණුවේ.
සාමාන්‍යයෙන් ගණන් වැඩිම ඇන්තූරියම් වර්ග මොනවද?
ඇන්තූරියම් පඳුරේ මිල නියම වෙන්නෙ මලේ විකෘතියෙන්. Flash කියන වර්ගය ලා රෝස පැහැ මලක්. ඒ මල්වල රතු පැහැ තිත් තියෙනවා. මෙන්න මේ තිත් නිසා තමයි ඒ මල් වර්ගය ගණන් වැඩි. සාමාන්‍යයෙන් 10,000 ඉඳන් 80,000 වෙනකල් මේ වර්ගයේ පැළ තියෙනවා. ඒ වගේම මලේ ප්‍රමාණය අනුවත් මිල වෙනස් වෙනවා. Shibori” Magic Red කියන්නෙත් මිල අධික ඇන්තූරියම් වර්ග.
මෙච්චර මුදලක් වැය කරලා එක ඇන්තූරියම් පඳුරක් අරන් යන කස්ටර්මර්ස්ලා ඉන්නවද?
ඔව්. පඳුරක් කීයයි කිව්වත් ගන්නවා ව්‍යාපාරයක් විදිහට ඇන්තූරියම් වගාව කරන අය නම්. මොකද හොඳින් වැඩුණු මල් එක්කමනෙ විකුණන්නේ. ගෙදරක ආසාවට මල් හදන අයනම් තමන් කැමති වර්ගයේ පුංචි පැළ මිලදී ගන්නවා. නමුත් මේක විශේෂයෙන්ම කියන්න ඕනෙ අපි ලක්ෂයක් දෙකක් වියදම් කරලා ඇන්තූරියම් පැළයක් ගත්තට ඒ වැය කරපු මුදල මාස දෙකෙන් ආපහු උපයගන්න පුළුවන්. පැලය කට් කළාට පස්සෙ මාස තුනෙන් ඒ පඳුරෙන් පැළ ගලවගන්න පුළුවන්.
ව්‍යාපාරය පටන්ගත්තෙ ස්කූටරයක් ගන්න තිබුණ ආසාවට. නමුත් අන්තිමේ නැවතුණේ මොන්ටෙරෝ එකකින්. කොහොමද ඒ ආපු ගමන?
ඇන්තූරියම් ව්‍යාපාරය කරන්න කලින් මං ගාව තිබුණේ මදුරුවා බයිසිකලයක්. ඒ කාලෙ 28,000ට මං ඒක ගත්තේ. ගොඩක් කල් ඉඳන් ආසාවෙන් හිටියෙ ස්කූටරයක් ගන්න. පස්සෙ මම ස්කූටරයක් ගත්තා. ඊටපස්සෙ ව්‍යාපාරය දියුණු වෙනවත් එක්ක ස්කූටරය විකුණලා ඇල්ටෝ එකක් ගත්තා. ඇල්ටො එක විකුණලා වෙසල් එකක් ගත්තා. එහෙම එහෙම තමයි මේ ව්‍යාපාරය පටන්අරන් අවුරුදු පහක් විතර ගිහින් මොන්ටෙරෝ එකකට මාරු වුණේ.
ප්රිමාලිමද මල් පැළ බෙදාහැරීම් කරන්නෙ?
නෑ. කුරියර් සර්විස් එකකින් තමයි ඒ වැඩ සිද්ධ වෙන්නෙ.
මෙච්චර වටින වගාවක් කොහොමද ආරක්ෂා කරගන්නෙ?
ඇත්තටම අපි ඉන්නෙ ගමක. මේ අවට මිනිස්සු නම් එහෙම හොරෙන් පැළ ගලවන්න එන්නෙ නෑ. ඒ කොහොම වෙතත් වටේටම කැමරා දාලා තමයි තියෙන්නේ.
දැනටත් ප්‍රිමාලි ගාව තියෙන්නෙ ඇන්තූරියම් විතරද?
දැන් අලුතින් මං පටන්ගත්තා රටින් ගෙන්වන ඇග්ලෝනිමා වර්ග විකුණන්න.
මේ ව්‍යාපාරයට අන්තර්ජාතික ඉල්ලුමක් තියෙනවද?
ඔව්. නමුත් මෙහෙන් පිටරටවලට මල් පැළ යවන්න ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. සමහර වෙලාවට දවස් තුන හතර යනවා. ඒ ප්‍රොසෙස් එකත් ලේසියෙන් කරන්න පුළුවන් දේකුත් නෙවේ. වෙන බඩුවක් නම් දෙක තුනක් ගියත් ප්‍රශ්නයක් නෑ යවන්න පුළුවන්. ඒත් පැළයක් දවස් ගණන් නිකන්ම තියෙද්දි මල් සවුත්තු වෙනවා.
ඉතින් ඉක්මණින් මල් පිටරටකට ප්‍රවාහනය කරන්න ක්‍රමවේදයක් තවම ලංකාවෙ නෑ.බිස්නස් එකක් ගොඩනගාගන්න එක ලේසි පහසු කටයුත්තක් නෙවේ. ඔය මේ වෙද්දි අති සාර්ථක ව්‍යාපාරික කාන්තාවක්.
මෙවැනි ව්‍යාපාරයක් පටන්ගන්න ඉන්න කෙනෙකුට ඔබට දෙන්න උපදෙසක් ඇති ව්‍යාපාරයක් කියන්නෙ ලාභ, අලාභ දෙකම සිද්ධ වෙන දෙයක්. ම් වගේ මල් ව්‍යාපාරයක් නම් සේල් නැතිම මාසත් තියෙනවා.
සමහර වෙලාවට මාස දෙක තුන එක පැළයක්වත් විකිණෙන්නෙ නෑ. එහෙම වුණා කියලා දමල ගහලා ව්‍යාපාරය වහලා දාන්න එපා. ඒ බිස්නස් නැති කාලය තියෙන්නෙ ඉතාම කෙටි කාලයක් විතරයි. එතනින් පස්සෙ ආයෙත් බිස්නස් වැඩි වෙන කාලයක් එනවා. මම කඩාවැටීම්වලට මුහුණ දීපු කෙනෙක්.
ලක්ෂ ගාණක් වැය කරලා ගෙනාපු මල් පැළ මැරිලා ගිහින් තියෙනවා. නමුත් මම අත්හැරියෙ නෑ. අල්ලගෙන හිටියා කොහොම හරි. එහෙම අල්ලගෙන හිටපු නිසා තමයි අද මම සාර්ථක වෙලා තියෙන්නෙ. ඇන්තූරියම් කියන්නෙ ගොඩ යන්න හොඳ ව්‍යාපාරයක්.
එරංදි කෞශල්‍යා ✍️