5 වසරට ආපු ගමන් දෙමව්පියො හරි ආසාවෙන් ඉන්නව තමන්ගේ දරුවා ශිෂ්‍යත්ව විභාගෙ පාස් වෙයි කියල. ඒ නිසාම දරුවගේ විභාගෙ පාස් කරවන්න පුළුවන් හැමදේම එයාලා කරනවා. අම්පාර උහන කනිෂ්ඨ විද්‍යාලය කියන්නේ ඒ විදියට දෙමව්පියන්ගේ හීනයක් සැබෑ කරන්න මගපෙන්වීම් කරපු ප්‍රාථමික පාසලක්. කීර්ති රත්නසිංහ තමයි පාසලේ විදුහල්පති. හය වසරට දක්ෂ දරුවෙක් හදන එක තමයි පාසලේ මූලිකම අරමුණ වුණේ කියල කීර්ති සර් කියන්නේ. ඒ ගමනේ අතුරු ප්‍රතිඵලය දරුවෝ ශිෂ්‍යත්ව විභාගේ සමත් වීම. ඉතින් අද කතාව හය වසරට දක්ෂ දරුවො බිහි කරන ප්‍රාථමික පාසල ගැන.
අම්පාර උහන කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් කී දෙනෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් වුණාද?
ඉස්කෝලෙන් දරුවෝ 159 සහභාගී වුණා. ඒ දරුවන්ගෙන් 100 දෙනෙක්ම ශිෂ්‍යත්ව කඩයිම පාස් කළා.
දරුවන්ව මේ විදියට ජයග්‍රහණයක් ලබන්න මොකක්ද පාසලෙන් කරපු මගපෙන්වීම…
ඇත්තටම මේක කාලයක් තිස්සේ කරපු කැපකිරීම්වල ප්‍රතිඵලයක්. ගුරුවරු කලින් හිටපු විදුහල්පතිවරු හරියට පදනම දාපු නිසා තමයි ළමයින්ට නිවැරදි මඟ පෙන්වීමක් කරන්න පුළුවන් වුණේ. දරුවො ශිෂ්‍යත්ව කාලේ පීඩනෙන් ඉන්න නිසා විෂයබාහිර ක්‍රියාකාරම් එක්ක දරුවන්ට උගන්වන වැඩපිළිවෙක් මේ අවුරුද්දේ අපි ක්‍රියාත්මක කළා. ඉස්කෝලේ චෙස් ක්ලාස්, මාෂල් ආර්ට් වගේ දේවල් එයාලට ඉගැන්නුවා.

භක්ති ගීත වැඩසටහන් කළා. ඒ වගේම ක්‍රීඩාවට දරුවො වැඩියෙන් යොමු කළා. ඒ නිසා ගිය අවුරුද්දේ නැගෙනහිර පළාතෙ කලාපීය ජයග්‍රහණය ගත්තෙත් අපේ ඉස්කෝලේ. අපි මේ වැඩසටහන්වලින් බලාපොරොත්තු වුණේ දරුවන්ට තියෙන පීඩනය අඩු කරල ඉගෙන ගැනීම සතුටින් කරන්න පුළුවන් වාතාවරණයක් හදන එක. අම්පාර දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ගත්ත උවිදු පුතා ඇතුළුව තවත් විශාල දරුවන් ප්‍රමාණයක් පාස් වුණේ ඒ නිසා කියලයි මම හිතන්නේ.
මොන වගේ සහයෝගයක්ද දෙමව්පියන්ගෙන් ලැබුණේ ?
ඇත්තටම ගුරුවන්ට දෙමව්පියන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ශිෂ්‍යත්ව විභාගයෙන් මේ තරම් දරුවන් ප්‍රමාණයක් කඩයිම ලකුණ දක්වා ගේන්න පුළුවන් වුණේ ඒ සහයෝගය නිසයි. සමහර දෙමව්පියෝ ඉඩ තියන වෙලාවට ඇවිත් ගුරුවරුන්ට ප්‍රශ්න පත්‍ර ගෙනල්ල දෙනව, ලකුණු එන්ටර් කරන්න පවා උදව් කළා.
විදුහල්පතිතුමන්ට මොන වගේ හැගීමක්ද දැනුනේ දරුවන් 100 ක්ම එකවර සමත්වීම ගැන
ඇත්තටම ශිෂ්‍යත්වෙ පාස් කරනවට වඩා අපේ අරමුණ හය වසරට දක්ෂ දරුවෙක් හදන එක. අතුරු ප්‍රතිඵලය තමයි ශිෂ්‍යත්වය සමත්වීම. ඒ විදියට දරුවො ලොකු ප්‍රමාණයක් සමත් වුණාම හිතට පුදුම සතුටක් දැනෙනවා.

අපි මේ ජයග්‍රහණය ගැන පාසලේ පහ වසරේ උගන්වපු ගුරුතුමියන් කිහපදෙනාගෙන් එක් අයෙක් වන ඉන්දි නදීකා එක්කත් කතා කළා…
නදීකා ටීචර් ඉගැන්වීම් කටයුතු කරන පන්තියේ දරුවෝ කී දෙනෙක් ශිෂ්‍යත්වය පාස් වුණාද?
මගේ පන්තියේ දරුවෝ හතළිස් එකක් ඉන්නවා දරුවෝ තිස් හයක්ම පාස් වෙලා.
මොනවගේ කැපකිරීමක්ද කළේ මේ ජයග්‍රහණය එයාලට අරන් දෙන්න?
අපේ පාසල ප්‍රාථමික පාසලක්. ඒ නිසා ශිෂ්‍යත්වයට විශේෂ අවධානයක් යොමු වෙනවා. නමුත් ශිෂ්‍යත්වය පාස් කිරීමම නෙවෙයි හය වසරට හොඳ දක්ෂ දරුවෙක් බිහි කරන එකයි අපේ අරමුණ.
ඒක පහ වසරේ ගුරුවරුන්ගෙ කැපවීමෙන් විතරක් සිදු වුණ දෙයක් නෙවෙයි. එක වසරෙ ඉදන්ම ඉගැන්වීම් කරපු ගුරුවරුන්ගේ උත්සාහය නිසයි ළමයි විභාගය සමත් වුණේ. පහ වසරේ දරුවන්ට ශිෂ්‍යත්වය පාස් වෙන්න ඕනමයි කියල ලොකු ස්ට්‍රෙස් එකක් අපි දුන්නෙ නැහැ.
දවස් හතරක් හවස අමතර පන්ති කළා. ඊට අමතරව උදේට කෙටි පේපර් එකක් දුන්නා. උගන්වද්දී හැම දරුවෙක්ටම එක සමාන අවධානයක් දුන්නා. දක්ෂ දරුවන් ගැන විතරක් බැලුවනම් කඩයිම ලකුණු පන්නන්නේ කිහිපදෙනෙක් විතරයි.
පේපර් දුන්නම ලකුණු අඩු ගාන වැඩි ගාන නෙමෙයි බැලුවේ. දරුවන්ටම කියල දුන්නා පේපරේට ලකුණු හැට නම් මොනව නිසාද තමන්ට ඉතුරු ලකුණු ගන්න බැරි වුණේ කියල බලන්න.
අපි ලකුණු පොතක් පවත්වාගෙන යනවා. දරුවන් පේපර් එකට ගන්න හැම ලකුණක්ම ඒකේ ලියනවා.ඒ නිසා එක එක දරුවන් ඉන්නෙ කොයි මට්ටමේද කියල දන්නවා. දරුවන්ට පේපර් එකක් දුන්නම ටාගට් එකක් දෙනවා. කලින් පේපරේට ලකුණු පොතෙ තියෙන්නෙ හැට නම් දැන් ලියන පේපර් එකට අවම ලකුණු පහක්වත් වැඩියෙන් ගන්න කියල. ඒක නිසා දරුවොත් උනන්දුවෙන් වැඩ කළා.
බාහිර ක්‍රියාකාරම් එක්කද සිසුන්ට ඉගැන්වීම් කටයුතු කළේ
ඔව් ඇත්තෙන්ම හවස හතර වෙනකම් දරුවන්ට පන්ති කරනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයිනේ. පොඩි දරුවො නිසා ඉක්මනට බෝරින් වෙනවාත. ඒ නිසා ඉගෙනගන්න ආස විදියට ඇක්ටිවිටීස් කළා. පරිසරයට අදාළ පාඩම් උගන්වද්දී ඒ සම්බන්ධ වීඩියෝස් දාල දරුවන්ට පෙන්වනවා.
ඒ වගේම පරිසරය විෂය තුළ සමහර පාඩම්වලට අදාළ ඇක්ටිවිටීස් තියෙනවා. ඒව දරුවො එක්ක එකතු වෙලා කළා. ඊට අමතරව විෂය පරිබාහිර ක්‍රියාකාරම්වලට උනන්දු කළා. ශිෂ්‍යත්වෙ කියල දරුවෝ ඒ වැඩවලින් අයින් කළේ නැහැ. පොතම කටපාඩම් කරන ගිරව් වගේ ළමයි හැදුවේ නෑ.
දරුවො විශාල ප්‍රමාණයක් ශිෂ්‍යත්වයට මෙහෙයවන එක අභියෝගයක්ද?
ඔව් ලේසි නැහැ. ඒත් මේක තනියෙන් කරන දෙයක් නෙමෙයි. සහයෝගයෙන් ගිය ගමනක්. පහ වසරේ ගුරුවරු හරි එකතුයි. මොනව හරි ප්‍රශ්නයක් ආවම සාකච්ඡා කරල තමයි විසදුමකට ඇවිත් දරුවන්ට හරිම දේ කියල දෙනවා. ඒ වගේම විදුහල්පතිතුමාගේ සිට අනද්‍යන කාර්ය මණ්ඩලය දක්වා සියලු දෙනාගේම සහයෝගය අපට ලැබුණා.
ඒ නිසා අපහසුවක් වුණේ නෑ. උදේ හයයි හතළිහට වගේ දරුවන්ට කෙටි පේපරේ දෙනවා. පන්තියෙ ගුරුතුමී එන්න පරක්කු වුණොත් ඒ ටයිම් එකෙ දරුවො හසුරුවන්න ප්‍රින්සිපල් පන්තිවලට යන අවස්ථා තියෙනවා. ඒ නිසා අභියෝගයක් වුණත් ජය ගන්න පුළුවන් වුණා.
දරුවන්ට ඉගෙනගන්න උනන්දුව ඇති කළේ කොහොමද?
ඇත්තටම දරුවො කම්මැලි නැහැ. දරුවන්ට මෝටිවේෂන් එකක් දීල ආසාවක් ඇති කරන්න ඕන. පන්තියේදී පේපර් එකක් ගත්තම වැඩිම ලකුණ දෙන ළමය ගැන විතරක් බැලුවේ නැහැ. පේපරේට ලකුණු හැටක් තිබ්බ දරුවෙක් හැට පහක් ගත්තනම් අගය කළා. මම දරුවන්ට හිනා මූණක් එක්ක තමයි පේපරේ දෙන්නේ. ඒ හිනා මූණ මගේ අතින් ඇදල පේපර් එක ගන්න දරුවෝ හරි ආසයි. එහෙම නැත්නම් ලස්සන ස්ටිකර් එකක් අලවනව, පැන්සලක් පෑනක් ලස්සන මකනයක් වගේ චූටි චූටි තෑගි දෙනවා.
ඒක පොඩි දරුවන්ට ලොකු උත්තේජනයක්. ඒ වගේම එදා දවසේ පේපරේට කලින් ලියපු පේපරේට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ගත්ත අය ස්ටේජ් එක උඩට නග්ගල ඒ දරුවව අගය කරනවා. ඒ නිසා දුර්වලයි කියන ගොඩේ ඉන්න දරුවත් පොඩ්ඩ පොඩ්ඩ හරි ඉස්සරහට ආවා.
දරුවන්ට හරි මඟ පෙන්වීමක් දුන්නම ආසාව ඇති කළාම හිතලම ඒ දේ කරනවා. හොඳම උදාහරණයක් තමයි මම මුලින්ම දරුවන්ට පොත් කියවන්න ඉගැන්නුවේ බලෙන්. අඹ යාළුවො පොත කියවල අන්තර්ගතය මට කියන්න ඕන කියල දරුවන්ට පොඩි අභියෝගයක් දුන්නා. ඒ විදියට ටික ටික පොත් කියවන්න පුරුදු කළා. ඊට පස්සේ දරුවොම පොත් කියවන්න ආස වුණා.
ලබපු ජයග්‍රහණය ගැන මොන වගේ හැගීමක්ද තියෙන්නේ?
ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. අපි කරන්නෙ මග පෙන්වීමක්. පහ වසරෙට ශිෂ්‍යත්වයට හැම දරුවෙක්ම යම් කිසි කැපකිරීමක් කරනවා. ටීවී බලන එක අඩු කරනවා. ඉස්කෝලේ කට් කරල එහෙ මෙහෙ දවස් ගනන් ට්‍රිප් යන එක අඩු කරනවා. ඒ විදියට කරන කැපකිරීම් කරල හොඳ ප්‍රතිඵලයක් ආවම සතුටු වෙන්නේ දරුවොමයි. ඒ දරුවන්ගේ සතුට දකිද්දි අපිටත් හරි ආඩම්බරයක් සතුටක් දැනෙනවා.
අම්මලාට දෙන්න පණිවිඩයක් තියෙනවද?
ඇත්තටම ශිෂ්‍යත්වෙට ගුරුවරයෙක්ට කරන්න පුළුවන් මග පෙනවන එක. පේපර් එක හොඳට ලියන්න දරුවන්ගේ චිත්ත ශක්තිය බලපානවා. දරුවන්ට ලැබෙන මානසික නිදහස චිත්ත ශක්තිය වර්ධනයවීමට බලපානවා. අම්මලා කරන වරදක් තමයි දරුවො ගණිත ගැටළුවලට, පරිසරයට, කියල පන්තිවලට යවනවා. නමුත් ශිෂ්‍යත්වේ ගුරුවරයෙක්ටම මේ හැම විෂයක් ගැනම දැනුම තියෙන්න ඕන.
මේ විදියට දරුවව අනවශ්‍ය විදියට විෂයන්වලට වෙන් කරල පන්ති යැව්වම ඒක දරුවට පීඩනයක්. ඒ නිසාම දරුව ඉන්න තැනිනුත් පල්ලෙහාට වැටෙන්න පුළුවන්. පාසලට වඩා ටියුෂන් එක හොඳයි කියල මතයක් දැන් දෙමව්පියන්ගෙන් තියෙනවා. ඒත් මේ තරම් දරුවන් ප්‍රමාණයක් පාස් කරන්න මට පුළුවන් වුණේ මට ඒ බාධකය තිබ්බෙ නැති නිසා. මගේ පන්තියේ හිටපු දරුවන්ගේ අම්මලාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.

අම්පාර දිස්ත්‍රික්කයේ පළවෙනියා වුණ උවිදු ඉන්නෙත් මේ පාසලේමයි. මේ උවිදුගේ හඬ...
ශිෂ්‍යත්වේ පාස් වුණාට උවිදුට සතුටුයිද?
ඔව් ගොඩක් සතුටුයි. විභාගෙට 180 ක්ම ගන්න පුළුවන් වෙයි කියල හිතුවේ නෑ. ඒත් විභාගේ ලිව්වම ලේසියි කියල හිතුණා.
උවිදුට කවුද උදව් කළේ?
අම්මයි තාත්තයි ගොඩක් උදව් කළා. මම දන්නෙ නැති දේවල් අම්මයි තාත්තයි කියල දෙනවා. ඒ වගේම නදීකා ටීචර් ගොඩක් දේවල් මට කියල දුන්නා.
කොහොමද විභාගෙට ලෑස්ති වුණේ?
ටීචර් කියපු විදියට මහන්සි වෙලා පාඩම් කළා, පේපර් කළා. මම ගේම් ගහන්න ටීවි එකේ කාටුන් බලන්න ආසයි. ඒත් විභාගෙ නිසා ඒ දේවල් පොඩ්ඩක් අඩු කළා. ඒත් තාත්ත එක්ක චෙස් අදින එක නම් නතර කළේ නෑ. පාඩම් කරල මහන්සි වුණාම කොහේ හරි ලස්සන තැනක් ඇවිදින්න ගියා. ඒ නිසා පාඩම් කරද්දී කම්මැලි හිතුණේ නැහැ.
අනාගතයේ කවුරු වෙන්නද හිතන් ඉන්නේ
මම කැමතියි ඉන්ජිනියර් කෙනෙක් වෙන්න
අලුතෙන් ශිෂ්‍යත්වේ ලියන්න ඉන්න නංගිල මල්ලිලාට කියන්නේ මොනවද?
ඔයාලත් ටීචර් කියන විදියට මහන්සි වෙලා වැඩ කරන්න. කම්මැලි වුණාම කාටුන් බලන්න. ඒත් පේපර් කරන්න. පොත් කියවන්න කම්මැලි වෙන්න එපා. එතකොට ශිෂ්‍යත්වේ පේපරේ ලේසියෙන් ලියන්න පුළුවන්.
පවනි දිලේකා ✍️