බුදුරජාණන්වහන්සේගේ දහම අනුගමනය කරන, ඒ අනුව හැසිරෙන, සැරියුත්, මුගලන් පරම්පරාවෙන් පැවතියාවුද, අද දවසේ වැඩ වාසය කරන්නාවූ සිල්වත් ගුණවත් භික්ෂුන්වහන්සේලා මෙන්ම, අනාගතයේ බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා බිහි වන්නාවුද, ත්‍රෛකාලික භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පිරිනමන දානය සාංඝික දානය ලෙසින් අර්ථවත් වේ. සාංඝික දානයක් පිරිනැමීමේදී සංඝයා වහන්සේලා මෙපමණක් සිටිය යුතු යැයි සීමාවක් නැත. සාංඝික දානමය පිංකමක් වෙනුවෙන් විවිධ නිමිති ඇත.
සාංඝික දානයක් දීමේදී එය නිවසේම පැවැත්විය යුතු යැයි නියමයක් නැහැ. නිවසක් පිරිසිදු කිරීම, දානය වෙනුවෙන් පිරිවර එක් රැස් කිරීම ආර්ථික වශයෙන් අපහසු නිසා පන්සලේ දාන ශාලාවක දානයක් පිරිනැමීම සිදු කරන්න පුළුවන්.
දානය පිලියෙල කිරීමේදී පිරිසිදුබව සහ ගරුත්වය ඉතාම වැදගත් ලෙස සලකන ලදී. දානය පිලියෙල කිරීමේදී කෙළ විසි වෙන නිසා කතා බහ නොකළ අතර මුඛවාඩම් බැඳගෙන ඉවීමට තරම් ගරුත්වයක් සිත්හි තිබුණා. ලුණු, ඇඹුල් බැලීමටවත් දානය ඉඳුල් කළේ නැහැ. එතරම් ශ්‍රද්ධාවෙන් දානය සකස් කළ අතර බොහෝ විට අලුත් අස්වැන්නෙන් නොඉඳුල් කොටස මේ වෙනුවෙන් යොදා ගත්තා.
ජලය පවා පෙරහන් කර ගත්තා. එමෙන්ම භික්ෂුන්වහන්සේලාට ගුණ ලබා දෙන අන්දමින් දානයට එක් කර ගත යුතු ව්‍යංජන සංයෝගය ගැනත් වැඩි උනන්දුවක් දායකයන්ගේ සිතේ තිබුණා. නමුත් අද නිවෙස්වල් දානය පිළියෙළ කිරීමට වඩා මුදලට දානය ( Catering) දානය ලබා ගෙන පිරිනැමීම සිදු වෙනවා. තමන්ගේ පහසුව තකා මේ අන්දමින් දානමය පිංකම් සිදු කළත් මෙවැනි අවස්ථාවන්හි සිතේ ඇති වෙන ශ්‍රද්ධාව තමන් විසින්ම දානයක් පිළියෙළ කිරීම තරම් උතුම් නොවනු ඇත.
නමුත් කුසලයක් අත් පත් වෙනවා. දානයට සහභාගී වන භික්ෂුන්වහන්සේලාගේ අවශ්‍යතාවයන් අනුව පිරිකර තෝරා ගැනීම සැලසුම් කළ හැකිය. ප්‍රමිතියක් නොමැති අටපිරිකර පූජා කිරීමට වඩා සංඝයාවහන්සේලා වෙනුවෙන් මුදල් පිරිනැමීමෙන් උන්වහ්නසේලාගේ අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට මහත් වූ පිටුවහලක් ලැබෙනු ඇත.
එයින් උන්වහනසේලාගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට වඩාත් පහසුවක් ලැබෙනු ඇත.භික්ෂුන්වහන්සෙලා පන්සලේ සිට හේවිසි, බෙර වාද සහ සාධු නාද පවත්වා පෙරහැරකින් වැඩම කරවනු ලැබේ. බුදුරජාණන්වහන්සේ නියෝජනය කරමින් ධාතු කරඬුව ගිහියෙකුගේ හිස මත තබා වඩම්වනවා. ධාතු කරඬුව වඩම්වන තැනැත්තාගේ හිසට මුතුකුඩයක් හෝ වියනක් මගින් ගෞරවයෙන් මෙම වැඩමවීම සිදු කරනවා. ධාතු කරඬුව තැන්පත් කිරීමට විශේෂිත ගෘහයක් මේ වෙන විට සකස් කර තිබෙන අතර ඉතාම ගරුත්වයෙන් ධාතු කරඬුව එම ගෘහයේ තැන්පත් කරනු ලබනවා.
භික්ෂුන්වහන්සේලාගේ පා සේදීම එයින් අනතුරුව සිදු වේ. භික්ෂුන්වහන්සේලාගේ පා ධෝවනය කිරීම ගෘහමුලිකයා විසින් සිදු කරන අතර ස්වාමින්වහන්සේලා දානය වෙනුවෙන් බිම පිලියෙල කර ඇති ආසන වෙත වඩමවනු ලැබේ. පිරිස තිසරණ සහිත පංචශීලයේ පිහිටුවා බුද්ධ වන්දනාවෙන් බුද්ධ පූජාව පූජා කිරීම සිදු වෙනවා.
දානය සාංඝික කිරීම
භික්ෂුන් වහන්සේලා අසුන් ගෙන සිටින ස්ථානයට ඉදිරියෙන් ආසනයක් පනවා එහි සුදු ඇතිරිලි දමා දානය වෙනුවෙන් සකස් කරන ලද සියලුම දේ තැන්පත් කර සුදු ඇතිරිල්ලකින් වසා තබා තබනවා. භික්ෂුන්වහන්සේනමක් විසින්පිරිස තෙරුවන් සරණ පිහිටුවා මුක්තානුමෝදනාව පවත්වනු ලැබේ. එහිදී දානමය නිමිත්ත ආදි කෙටි දහම් දෙසුමක් පැවැත්වේ.
එයින් පසුව දානය සාංඝික කිරීම වෙනුවෙන් ඉමං භික්ඛං සපිරික්කාරම් බුද්ධ පමුකස්ස සකලස්ස භික්ඛු සංඝස්ස දේම… ලෙසින් බුදරජාණන්වහන්සේට පූජා කරනවා. එයින් අනතුරුව භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් දානය පිරිනැමීම සිදු වෙනවා. පැමිණ සිටින සියලු දෙනා විසින් මුලින්ම බත්, එයින් අනතුරුව ව්‍යංජන ලෙසින් දානය පිරිනමනු ලබනවා. ස්වාමින්වහන්සේලා දන් වළඳා අවසානයේදී අෂ්ටපරිෂ්කාර සහ සෙසු පිරිකර පූජා කෙරේ.
සාංඝික කරන ලද දානය ගිහියන් අනුභව කිරීම පව් සිදු වෙන්නක්ද…?
සාංඝික කිරීමෙන් පසුව භික්ෂුන්වහන්සේලා විසින් අනුභවයෙන් ඉතිරි කරන ලද දානය ගිහියන් අනුභව කිරීම කිසිදු ලෙසින් පව් සිදු වෙන කටයුතත්ක් නොවේ. ආාහර විසි කිරීමට වඩා උපයා සපයා ගත් දෙය පරිභෝජනය කිරීම වඩාත් සුදුසුයි. දානමය පිංකමේ අවසාන අදියර භක්තානුමෝදනාව හෙවත් පිං අනුමෝදනාවයි. පැමිණ සිටින සියලු දෙනාම භත්තානුමෝදනා දහම් ඇසීමට සම්බන්ධ වෙනවා මියගිය අය වෙනුවෙන් පැන් වඩා පිං අනුමෝදන්කිරීමත් මෙහිදී සිදු වෙනවා. දායකයාගේ අතින් ගෙන ප්‍රතිග්‍රාහකයාට දිය නොහැකි දේ පැන් වත් කොට දීම පුරාණයේ සිට පැවැතෙන සිරිතකි.
පින් අනුමෝදන් කිරීමේදී පැන් වඩන්නේ ඇයි…?
මළගිය ඇත්තන්ට පින් අනුමෝදන් කිරීමේදී පැන් වැඩීම බෞද්ධ සම්ප්රදායකි.
ඒව මේව ඉතෝ දින්නං පේතානං උපකප්පති- උණ්නං මේ උදක වච්ච යථා තීරණ්ණ පවත්තති
තේරුම- යම් සේ ගංඟාවක් පිරී ගිය කල මහා සමුදුරට වදීද එසේම මෙතැනින් වෑහෙන ජලය ගලා යන සේ-එහි සිටින මියගිය වුනට ඵලදායී වේවා උස් තැනින් වැගිරූ සේ ජලය- පහළට වැගිරී යන සේ මේ දුන් පින එහි සිටින ජීවින්ට අත්වේවා…
සත්දවසේ දානය නිවසේ පැවැත්වීම සුදුසු නැතිද…?
අපේ සමීපතයන් මියගිය පසුව ඒ අයගේ මෘත දේහය තැබූ ස්ථානයේම දානය පිලිගැන්වීම අවශ්‍ය බවට මතයක් අප අතරේ තිබෙනවා. මෙය එතරම් සුදුසු නැහැ. ඊටත් හේතු දෙකක් තිබෙනවා. නිවසක මළ ගෙයක් සිදු වීමෙන් පසුව ඒ නිවසේ අය කායිකව වගේම මානසිකවත් වෙහෙසට පත්ව සිටිනවා. ඒ වගේම මෘත දේහයක් තැන්පත් කළ ස්ථානය විෂබීජ සහිතයි. එතැනත් යම් අප්‍රසන්න බවක් තිබෙනවා. ඒ නිසා නිවසට වඩම්මවා දීමට වඩා පන්සලේ දාන ශාලාවට දානය සකසා ගොස් පිරි නැමීමෙනුත් සාංඝික දානමය කුසලයක් සිදු වෙනවා.
ඒ වගේම පුද්ගලයෙක් මිය ගිය පසුව දානමය පිංකම් කිරීමේදී එළියේ මල්පැලක් තනවා ප්‍රේතයන් හෝ විවිධ අමනුශ්ය බලයන් වෙනුවෙන් දානය තබනවා. මෙතැනදී අපේ මියගිය ආදරණීය මව, පියා වෙනුවෙන් ප්‍රේතයෙකුගේ සංකල්පය අප විසින්ම ආරෝපණය කරනවා. සාංඝික දානයකදී පෙරේත ගොටු තැබීම, මල් පැලක් තැනීම වැනි කටයුතු අවශ්‍ය නැහැ. මිය ගිය අය වෙනුවෙන් පැන් වඩා පිං අනුමෝදන් කිරීම හොඳින්ම ප්‍රමාණවත්.ඒ වගේම සාංඝික දානයක් පිරිනමනවා නම් එය දවල් දානයක්ම විය යුතු නැහැ. හීල් දානය වුණත් සග සතු කොට පූජා කරන්න පුළුවනි.
රුහුණු මාගම් පත්තුවේ
ප්‍රධාන අධිකරණ සංඝනායක
ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ
ශ්‍රි අභිනවාරාමය, කතරගම
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️