පිළිකා කියල කියන්නේ ඉතා දරුණු රෝග සමූහයක එකතුවක්. පිළිකා වර්ග 200 කට වඩා වැඩි ප්‍රමාණයක් දැනටමත් හඳුනාගෙන තිබෙනවා. අතීතය හා සසඳන විට දෛනිකව අලුතින් හඳුනාගන්නා පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය කාලයත් සමග සීඝ්රයෙන් වැඩි වෙනවා. දැනට ශ්රීි ලංකාවේ පිළිකා පිළිබඳ නිවැරදි දත්ත ලබාදෙන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ තිබෙන ජාතික පිළිකා මර්ධන ව්‍යාපාරයයි. 2021 වසරට අදාළ දත්ත අනුව ශ්රීි ලංකාව තුළ දිනකට පිළිකා රෝගීන් 103 දෙනෙකු අලුතින් හඳුනාගන්නවා. ඒ අනුව ඒ වසර තුළ අලුතින් හඳුනාගත් සම්පූර්ණ පිළිකා රෝගීන් ප්‍රමාණය 37,753 ක් වෙනවා. ඉන් 20,171ක් ම කාන්තාවන් වන අතර 17,582ක් පිරිමි පිළිකා රෝගීන්. විද්‍යාව හා තාක්ෂණය මෙතරම් දියුණු තත්ත්වයක තිබිලත් පිළිකා රෝගීන් එන්න එන්නම වැඩි වෙන්නේ ඇයි?
එයට ප්‍රධාන හේතුව ඔබට අදහා ගන්නවත් බැරි එකක්. ලංකාවේ විතරක් නොව ලෝකයේ සෑම රටකම පිළිකා රෝගීන් දිනෙන් දිනම වැඩිවීමට හේතුව තමයි මිනිසුන් ජීවත්වන කාලය වැඩිවීම. මේ නිසා තමයි එංගලන්තය, ඇමරිකාව වැනි ලෝකයේ දියුණු රටවල පිළිකා රෝගීන් අපේ රටටත් වඩා වැඩිපුර හමුවන්නේ. ඇත්තටම මේකට හේතුව කුමක්ද? මිනිසකු ජීවත්වන කාලය වැඩි වනවිට එම පුද්ගලයා තම අභ්‍යන්තර පරිසරය හා භාහිර පරිසරයේ ඇති පිළිකා කාරකවලට නිරාවරණය වන කාලය වැඩි වෙනවා. එවිට එම පිළිකා කාරකවල බලපෑම නිසා ඒ එක් එක් පුද්ගලයාගේ සජීවි සෛල තුළ ඇති DNA අනුවල පිළිකා ඇතිවීමට සමත් විකෘති ඇතිවීමේ හැකියාව වැඩිවෙනවා.
එවිට පිළිකා වැඩිපුර ඇතිවෙනවා. මේ නිසාම තමා කුඩා දරුවන්ට වඩා වැඩිහිටි අයට වැඩිපුර පිළිකා ඇතිවෙන්නේ. මෙය තව දුරටත් පැහැදිලි කරගැනීමට 2021 වසරට අදාළ පිළිකා දත්ත විශ්ලේෂණය කර බලමු. ඒ අනුව වයස අවුරුදු 19 ට අඩු පිළිකා රෝගීන් 1032 ක් 2021 වසර තුළ අලුතින් හඳුනාගන්නා විට එම වසර තුළ වයස අවුරුදු 50 ට වැඩි අලුතින් හඳුනාගත් පිළිකා රෝගීන් ප්‍රමාණය 29,068 ක ප්‍රමාණයක්.
පිළිකා අවදානම වැඩිවීමට වයස කොපමණ බලපෑමක් ඇති කරන්නේද යන්න මෙයින් හොඳ හැටි වැටහෙනවා ඇති. පිළිකා ඇතිවන්නේ සජීවි සෛල තුළ සිදුවන ජාන විකෘති නිසා බව දැනටමත් ඔබ හොඳින් දන්නා කාරණයක්. මෙම පිළිකා සෑදීමට සමත් විකෘතිතා ක්‍රම දෙකකට උරුම වන්නට පුළුවන්. එක් ක්‍රමයක් වන්නේ තම දෙමව්පියන්ගෙන් උරුම වන පිළිකා සෑදීමට සමත් විකෘති නිසා පරම්පරාගත පිළිකා ඇතිවීම. මේ ආකාරයට ඇතිවන්නේ 10% ක් තරම් පිළිකා ප්‍රමාණයක්. ඉතිරි 90% ක් පමණ වන පිළිකා ප්‍රමාණයම ඇතිවන්නේ තමා මව්කුස පිළිසිඳ ගත් දා සිට මරණය දක්වා තමන්ගේ සජීවි සෛල තුළ හටගන්නා පිළිකා සෑදීමට සමත් විකෘති නිසායි.
කෙසේ නමුත් මෙසේ හටගන්නා පිළිකා සෑදීමට සමත් විකෘති සෑම එකකටම පිළිකා සෑදීමට ඉඩ ලබා දෙන්නේද නැහැ. අප සිරුර තුළම ඊට විරුද්ධ ආරක්ෂණ ක්‍රමවේදයක් පවතිනවා. පිළිකා සෑදීම වළකාලන මෙවැනි විකෘති හඳුනාගෙන ඒවා නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට හෝ එසේ කිරීමට අපහසු අවස්ථාවලදී එම විකෘති සහිත සෛල “සිය දිවි නසා ගැනීමකට” ලක්කර සිරුරෙන් ඉවත් කිරීමට ක්‍රමවේදයන් රැසක් අප සතු වෙනවා. නමුත් වයස්ගත වන විට ක්‍රමයෙන් මේ ක්‍රමවේදයන් දුර්වල වන අතර ඒ නිසාම වයසට යන විට පිළිකා ඇතිවීම බහුලව දක්නට ලැබෙනවා.
ඇතැම් පාරිසරික කාරකයන් ඉහත ආකාරයට පිළිකා සෑදීමට සමත් විකෘති වැඩිපුර ඇතිකිරීම උත්තේජනනය කිරීමට සමත් වෙනවා. මිනිස් සිරුරේ අභ්‍යන්තර පරිසරයේ ඇති මෙවැනි පිළිකා කාරකයන් ලෙස ඇතැම් හෝර්මෝනවල අධි ක්‍රියාකාරීත්වය සහ ඇතැම් ජීරණ එන්සයිමයන් දක්වන්නට පුළුවන්. කාන්තාවන්ගේ පියයුරු, ඊස්ට්‍රජන් හෝර්මෝනයට නිරතුරුව නිරාවරණය වීමෙන් පියයුරු පිළිකා අවදානම වැඩිවීමත්, ආහාර ජීරණ පද්ධතියේ පිතෙහි ඇති ඇතැම් ජීරක එන්සයිම දීර්ඝ කාලයක් ආහාර
මාර්ගයේ බිත්තිය මත කෙලින්ම ක්‍රියාකිරීම නිසා බඩවැලේ පිළිකා ඇතිවීම මීට උදාහරණ ලෙස දැක්වීමට පුළුවන්.
බාහිර පරිසරයේ සාධක රැසක්ද මිනිස් සිරුරේ පිළිකා අවදානම වැඩිකිරීමට සමත් වෙනවා. මේ අතර ඕනෑම ආකාරයක දුම්කොළ භාවිතය, මත්පැන් භාවිතය හා බුලත්විට කෑම දක්වන්නට පුළුවන්.
දුම්වැටි, මත්පැන් හෝ බුලත් විට මිනිස් සමාජය පරිභෝජනය කරන්නේ තම කුසගින්න නිවා ගැනීමට නොවේ.
මේ සියල්ලම මිනිස් සමාජයේ කරුමයකට සමාජගත වූ පහත් පුරුදු ලෙස සඳහන් කරන්නට පුළුවන්. මේවා නිසා ඇතිවන පිළිකා ප්‍රමාණය අති විශාල අගයක් ගන්නවා. හිස හා බෙල්ල ආශ්රිත පිළිකා, ගලනාලයේ සහ ග්රසනිකාවේ පිළිකා, ස්වසන මාර්ගයේ සහ පෙනහලුවල පිළිකා, අක්මාවේ පිළිකා, මුත්‍රාශයේ පිළිකා මින් ප්‍රධාන තැනක් ගන්නවා.
නරක ආහාර පුරුදුද පිළිකා ඇතිකිරීමට සමත් වනවා. කල් තබාගැනීම සහ ඉක්මණින් පිළියෙළ කිරීම සඳහා සකස් කරන ලද ක්ෂණික ආහාර, එකම තෙල් ප්‍රමාණය නැවත නැවතත් ආහාර බැදීම සඳහා යොදාගැනීම පිළිකාවලට අත වැනීමක්.
බොහෝ වේලාවක් දැඩි හිරු රශ්මියට කෙලින්ම නිරාවරණය වී සිටීමෙන් සමේ පිළිකා ඇතිවීමේ අවදානමක් තිබෙනවා. මෙය වැඩිපුරම ඇත්තේ සුදු හමක් ඇති අයටයි. දුඹුරු හෝ කළු හමක් ඇති අයගේ හමේ ඇති සෛලවල මෙලනින් මගින් ඉහත අවදානම අඩු කරනවා. ඒ නිසා සම සුදු කරගන්න දඟලන එකත් ඒ තරම් හොඳ වැඩක් නොවෙයි.
ඇතැම් අයගේ වෘත්තියේ ස්වභාවය නිසාද ඇතැම් පිළිකා කාරකවලට වැඩිපුර නිරාවරණය වීම සිදුවනවා. ඇස්බැස්ටෝස් ආශ්රිත කර්මාන්තවල දීර්ඝ කාලයක් යෙදුණු අය ආරක්ෂිත ආවරණ පැළඳුවේ නැත්නම් ඔවුන්ටද ඇතැම් පිළිකා ඇතිවීමට වැඩි අවදානමක් තිබෙනවා. නොයෙකුත් රසායනික ද්‍රව්‍ය ආශ්රිත කර්මාන්තවල යෙදෙන අය එම අනාරක්ෂිත රැකියා කිරීමේදී මේ පිළිකා ඇති වීමේ අවදානමට ලක්වෙනවා.
ඇතැම් අය අනවශ්‍ය ලෙස විකිරණවලට නිරාවරණය වීම සිදුවනවා. උදාහරණ ලෙස අනවශ්‍ය ලෙස ‘CT ස්කෑන්’ පරීක්ෂණ සහ ‘X-ray’ පරීක්ෂණවලට ලක්වීම පිළිකා අවදානම වැඩි කරනවා. මේ නිසා තමයි ඔබේ වෛද්‍යවරයා එවැනි පරීක්ෂණ නියම කිරීමේදී එහි ඇති වාසි හා අවාසි මැනවින් විශ්ලේෂණය කර ඒවා නියම කිරීම සිදු කරන්නේ.
ඇතැම් ආසාදන නිසාත් පිළිකා ඇති වන්න පුළුවන්. HPV වෛරසයේ ඇතැම් ප්‍රභේද මගින් ගැබ්ගෙල පිළිකා ඇතිකරනවා. මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන වෛරසයක්. මෙම වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ඇතිකරන ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමෙන් මෙම පිළිකාව වළක්වා ගන්න පුළුවන්. ඇතැම් අක්මා පිළිකා ඇතිවන්නේ හෙපටයිටිස් –B වෛරසය අසාදනය නිසා පසුකාලීනව ඇතිවන සිරෝසිස් තත්ත්වය හේතුවෙන්.
එබැවින් එම වෛරස ආසාදනයට එරෙහි හෙපටයිටිස් –B ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීමෙන් එම පිළිකා අවධානමද වළක්වා ගන්න පුළුවන්.අධික ස්ථුලතාව හෙවත් තරබාරුකමත් පිළිකා අවදානම වැඩි කරනවා. ඒ නිසා නිතර ව්‍යායාමවල යෙදීම මගින් උසට සරිලන ශරීර බරක් පවත්වා ගැනීම ඇතැම් පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරගන්න හොඳ ක්‍රමයක් වෙනවා.
පිළිකාවලට එරෙහි සටනේදී පිළිකා ප්‍රතිකාර නිවැරදිව කරගැනීමට හිමිවන්නේ විශේෂ තැනක්. ශ්‍රී ලංකාව තවමත් දිළිඳු රටක් වන නිසා අප රට තුළ සෑම පිළිකා රෝගියෙකුටම එක සමාන ලෙස ගුණාත්මක පිළිකා ප්‍රතිකාර ලැබෙන්නේ නෑ. එසේ කිරීම අපහසු වන්නට නොයෙකුත් හේතු තිබෙනවා. අද ශ්රීි ලංකාව තුළ පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට සිටින්නේ ඉතා සුළු පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණයක්. විද්වතුන්ගේ ගණනය කිරීම්වලට අනුව වසරකට අලුතින් හඳුනාගන්නා සෑම පිළිකා රෝගීන් 300 කටම එක් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයකු සිටිය යුතු වෙනවා.
ඒ අනුව 2021 වසරේදී අඩුම තරමින් ශ්රීි ලංකව තුළ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් 126 දෙනෙකුවත් සක්‍රිය සේවයේ සිටිය යුතු වෙනවා. ඇතැම් විට ක්ෂෙත්රය තුළ ඇතැම් අයගේ වැරදි තීරණ නිසාත් මේ ඉලක්ක ළගා කරගැනීම අපහසු වෙනවා. ශ්රීි ලංකාව තුළ සිටිය යුතු පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු ගණන තීරණය කිරීමේදී බොහෝ විට සැලකිල්ලට ගනු ලබන්නේ රෝහල්වල තිබෙන පිළිකා වාට්ටු ගණන හෝ පිළිකා වාට්ටුවල තිබෙන ඇඳන් ගණන වීමත් මීට ප්‍රධාන හේතුවක් වෙනවා.
සත්‍ය වශයෙන්ම සැලකිය යුතු වන්නේ සිටින්නා වූ පිළිකා රෝගීන්ගේ ප්‍රමාණයයි. එක් පිළිකා සායනයක් සඳහා රෝගීන් 300-500 ත් අතර ප්‍රමාණයක් දිනකට පැමිණි විට එක් විශේෂඥ වෛද්‍යවරයෙකුට ඔවුන් සඳහා ගුණාත්මක සේවයක් ලබා දීම කොතරම් අපහසුදැයි අමුතුවෙන් කිව යුතු නෑ.
පිළිකා ප්‍රතිකාරයේ ඉතාම වැදගත් ප්‍රතිකාර ක්‍රමවේදයක් වනුයේ විකිරණ ප්‍රතිකාරයයි. මෙය ඉතා සාර්ථක ලෙස ලබාදීම සඳහා ලෝකයේ දියුණු මෙන්ම නොදියුණු රටවල් භාවිත කරන්නේ “ලීනියර් ඇක්සලරේට” වර්ගයේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයි. ගණන් බැලීම අනුව ශ්රීි ලංකාව තුළ එවැනි මාදිලියේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර අඩුම තරමින් 22 ක් වත් තිබිය යුතු වෙනවා. දැනට ශ්‍රී ලංකාව තුළ තිබෙන්නේ කොතරම් අඩු විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර ප්‍රමාණයක් දැයි ඔබටම ගණන් කර බලාගත හැකියි. යන්ත්‍ර පමණක් නොව මේ සඳහා අවශ්‍ය කරන මානව සම්පත්ද ඊට සමාන්තරව සපයාගත යුතු වෙනවා.
පිළිකා රෝගීන් දිනෙන් දිනම වැඩි වෙන නිසාත්, එමගින් සමාජයට ඇතිවන බලපෑමද සුළුපටු නොවන නිසාත් පිළිකා මර්ධනය සඳහා ක්රමානුකූල සැලැස්මක් සහ ප්‍රායෝගික ක්‍රියාවලියක් අප සතු විය යුතු වෙනවා. සුබවාදී අනාගතයක සේයාවක් දැන් මතු වී ඇති බැවින් පිළිකා රෝගීන්ට යම් බලාපොරොත්තුවක් තබාගත හැකියි.

හරින්දී ලියනගේ ✍️