“ආදරේට මොනවද ඕනෙ” මම මෙහෙම අහනකං ආදරේට මොනවද ඕනේ කියලා ඔයාල කවුරු හරි කල්පනා කරලා බැලුවද? “ඇත්තටම අවංකවම ඔයාලගේ හිතට දැනෙන විදිහට ආදරේ කරන්න මොනවද ඕනේ” කෙනෙක් කියයි ආදරය කරන්න සල්ලි ඕනි කියලා. තවත් කෙනෙක් කියයි ආදරේ කරන්න දෙන්නගේ අදහස් ගැළපෙන්න ඕනේ කියලා. මේ අතරේ අර සම්ප්රදායක රාමුවේ ඉඳගෙන වයස, කුලය, ආගම, ජාතිය ගැළපෙන්න ඕන කියන අයත් නැති වෙන්න බැහැ.පොඩ්ඩක් මේ කතාව අහන්න. එයාලා අවුරුදු තිස් ගණන් ආදරෙන් බැඳිලා ඉන්නේ අපි හිතපු මොනව තිබිලද? එක්කො වැලන්ටයින් දවසට මල් දීලද? චෙක්ලට් දීලද? එහෙමත් නැත්නම් ගිෆ්ට්ස් දීලද? මේ මොනවා නැති වුණත් ආටිෆිෂල් ආදර කතාවලට වඩා ජීවන අරගලයක් මැද්දේ කාටවත් නොකියන ආදරයක් එයාලගේ ජීවිතවල තියෙනවා…
කුමාරි කියන්න බලන්න කොහොමද ඔයාලගේ ආදර කතාව පටන්ගත්තේ?
මාමාගේ මළගෙදරදී තමයි මට මෙයාව හම්බවුණේ. එදා කතාබහ කරල අඳුනගත්තා. ඊටපස්සේ ගෙවල්වල ප්රශ්නත් එක්ක අපි දෙන්න ආදරේ වෙනුවෙන් පැනල ගියා.
එතකොට කියන්නකෝ විවාහ වෙලා දැන් අවුරුදු කීයද?
විවාහ වෙලා අවුරුදු 23 ක්.
දරුවෝ එහෙමත් ඇති නේද?
අපට දුවල හතර දෙනෙක් ඉන්නවා. ලොකු දුවට අවුරුදු 26 යි. බාළයට අවුරුදු 22 යි.
දුවල හතරදෙනා මොනවද කරන්නේ
දුවල හතරදෙනාම දැන් බැඳලා. බාලම දුවට තාම දරුවො නැහැ. අනික් දුවල තුන්දෙනාටම දරුවෝ ඉන්නවා.
දෙන්නම රස්සාව කරන්න පටන් අරන් කොච්චර කාලයක්ද?
මම අවුරුදු තුනක් වෙනවා. මහත්තයා අවුරුදු දෙක හමාරක් වෙනවා. අපේ ගම මොරටුව. ගමේ අය මේ රස්සාවට එන නිසා ඒ අයගෙන් අහලා දැනගෙන තමයි අපි දෙන්නත් මෙතනට ආවේ.

අපිත් එක්ක වැඩ කරන අය එකතුයි. අපිට ඉහළ නිළධාරින් ගොඩක් උදව් කරනවා. කාටවත් කරදරයක් නැතිව රස්සාව කරගෙන යනවා. වැල්ලවත්තෙ අලඔලවත්තේ තමයි අපි දෙන්නා වැඩ කරන්නේ.
චමිල කියන්න බලන්න කොහොමද ඔය දෙන්නගේ ආදරේට ආපු බාධකවලට මුහුණ දුන්නේ කියලා?
ප්රශ්න කියන දේ අපි හැමෝගෙම ජීවිතවලට එනවනේ. එදත් අපි ආපූ ප්රශ්නවලට කලබල නොවී දෙන්නත් එක්කම කතාබහ කරල මුහුණ දුන්නා. ඒ වෙලාවේ ගන්න තිබුණු හොඳම තීරණය ගත්තා.
අදත් අපේ ජීවිතවල ප්රශ්න තියෙනවා. පොඩි පොඩි රණ්ඩු තියෙනවා. ඒවා ගහ මරාගෙන විසදගන්න අපි යන්නේ නැහැ. හැම ප්රශ්නෙකටම විසදුම කතාබහ තුළ තියෙන බව මම දන්නවා. ඒ නිසා වෙන්න ඇති අදටත් අපි දෙන්නා එදා වගේම ආදරෙන් ඉන්නේ.

සුනාමි, කොවිඩ් අර්බුද එක්ක කොහොමද ජීවිතවලට ඔයාලා මුහුණ දුන්නේ?
මම අවුරුදු 48 ක් ජීවත් වුණු පිරිමියෙක් විදිහට ඒ ප්රශ්න හැම එකකටම මුහුණ දුන්නා. ඒ කාලේ කිසිම දෙයක් අපි කවුරුවත් කරයි කියලා බලාගෙන හිටියෙ නැහැ. අපිට පුළුවන් විදියට ජීවිතයේ අමාරු කාලවල ගැටගහ ගත්තා. අපි හිටියේ සුනාමි කඳවුරුවල නෙවෙයි. ඒ නිසා සුනාමි සහනාධාර අපට හම්බවුණේ නැහැ. සුනාමිවලින් පස්සෙ කැඩිච්ච ගේ ලෑලි ගහලම ආයේ හදාගත්තා. එහෙම හදාගත්ත ගෙදරත් පොඩි දුවට දීලා අපි දෙන්න දැන් වැල්ලවත්තේ කුලියට කාමරයක සතුටින් ජීවත් වෙනවා.
චමිලට අද ජීවිතේ කොහොමද දැනෙන්නේ?
දැන් හරිම සතුටින් අපි ඉන්නවා. කිසිම ප්රශ්නයක් නැහැ. යාළුවෙලා ඉන්නකාලේ ඉඳන් අද වෙනකම් අපි අතරේ ලොකු ලොකු ප්රශ්න නම් තිබුණේ නැහැ. අපි දෙන්න එක්ක ෆිල්ම් බලන්න ගියා. දැන් නම් එහෙම යන්න බැහැ. ඒවට සල්ලි නැහැ. නෝනා උයන කෑම කාලා මම හොඳින් ඉන්නවා. අපිට දැන් තියෙන ලොකුම වගකීම දරුවන්ගේ දරුවොත් බලාගන්න එක. අපි දෙන්නා මේ රස්සාවෙන් දරුවන්ටත් උදව් කරනවා.
ඔයාලා කියන්නකෝ විවාහයෙන් පස්සෙත් ආදරෙන් ඉන්න පුළුවන්ද මිනිස්සුන්ට?
ආදරේ හරි සුන්දරයි. එදා වගේම අදත් අපි දෙන්නා සතුටෙන් ඉන්නෙ ආදරේ නිසාම තමයි. අපි දෙන්නගේ ශක්තිය අපි දෙන්නම තමයි. අපි දරුවන්ට බරක් නොවෙන දෙමව්පියන් වුණේ ඒ නිසාමයි.
සුදර්ශනී – සරත් කොහොමද ඔයාලගේ ආදර කතාව පටන් ගත්තේ?
මොරටු වත්තේ අපි හිටියේ. ජනජය විද්යාලෙට තමයි අපි ඉස්කෝලේ ගියේ. ඒ කාලේ අපි දෙන්න යාළු වුණා. ගෙවල්වලින් අපේ සම්බන්දෙට අකැමති වුණා. කැමැත්ත දෙන පාටක් තිබුණේ නැති නිසා පස්සේ අපි දෙන්න පැනල ඇවිත් බැන්දා.
සුදර්ශනී දැන් ඔයාලට ළමයි කීදෙනෙක් ඉන්නවද?
දුවල තුන්දෙනෙකුයි පුතෙකුයි ඉන්නවා. ලොකු දුවට අවුරුදු 30 ක් වෙනවා. දෙවෙනි දුවට අවුරුදු 25 ක්. තුන්වෙනි දුවට අවුරුදු 20 යි. පොඩි පුතාට අවුරුදු 14 යි.

දැන් ළමයි විවාහ වෙලාද ඉන්නේ?
දරුවො දෙන්නෙක් විවාහ වෙලා ඉන්නේ. ලොකු දුව තාම විවාහ වෙලා නැහැ. එයා ලබන මැයිවල විවාහ වෙනවා.
ඔයාට කොහොමද ජීවිතේ දැනෙන්නෙ?
ජීවිතේ ගලාගෙන යනවා. මේ රස්සාව පටන් අරන් මම අවුරුදු දොළහක් වෙනවා. රස්සාවත් කරගෙන මහත්තයත් එක්ක කාටවත් කරදරයක් නොවී ජීවත් වෙනවා.
සරත් කොහොමද ජීවිතය?
මම කලින් වඩුවෙක්. කොරෝනා කාලේ මට වඩු වැඩ නැති වුණා. ඒ නිසා නෝනා කරන රස්සාවටම ආවා. දැන් මමත් අවුරුදු පහක් රස්සාව කරනවා. ඒ නිසා ජීවිතය ගෙවීගෙන යනවා.
සරත් කොහෙද වැඩ කරන්නේ?
වැල්ලවත්තේ ඩිපෝ එකේ තමයි අපි දෙන්නම ක්ලීනින් වැඩ කරන්නේ. උදේ පහ වෙද්දී වැඩට එනවා. හවස පහයි කාලට වගේ ගෙදර යනවා.
ජීවන අරගලේට මුහුණ දෙන්නෙ කොහොමද?
ඒ ප්රශ්නෙට උත්තර දෙන්න ඕනේ නෝනා තමයි. අපේ ළඟ කඩේකින් මාසේ අන්තිමට සල්ලි දෙන්න ගෙදරට බඩු ණයට අරගන්නවා. පුතා තාම ඉගෙන ගන්නවානේ.ඒ නිසා පුතාගෙ පන්ති ගාස්තු වියදම් බලන්නත් ඕන. ලයිට් බිල්, වතුර බිල්, ෆෝන් බිල් ගෙවන්නත් ඕන. මේ හැමදෙයක්ම කරන්නේ මාසේ අන්තිමට ලැබෙන පඩියෙන්.
දරුවන්ගෙන් ප්රශ්නයක් නැද්ද අම්මයි තාත්තයි මේ රස්සාව කරනවට?
අපි දෙන්නටම එහෙම ප්රශ්න නැහැ. දරුවො විවාහ වෙලා ඉන්න නිසා එයාලට බලාගන්න දැන් වෙනම පවුල් තියෙනවා. දරුවන්ට බරක් නොවී ජීවත් වෙන්න අපි දෙන්නම කැමතියි. ඒ නිසා පුළුවන් තරම් කාලයක් මේ රස්සාව කරගෙන අපි ජීවත් වෙනවා.
සුදර්ශනී ජීවිතයේ මොනවගේ අභියා්ගවලටද මුහුණ දුන්නේ ?
ප්රශ්න නැති ජීවිතයක් නැහැනේ. අපටත් දරුවන්ගේ ප්රශ්න එනවා, පවුලේ ප්රශ්න එනවා. මම රණ්ඩුවට බර කෙනෙක් නෙවෙයි. ඒ නිසා ප්රශ්න ආවම ඉවසීමෙන් කතා බහ කරල විසඳගන්නවා.
අපි බැදලා අවුරුදු 31 ක්. මේ අවුරුදු 31 ට උඹ බං කියල, කුණුහරුප කියලා අපි බැනගෙන නැහැ. ලොකු මන්දිරවලට වඩා අපි සතුටින් ඉන්නවා. මහත්තයට තරහ ගියත් මගේ ඉවසීම නිසා හැමදෙයක්ම නිවිලා යනවා.
අද ඉන්න ආදරවන්තයන්ට ලොකු ආදර්ශයක් නේද ඔබ වැනි අයත් ආදරෙන් ඉන්න එකම?
ඔව් ඇත්තටම. අදරේදී ඉවසීම ඕනේ. සල්ලිවලට ඒවා ගන්න බැහැ. අපි සතුටෙන් හිටියොත් අපේ දරුවොත් සතුටෙන් පවුල් කනවා. අපේ දරුවෝ පොඩි කාලෙ ඉඳන්ම දැක්කේ නෝනයි මායි ඉන්න විදිහ තමයි. ඒ නිසා කවදාවත් වැරදි මඟකට එයාලා යොමු නොවෙයි කියලා හිතනවා.
හරින්දී ලියනගේ ✍️