රාම රාවණා ජනස්‍රැතියේ සඳහන් පරිදි හනුමාන්තා රටට ගිනි තැබුවේය. එයින් අනාදිමත් කාලයක් ගතවී ඇතත් නැවතත් රිලා පෝතකයකු කරළියට පැමිණ සමස්ත රාජ්‍යයේම ආර්ථිකයට දැන් ගිනි තබා ඇත. දහ වැනිදා සිට මේ ලියන මොහොත දක්වා රටේ අඛණ්ඩව ලබාදුන් විදුලිය වරින් වර විසන්ධිකරමින් රටේ ජනතාවට ලබා දෙන්නට වන තත්ත්වයකට පත්වීම රජය මීට වඩා බරපතලව සිතිය යුතු නොවන්නේද? එසේ බලන කළ පානදුර උප විදුලි පොළක සිටි මෙම රිලා පෝතකයා එසේ මෙසේ බඩුවක් ලෙස හැඳින්විය හැකිය.
විදුලි බල අමාත්‍යවරයා පසුගිය 10 වැනිදා රටේම විදුලිය විසන්ධි වීමට හේතුව ලෙස කිව්වේ රිලා පෝතකයා ගැනය. ඊට පැය කිහිපයකට පසු ඔහුම එම කටින්ම කිව්වේ රටේ මෙතෙක් පැවති ආණ්ඩු විදුලි බලය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය තුළ කර ඇති අඩුපාඩු නිසා මෙවැනි දෙයක් රටට සිදුවී ඇති බවය.
මේ කතා සියල්ල ඇසීමෙන් මහජනයා ලෙස අපට දැනෙන්නේ අපි මේ සිටින්නේ සෙල්ලම් ලන්තයක දැයි කියාය. රටක සමස්ත විදුලි පද්ධතිය බිඳ දමන්නට රිලවකු සමත් වේ නම් මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ජනතාවට ඇතිවන හැඟීම කේබදු විය හැකිද ? රටේ ජාතික ආරක්ෂාව රට කර වූ ආණ්ඩුව අතින් බල්ලට ගිය කල රටේ ඇති ඇති වූ ඛේදවාචකයේ දරුණුකම මෙන්ම එයට බිලි වූ ජීවිතවල ඛේදනීය තත්ත්වය තවමත් පහව ගොස් නැත.
ලෝකයේම දරනු ත්‍රස්තවාදී සංවිධාන කිහිපයක් හිස ඔසවමින් ඒවා යුද්ධ තත්ත්ව දක්වා ලෝකයේ තැනින් තැන වර්ධනය වී ඇති අවධියක මේ පුංචි මුතු ඇටයේ ජීවත්වන ජනතවගේ ආරක්ෂාව ගැනත් රටේ අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු කර්මාන්ත ගැනත් මීට වඩා වැඩියෙන් රටේ ආණ්ඩු බලය හිමි අය සිතිය යුතුය.
දැන්වත් එක එක ආණ්ඩුවලට එක එක පක්ෂවලට එක එක පුද්ගලයන්ගෙන් රටේ ඇතිවන ප්‍රශ්න සම්බන්ධයෙන් බෝල පාස් නොකොට තුනෙන් දෙකකටත් වඩා වැඩි ජන වරමක් හිමිව ඇති ආණ්ඩුවක් ලෙස මීට වඩා වගකීමෙන් ජනතාවට සුබවාදීව සේවාවක් ක්‍රියාත්මක නොවන්නේ නම් රට නැවතත් අකර්මණ්‍යතාවයට පත්වීම නුදුරේදීම වනු ඇත.
දැන් ජනතාවට අවශ්‍ය වී ඇත්තේ ෆයිල් පිළිබඳව කතා කරන දූෂිතයන් පිළිබඳව කයිය ගසන ආණ්ඩුවක් නොව වැඩ කිඩ පෙන්වන ආණ්ඩුවක් පමණක් බව අමතක කළ යුතු නැත.