උපතේ සිට මරණය දක්වා වූ අපේ ජීවිත කාලය ඉතාම කෙටියි. මේ කාලයේදී අපි මුලින්ම පවුල සමග බැඳීම් ගොඩ නගා ගන්නවා. බැඳීම් නිසා රිදීම් ඇතිවන බව ඇත්ත. නමුත් අපට නොබැඳී සිටින්න අපහසුයි.
දරුවෙක් විදිහට අපි මව්පියන්ට බැඳෙනවා. මව්පියන් අපට බැඳෙනවා. සැමියා බිරිඳට… ඒ වගේම බිරිඳ සැමියාට බැඳෙනවා. එතැනින් පසුව අපි සමාජය සමග බැඳීම් ගොඩ නගා ගන්නවා. ගුරු, ශිෂ්‍ය, ස්වාමි, සේවක වගේම දැසි දස් ආදි විදිහට සමාජ බැඳීම් ගොඩ නැගෙනවා. මේ සියල්ල අපට නොසලකා සිටින්න බැහැ. නමුත් මේ බැඳීම් සමග අපි අවබෝධයෙන් කටයුතු කිරීම ඉතාම වැදගත්.
දීඝ නිකායේ සිගාල සුත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බැඳීම් සමග අවබෝධයෙන් කටයුතු කරන ආකාරය ගැන අපට කියා දෙනවා. මේ සෑම සම්බන්ධතාවයක්ම යුතුකම් සහ වගකීම් මත රැඳී තිබෙනවා. සැබෑ බැඳීම ඇත්තේද එතැනයි. දෙමව්පියන් ලෙසින් දරුවන් ලොවට බිහි කළත්. දරුවන්ගේ පැවැත්මට දායක වුණත් අන්‍යෝන්‍ය වශයෙන් යුතුකම් සහ වගකීම් දෙපාර්ශවයටම ඉෂ්ට වෙනවා නම් එතැන සැබෑම බැඳීමක් තිබෙනවා.
අපේ බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය වෙනුවෙන් කල්ප ගණනාවක් පෙරුම් පිරුවා. බොහෝ දේ අත්හැරියා. නමුත් කිසිම තැනක දෙමව්පියන් වෙනුවෙන් කළ යුතුව තිබුණ යුතුකම් අතපසු කළේ නැහැ. මාතුපෝසක ජාතයේදී මව කර මත තබා ගෙන සමුදුර තරණය කළා. සාම ජාතයේදී අන්ධ මව්පියන් පෝෂණය කළා. මේ කිසිම තැනක මව්පියන් වෙනුවෙන් වූ යුතුකම් අතපසු කළේ නැහැ.
ගිහියෙකුව සිටිනවා නම් බැඳීම් අතපසු කරන්න බැහැ…
මව්පියන් විදිහට දරුවන්ටත්, දරුවන් විදිහට මව්පියන්ටත් කළ යුතු යුතුකම් සහ වගකීම් ඉෂ්ට කරනවා නම් සමාජ සම්බන්ධතාවයන් ඉතාම හොඳින් පවත්වා ගන්න පුළුවනි. මෑතකදී මට එක්තරා කාන්තාවක් ගැන අසන්නට ලැබුණා. ඇය තමන් සෝවාන් යැයි සිතා ගෙන දරුවන් වෙනුවෙන් ඇගෙන් විය යුතු යුතුකම් මග හරිනවා. මම සෝවාන්… මගෙන් වැඩ ගැනීම පව් සිදු වෙනවා යැයි… ඇය කියා සිටිනවා. මෙවැනි දුර්මත පිහිටා කටයුතු කිරීම සුදුසු නැහැ.
බැඳීම් වෙනුවෙන් ආකල්ප බලපානවා…
යම් පුද්ගලයෙකුගේ බැඳීම් ශක්තිමත් වීමට නම් ආකල්ප තදින්ම බලපානවා. සමහර විට ඔබ ඇසුරු කරන අය සමග පැවැති බැඳීම් බිඳ වැටෙනවා. එයින් ඔබ සිත් වේදනාවට පත් වෙනවා. බැඳීම් බිඳුන විට රිදීම් ඇති වෙනවා. ඒ නිසා විශේෂයෙන් සමාජ සම්බන්ධතාවයන්හිදී යහපත් ආකල්ප ඉතාම වැදගත්. ඒ වෙනුවෙන් විශ්වාසය ගොඩනගාගැනීම වැදගත්.
විශ්වාසය පැවැති හිතක් බිඳුන විට එය නැවත ගොඩ නගා ගැනීම අපහසුයි. උදාහරණයක් ලෙස සඳහන් කරනවා නම් බිඳුන බඳුනක කොටස් නැවත එකලස් කිරීමට අපහසුයි. එකලස් කළද එය පැවැති භාජනය මෙන් අලංකාර නැත. කැඩුන, බිඳුන කඩතොළු සහිතය. විශ්වාසය බිඳුන බැඳීමක්ද එයට සමාන බැව් සඳහන් කළ යුතු වෙනවා.
විවාහ සංස්ථාව තුළ බැඳීම්…
විවාහය යනු පුද්ගලයෙකුගේ දෙවැනි උපතයි. වවිාහයකින් පසුව ඔබ සමාජ මට්ටම් කිහිපයක් සමග බැඳීම් ගොඩනගා ගන්නවා. නමුත් අද බොහෝ විවාහ සංස්ථාවන් දික්කසාදයෙන් කෙළවර තැනට පත්ව තිබෙනවා. මේ අන්දමින් බැඳීම් ගිලිහෙනන්ට විහේෂ හේතුව ඔවුනොවුන් අතර විශ්වාසය බිඳ වැටීමයි. දවසක් නකුල පිතා බුදුරජාණන්වහන්සේට මෙසේ සඳහන් කරනවා. මම නකුල මාතා හඳුනාගත් දිනයේ සිට වෙනවත් කාන්තාවක් ගැන සිතුවේ නැහැ. එවිට නකුල මාතා මෙසේ සඳහන් කරනවා.
මම නකුල පිතා හඳුනාගත් දිනයේ පටන් වෙනත් පිරිමියෙකු පිළිබඳව සිතුවේ නැහැ. අප දෙදෙනාගේ බැඳීම් ඒ තරමටම ප්‍රබලයි. මතු සංසාරයේදීත් අප දෙදෙනාට එකට එක්ව ඉපදීමට නොහැකිදැයි බුදුරජාණන්වහන්සේගෙන් විමසා සිටියා. එවිට බුදුරජාණන්වහන්සේ නකුල පිතාට අමතා මෙසේ සඳහන් කරනවා.ඔබ දෙදෙනා සංසාරගතව බැඳීම් ඇති කර ගැනීමට නම් පහත සඳහන් ගුණාංගයන්ගෙන් සමන්විත විය යුතුයි.
සම සද්ධා
සැමියා සහ බිරිඳ අතර බැඳීමක් ගොඩනැගෙන්නට නම් ඔවුනොවුන් අතර සද්ධාව සමානව පැවැතිය යුතුයි. විශ්වාසය සහ ගෞරවය සමග ඔවුනොවුන්ට සංග්‍රහ කළ යුතුය. විශ්වාසය නැති තැනක ගෞරවය නැත. ඒ වගේම ගෞරවය නැති තැනක විශ්වාසය නැත.
සම සීල
සැමියා සහ බිරිඳ අතර සදාචාරාත්මක පැවැත්ම සමානව පැවිතිය යුතුය. බිරිඳ සදාචාර වුවත් සැමියාගේ යහ පැවැත්මක් නැත්නම් එතැන බැඳීමක් නැත. ඒ වගේම සැමියා සදාචාරසම්පන්න වුවත්ද බිරිඳගේ පැවැත්ම අයහපත් නම් එතැන සම සීලයක් නැත. පවුලක් තුළ දෙවියෙක් දෙවගනක් සමග ජීවත් වීම ඉතාම වැදගත්.
සම චාග
පවුලක් තුළ ඔවුනොවුන් අතර පරිත්‍යාගශීලීත්වය සමානව පැවැතීම ඉතාම වැදගත්. සැමියා තම බිරිඳ, දරුවන් මුල් කර ගෙන මෙන්ම බිරිඳගේ සහ ලේ ඥාතීන් සම්බන්ධවත් චාග ගුණයෙන් කටයුතු කිරීම වැදගත්. බිරිඳගේ ප්‍රතිචාරත් ඒ අන්දමින් ගොඩනගා ගැනීම වැදගත්. අද බොහෝ පවුල් සංස්ථාවල ගැටීමට හේතු වන්නේද මේ විෂම පැවැත්ම බැව් කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුම වෙනවා. සැමියාගේ පවුල මුල් කර ගෙන ගොඩ නැගෙන අවතක්සේරුව. බිරිඳගේ සහලේ ඥාතීන් මුල් කර ගෙන අඩු වටිනාකම් ගොඩනගා ගැනීමකින් පවුලක යහපත් බැඳීම් ගොඩ නැගෙන්නේද නැත.
සම පඤ්ඤා
පවුලක අත්තිවාරම සැමියා සහ බිරිඳගේ අන්‍යෝන්‍ය පැවැත්මයි. මේ පැවැත්ම විශ්වාසයෙන් ගොඩනගා ගැනීමට නම් ප්‍රඥාවෙන් කටයුතු කිරීම ඉතාම වැදගත්. පවුල් සංස්ථාවක සහජීවනය වෙනුවෙන් බුද්ධිමත්ව කටයුතු කිරීම, තීන්දු තීරණ ගැනීමේ හැකියාව, දූරදර්ශි බව වැනි ගුණාංගයන්ගෙන් යුක්ත වීමත් ඉතා වැදගත්.
බැඳීම නිසා පව් කිරීම…
ඔබ තවත් අයෙකු වෙනුවෙන් කොතරම් බැඳීමක් තිබුනත්, එය මුල් කර ගෙන යම් අකුසලයක් කරන්නේ නම් එහි විපාක ඔබ කරා එනු ඇත. සමහර විට දරුවන්ට ඇති ආදරය නිසා තවත් දරුවෙකු ගැන ද්වේශයෙන් සිතනු ඇත.
ලෝභ, ද්වේශ සහ මෝහ යන අකුසල මූලයන් අද බොහෝ ගැටුම්වලට මුල් විය හැක’ එකිනෙකා අතර පවත්නා බැඳීම් නිසා ඔබට අකුසල සිත් පහළ විය හැක. ඒ වගේම මෙම අකසලයන් නිසා වූ විප්කත් ඔබ විසින්ම විඳින්නට සිදු වෙන බැව් අමතක නොකරන්න. ඒ නිසා බැඳීම් මුල් කර ගෙන තවත් අයෙකුට අනර්ථයක් වන පරිදි ඔබේ සිතුවිලි මෙහෙයවීමේ ආදීනව කවදා හෝ දිනක ඔබ කරාම එනු ඇත.
රාජකීය පණ්ඩිත
පූජ්‍ය කන්දේගෙදර
සෝභිත ස්වාමින්වහන්සේ
ජයසුමනාරාම පුරාණ විහාරය,
පුන්‍යා චාන්දනී ද සිල්වා