භාණ්ඩ හෝ සේවා සැපයුම් ජාලයක ප්‍රවර්ධනය සඳහා ප්‍රචාරණය ඉතාම වැදගත්. ඒ වෙනුවෙන් ව්‍යවසායකයන් විසින් විවිධ ක්රමෝපායන් අනුගමනය කරනවා. අද වනවිට මෙවැනි ප්‍රචාරණ මාධ්‍යන් ඉතා පුළුල් ලෙසින් භාවිත වෙනවා. ඒ වෙනුවෙන් ගමන් මලු, ටී ෂර්ට්, කුඩ වැනි විකල්ප දේවල් භාවිත කරනවා. මෙවැනි ප්‍රචාරණ කලාවක් තුළ ඇය අපූරු අන්දමින් අපේ රටේ ලෝක උරුමයක් විදේශිකයන්ට නිර්මාණශීලී අන්දමින් අලෙවි කරනවා. එහෙමනම් කලවාන පදිංචි ඉරේෂා සඳමාලිගේ මේ නිර්මාණශීලී ව්‍යවසායකත්වය ගැන ඇය කිව්වේ මෙහෙමයි. “ මම ඉරේෂා සඳමාලි. මගේ පදිංචිය කලවාන කුඩව කියන ගමේ. කුඩව සිංහරාජ වනාන්තරයට කිට්ටුයි. මම කලවාන ගාමිණී මධ්‍ය මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයටත් ගියා. 2022 දී උපාධියත් ගත්තා. හැබැයි දැන් මගේ ගමන වෙනස්.”
අපේ රටේ උපාධිධාරීන් රැකියාවන් හොයද්දී ඔබ මේ වගේ ව්‍යාපාරයකට යොමු වුණේ ඇයි…?
විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. පසුව මම විවාහ වුණා. උපාධිධාරීන්ට රැකියා දෙන කාලේ මගේ පුතා හුඟක් පුංචියි. ඒ නිසා මම රැකියාවක් ගැන හිතුවේ නැහැ.

මේ විදිහට ටී ෂර්ට් පින්තාරු කරන්න ඔබට හිතුණේ ?
මට චිත්‍ර අඳින්න පුළුවන් කියන දේ ගැන දැනගෙන හිටියේ නැහැ. 6 වසරේදී මම චිත්‍ර තරගයකින් දිනුවා. එතැනින් පසුව තමයි මමත් ඒ බව දැන ගත්තේ. 13 වසරේදී මම සමස්ත ලංකා චිත්‍ර ජයග්‍රහණත් ලබා ගත්තා.
ඒ තුන්වැනි සහ හතරවැනි ස්ථාන විදිහටයි. ඒ වගේම “රිදී සිත්තම් “ චිත්‍ර තරගයෙන් මම සමස්ත ලංකා මට්ටමින් තුන්වැනි ස්ථානය ලබා ගත්තා.විශ්වවිද්‍යාලයේදීත් මම චිත්‍ර ඇන්දා. මගේ විශේෂ කැමැත්ත තිබුණේ කුරුල්ලන් අඳින්න. හැබැයි චිත්‍ර ප්‍රදර්ශන පවත්වලා නම් නැහැ.
ඉතින් මේ විදිහට පටන් ගෙන අද සිංහරාජයේ විදේශිකයන්ගේ ටී ෂර්ට් පින්තාරු කරන්න හිතුවේ…
මගේ සැමියා සිංහරාජයේ සංචාරකයන්ට සම්බන්ධව කටයුතු කරන කෙනෙක් විදිහට ඔවුන් සමග සමීපව කටයුතු කරනවා. ඒ නිසා සංචාරකයන් සමග සම්බන්ධතාවයන් ඇති වෙනවා. මේ සංචාරකයන් බොහෝ දෙනෙක් එන්නේ කුරුල්ලෝ නරඹන්න. මම මුලින් සඳහන් කළානේ මම කුරුල්ලෝ අඳින්න ආසයි කියලා. ඉතින් මට හිතුණා කුරුල්ලන් නරඹන්න එන සංචාරකයන් වෙනුවෙන් මේ විදිහට කුරුල්ලෝ පින්තාරු කරන්න.
මේ විදිහට ඔබේ ආරම්භය ඇති වුණේ
මම මේ විදිහට පින්තාරු කිරීම පටන් ගත්තේ 2023 වසරේ මාර්තු පළමු වෙනිදා. ඒ නිසා සිංහරාජ මායිමේ තිබෙන ‘ කුඩව ’ කියන තැන කඩයක් පටන් ගත්තා. එදා ඉඳන් සංචාරකයන් සිංහරාජය නරඹන්න ඉස්සරින් අපි ළගට ඇවිත් ඔවුන්ට අවශ්‍ය කුරුල්ලෝ පින්තාරු කරල දෙන්න කියනවා.

සංචාරකයන් වැඩියෙන් ඇනවුම් කරන්නේ…
සංචාරකයන්ට අපි පින්තාරු කරන්නේ සිංහරාජයට ආවේණික කුරුල්ලෝ. කැහිබෙල්ලා, වත රතු මල් කොහා, බකමුණා වගේ කුරුල්ලෝ තමයි වැඩියෙන් ඉල්ලන්නේ.
සිංහරාජයට ආවේණික බස්සන් වර්ග හතරක් ඉන්නවා. සමහර සංචාරකයන් කුරුල්ලෝ නරඹලා ඇවිත් ඔවුන් දැක්ක කුරුල්ලන් පින්තාරු කර දෙන විදිහට ඉල්ලනවා. ඉතින් මම ඔවුන්ගේ ඇනවුම් ඒ අයට අවශ්‍ය විදිහට පින්තාරු කර දෙනවා.
ඊට අමතරව සංචාරකයන් තමන්ගේ රටට යන විටත් මේ වගේ පින්තාරු කළ ටී ෂර්ට් අරගෙන යනවා. ටී ෂර්ට් විතරක් නොවෙයි, විවිධ සිහිවටනත් අරගෙන යනවා. ඒ හැම සිහිවටනයකමත් කුරුල්ලෝ පින්තාරු කරනවා. විශේෂයෙන් ලී කැබැලිවලත් පින්තාරු කරනවා. ඒවටත් හොඳ ඉල්ලුමක් තිබෙනවා. ගමන් මලුවලටත් කුරුල්ලෝ පින්තාරු කරනවා.
සංචාරකයන් අතරත් චිත්‍ර කලාවට හැකියාව තිබෙන අය ඉන්නවාද…?
ඔව්. සමහර සංචාරකයන් මගෙත් එක්ක චිත්‍ර අඳින්න කැමැතියි. ඒ අය අතරත් හොඳ හැකියාවන් තිබෙන අය ඉන්නවා. ඔවුන් මාත් එක්ක චිත්‍ර ඇඳලා හරි සතුටක් ලබනවා.චිත්‍ර අඳින්න ගන්න ටී ෂර්ට් අපි මුදලට ගන්නවා. මේවා කොළ පාට ටී ෂර්ට්. ඒවා අරගෙන පින්තාරු කරනවා.

ඔබේ මේ ව්‍යවසායකත්වය සමග සිංහරාජයත් ජාත්‍යන්තරයට මාකට් වෙනවා නේද…?
ඔව්. අපේ රටේ ආවේණික කුරුල්ලන් ගැන හොඳ දැනුමක් ලැබෙනවා. ඒ වගේම මේ සිහිවටන තමන්ගේ රටට අරගෙන ගියාම එතැනිනුත් සිංහරාජ කියන නම ව්‍යාප්ත වෙනවා. සිංහරාජය කියන්නේ ලෝක උරුමයක්. ඒ නිසා මේ විදිහට බොහොම සරල සහ නිහඬ ප්‍රචාරණයක් ලබා දෙන්න පුළුවන් වීම ගැනත් මම සතුටු වෙනවා.
ඔබ උපාධිධාරිනියක්… අනාගතයේදී රැකියාවක් ලැබුණොත්… ?
මම අනාගතයේදීත් මේ ව්‍යාපාරයම කර ගෙන ඉන්න අදහස් කරනවා. මගේ පුතා තවම පුංචියි. නිවසේ ඉඳන් මේ වගේ රැකියාවක් කරද්දී මට දරුවත් රැක බලා ගෙන එය කරන්න පුළුවන්. නමුත් රැකියාවකට ගියොත් මට ඒ නිදහස නැති වෙනවා. තවත් අතකින් මගේ සැමියාසංචාරකයන්ට සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නිසාම මට වෙළඳපොළ ගැටළුවකුත් නැහැ.
ඔහුට සම්බන්ධ තවත් හිතවත් අයත් අපට සංචාරකයන් රැගෙන එනවා. ඒ විදිහට අපට ඉල්ලුමත් ලැබෙනවා. ඉතින් මේ විදිහට ස්ථාවරත්වයක් තිබෙන නිසා රැකියාවක් වෙනුවෙන් ඉල්ලුම් කරන අදහසක් තවම නම් නැහැ.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️