ඉදිරිපත් කර ඇති 2025 අයවැය ගැන මේ වනවිට සමාජයේ කතා ගොඩකි. ආණ්ඩුවට පක්ෂපාතී කොටස් මේ අයවැය ගැන සුබවාදී කතා කිව්වත් සමාජයේ බහුතරයක් දෙනා පවසන්නේ “ගණන් දන්නා කොල්ලෙක් අංක හරඹයක් කරමින් ජනතාව උඩුයටිකූරු කර තිබේ” යන්නයි. එය එසේ වුවත් මේ රටේ ජීවත්වන ජනතාව වශයෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය ගැන අවධානයෙන් බැලිය යුතු කරුණු බොහොමය.
එහි තිබෙන උත්තරයක් නොමැති ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැයෙ හි පරතරය වන රුපියල් බිලියන 2200 ක මුදල පියවීමේ ක්‍රමයක් ඉදිරිපත් කර නොමැතිකමයි.
ඒ අනුව අපට සිතිය හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF හි හතර වැනි වාරිකය ගැනීම ගැන සිතමින් පමණක් මේ අයවැය කොළේ වසා ගේමක් ගසා ඉදිරිපත් කළ එකක් වන බවයි.
ආර්ථික සංවර්ධනය සහ සමාජ සංවර්ධනය පිළිබඳව මෙවර අය වැයෙන් කතාකර තිබීම හොඳය. එය රටක් සංවර්ධනය කිරීමේදී සිතිය යුතුම කරුණක් ලෙස අපි ද පිළිගනිමු. හැබැයි මේ සියල්ල කරන්නට ආණ්ඩුවට සල්ලි තිබිය යුතු නොවේද?
දේශපාලනඥයන්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ හෝ වෙනත් වගකිය යුතු පුද්ගලයන්ගේ සහ ආයතනවල වියදම් අවම කිරීමෙන් පමණක් අයවැය පරතරය පිරවිය නොහැකි බව පොඩි එවුන්ට පවා වැටහෙන මොහොතක මෙම අයවැය පිළිබඳව සාමාන්‍ය මිනිහා වුවත් ගැඹුරින් අධ්‍යයනයක යෙදීම වටින්නේ එබැවින්ය.
දේශපාලනඥයාගේ සිට රාජ්‍ය සේවයේ සිටින පොඩි එකා දක්වාම අල්ලස පිටු දැකිය යුතුය. දූෂණය නැවැත්විය යුතුය. බලය අයුතු ලෙස පාවිච්චි කිරීම නතර කළ යුතුය.
ඒ සියල්ල පිළිබඳව මෙවර අය වැයෙන් ජනාධිපතිවරයාම අවධානය යොමු කිරීම පැසසිය යුතුය. මෙරට නිෂ්පාදන ආර්ථිකය නැංවීම පිළිබඳව සිතීමත්, කාර්මික සංවර්ධනය වැඩි කිරීම ගැන සිතීමත් තවත් හොඳය.
මේ සියල්ල, විය යුතු වෙනසට අත වැනීමක් ලෙස දුටුවත් පොඩි මිනිහාගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ හිත පුරා සහ ගත පුරා දැනෙන බඩගින්දර නිවා දැමීම වෙනුවෙන්ද මෙවර අයවැයේ පැහැදිලි චිත්‍රයක්වත් තවමත් සාමාන්‍ය ජනතාවට සොයාගැනීමට බැරිය.
එම නිසා මිනිසුන් තවම සිටින්නේ අයවැය තුළ අලුත් ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන අංකවල අතරමංවය. එපමණක් නොවේ බඩ පුරවනකන් බලන් සිටි රාජ්‍ය සේවකයාද අන්ද මන්ද කරමින්ය. දැන් ඉතින් ඔබ අප කවුරුත් අංක විද්‍යාව වඩාත් හොඳින් ඉගෙන ගත යුතුව ඇත.