පාට පාට කුරුල්ලන්ට කවුද අකමැති? කුරුල්ලෝ බලන්න සත්තු වත්තට යන්න කැමති ඒකනේ. කුරුල්ලො රෑනක් අහසේ පියාඹනව දැක්කත් හිතට සතුටක්. ඒ ආසාව නිසාමයි ගෙවල්වලත් කුරුලු ලෑලි හදන්නේ. උදේ පාන්දර බත් කුරුලු ලෑලිවලට දාල කොයි වෙලෙත් බලන් ඉන්නේ ඒ ආසාව නිසාමයි. අපට හමුවුණා කුරුල්ලන්ට ආදරේ කරන කෙනෙක්. එයා ගෙදරට කුරුල්ලො ගෙන්නගන්න කුරුලු කූඩු හදන කෙනෙක්. කුරුල්ලෝ දිහා බලන් ඉදල ලැබෙන සැනසීම බෙහෙත්වලින් ගන්න බැහැ කියලයි මේ කුරුලු කූඩු හදන නිකවැරටියේ ඉන්න කුමාර කියන්නේ.
ඇයි මේ වගේ කුරුලු කූඩු හදන්න හිතුවේ?
මම දවසක් හිතවත් යාළුවෙක්ගේ ගෙදරකට ගියා. එහේ ගෙදර කුස්සියට කොහුවලින් නිර්මාණය කරපු කාපට් එකක් බිමට දාල තිබුණා. මට ඒ කාපට් එක දැක්ක ගමන් හිතුණා මේකෙන් අලුත් නිර්මාණයක් කරන්න පුළුවන් කියල. මම ඒ නිසා යාළුවගෙන් ඉල්ලගෙන පොඩි කොහු කෑලි කීපයක් ගෙදර අරන් ආවා. ඒ විදියට ගෙනල්ලා තමයි කුරුලු කූඩුවක් මුලින්ම හැදුවේ. ඒ විදියට හදපු කුරුලු කූඩු ගමේ අය දැකල මගෙන් ඉල්ලුවා. ඊට පස්සෙ තමයි මේ විදියට කුරුලු කූඩු හදන්න ගත්තේ.
මොකක්ද මේ කුරුලු කූඩුවලින් තියන ප්‍රයෝජනය?
මේ කුරුලු කූඩු පරිසරයට හිතකාමී. ප්ලාස්ටික් කෑල්ලක්වත් අරන් නැහැ හදන්න. ඒ නිසා කාටවත්ම හානියක් නැහැ. ඉස්සර ගෙවල්වල වෙස්මුහුණු වගේ දේවල් එල්ලනවා. ඒ විදියට එල්ලුවම ගෙදරට එන අයගෙ ඇස් යොමුවෙන්නේ ඒ දිහාවට. ඒ වගේම ගෙදරකත් මේ වගේ කුරුලු කූඩුවක් එල්ලුවම ඕන කෙනෙක්ගේ ඇස් යොමුවෙනවා වැඩියි.
කුරුල්ලෝ මේ කූඩුවලට බිත්තර දාන කාලෙට එනවා. උදේ පාන්දර කුරුල්ලන්ගේ සද්දේ ගෙදරට ඇහෙනවා. අපි ගතකරන්නේ කාර්යබහුල ජීවිතයක්නේ. ඒ වෙලාවට කුරුල්ලො කූඩුවලට ඇවිත් පැටවුන්ට කවන විදිය, කුරුල්ලන්ගේ සද්දේ ඇහෙන එකත් හිතට සැනසීමක්. ඒ මානසික සුවය බෙහෙත් බීල ගන්න බැහැ.

කොහොමද මේ කුඩු හදන්නේ…
මම කොහු ශීට්වලින් තමයි හදන්නේ. කොහු මැශින්වලින් තමයි ලේයර් ගන්නේ. කුරුලු කූඩුව අතින් තමයි මහන්නේ. මේ කුරුලු කූඩුවට උඩ වහළයක් පවා තියෙනවා. ඒ නිසා සර්පයෝ වගේ සත්තුන්ට ඇතුල් වෙන්න බැහැ.
කුරුල්ලො ගෙවල් හදන විදියක් තියෙනවා. වඩු කුරුලු කූඩු ගත්තම ඒව හරි වෙනස්. ඒ විදිය බලලද නිර්මාණය කරන්නේ?
නෑ. කුරුල්ලෝ ගෙවල් හදන විදියටම නෙවෙයි. සාමන්‍යයෙන් එහෙම හැදුවම ගෙදරක ඉස්සරහ එල්ලුවත් ලස්සනට පේන්නෙ නැහැ. බට්ටිච්චො එහෙම ගොට්ටක් වගේනේ කූඩු හදන්නේ. හැදුවට ලස්සන නැහැ. ඒ නිසා නිර්මාණශීලිව ඉඩකඩ තියෙන්න තමයි හදන්නේ. කොහුවලින් හදන නිසා කුරුල්ලෝ එනවා.
කුරුල්ලොත් කොහුවලින්මනේ කූඩු හදන්නේ. ඒ නිසා බිත්තර දානවා. මම හදන්නේ ගෙයක් විදියට. වඩු කුරුල්ලන්ගේ කූඩු හදන්න පුළුවන් ඒ ආකෘතියට. ඒත් අනික් කුරුල්ලන්ට එන්න බැහැ යටින් කූඩුවට එන්න ඕන නිසා. ඒ නිසා ඒ ආකෘතියට හදන්නෙ නැහැ.
කොච්චර කාලයක් යනවද කූඩුවක් හදන්න
කූඩුවක් හදන්න සාමාන්‍යයෙන් පැය එක හමාරක් විතර කාලයක් වැය වෙනවා. අතින්නේ ඔක්කොම කරන්නේ.
කොහොමද මේ නිර්මාණ ගන්න පුළුවන්?
මම කුරියර් ඕඩර්වලට යවනවා. ඒ වගේම ඇවිල්ල ගන්නත් පුළුවන්.
කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද?

එළියෙ ගහක එල්ලුවොත් නම් අව්වට වැස්සට අහුවෙනවනේ. එතකොට අවුරුද්දකින් වගේ දිරන්න පුළුවන්. වැස්සට අහු වෙන්නේ නැත්නම් ඊට වඩා වැඩි කාලයක් තියාගන්න පුළුවන්.
මොනවද ආපු බාධක?
කූඩු හදද්දී නම් බාධකයක් නෑ. මම කුරියර් කරනවට අමතරව පාරේ තියාගෙන විකුණනවා. වැස්ස ආවම තෙමෙනවා කූඩු. ඒ වගේම මේ පැත්තේ මොණරු, බටිච්චො ගේ කුරුල්ලෝ වගේ විවිධාකරයේ කුරුල්ලෝ ඉන්නවා කැලෑබද පරිසරයක් නිසා කුරුල්ලො එනව වැඩි මේ පැතිවලට. මිනිස්සුන්ට අගයක් නෑ ගෙවල්වලට කොහොමත් එන නිසා. දැන් නම් මේ වෙද්දී ඒ අභියෝගේ ජය ගන්න පුළුවන් වෙලා තියෙනවා.
ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?
මම තනියෙන් තමයි කරන්නේ. දැන් නම් මට උදව්වට සේවකයෝ තුන්දෙනෙක් ඉන්නවා. ගෙදර අයත් උදව් කරනවා.
ඉස්සරහට මොනවද අලුතින් කරන්න ඉන්න වැඩ?
මට පිට රටවල්වලින් ඕඩර් ආවා. ඒත් මට තාම ඉල්ලන විදියට සපයන්න අමාරුයි.මහන්න ගොඩක් වෙලා යනවා. මැශින්වලින් නෙමෙයිනේ හදන්නේ. ඉස්සරහට මැශින් එකක් අරගෙන කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව මම වළං හෝදන පොල් මුඩ්ඩක් හදල තියෙනවා ඒක පොල් කොහුවලින් නිර්මාණය කරල තියෙන්නේ.
අපේ රටට ඩොලර් ගේන්න පුළුවන් නිර්මාණයක් ඒක. සති දෙකකට වඩා තියාගන්න පුළුවන්. භාවිතා කරන්න බැරි වුණාම පරිසරයට හානියකුත් නැහැ. ඒ පොල් මුඩ්ඩත් මේ වෙද්දී කඩවල්වලට දානවා. ඒකත් දියුණු කරගන්න එක බලාපොරොත්තුවක්.
පවනි දිලේකා ✍️