මොළයේ තාවකාලික ලෙස ඇතිවන අසාමාන්‍ය විද්‍යුත් ක්‍රියාකාරීත්වය නිසා වලිප්පු තත්ත්වයක් ඇතිවන්න පුළුවන්. මෙම රෝග තත්ත්වය ළදරු වයසේ පටන් ඕනෑම වයසක දරුවකුට වුණත් ඇතිවන්න පුළුවන්.
වලිප්පු තත්වයක් ඇතිවීමට හේතු මොනවාද?
- මොළය, මස්තිෂ්ක සුෂුම්නා පටලවල ඇති වෙන ආසාදනය ( Infection)
- මොළයට බාහිරව සිදුවන අනතුරක්
- මොළය තුළට ලේ ගැලීමක් සිදුවීම
- බාහිරව ඇතිවන උත්තේජනයක් (උණ, නිරාහාරව සිටීම,රුධිරයේ සීනි මටට්ම අඩුවීම)
- අතීතයේදී වලිප්පුව රෝගයක් ලෙස පවතින රෝගීන්
- ජානමය හෙවත් ආරයට යන වලිප්පු තත්ත්වය
වලිප්පුව ඇතිවන ආකාරය අනුව වර්ග කීපයක් දකින්න ලැබෙනවා
මුළු ශරීරයේම ඇතිවන වලිප්පුව (Generalized)
මෙහිදී රෝගියාට සිහි නැතිවීම, සෙම දැමීම සහ ඇස් උඩයෑම සහ ශරීරය දරදඬු වී ගැස්මකට ලක්වීම වැනි රෝග ලක්ෂණ බාහිරවත් දකින්න ලැබෙනවා.
සිරුරේ කොටසක පමණක් ඇතිවන වලිප්පු තත්ත්වය (Focal)
මෙහිදී ශරීරයේ එක් අංශයක් පමණක් දරදඬු වී ගැස්මක් ඇතිවීම. ඇතැම් විට ගැස්ම පිටින් දක්නට නොලැබුණත් රෝගියා එක එල්ලේ බලා සිටීම වැනි අසාමාන්‍ය රෝග ලක්ෂණ දකින්න ලැබෙනවා.
ඒ නිසා ප්‍රතිකාර තීරණය කිරීමේදී වලිප්පුවේ ස්වභාවය පිළිබඳව හඳුනාගැනීම වැදගත්. වලිප්පු තත්ත්වය විනාඩි පහකින් අවසන් වෙනවා නම් වලිප්පුව නතර කිරීමට එම මොහොතේ ප්‍රතිකාර අවශ්‍ය නැහැ. නමුත් වලිප්පුවේ කාලසීමාව විනාඩි 5 කට වඩා වැඩි නම් ප්‍රතිකාර ලබාදීම ඉතාම වැදගත්. මෙවැනි තත්ත්වයක් ඇතිවීම නිසා තාවකාලිකව මොළයට ඔක්සිජන් සැපයීම අවහිර වෙනවා. මේ තත්ත්වය අඛණ්ඩව ඇතිවීම නිසා ශ්වසනය අඩපණ වී අවයව පවා අකර්මන්‍ය තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙනවා. එය ජීවිතයට අවදානමක් විය හැකියි.
සාමාන්‍ය උණ වලිප්පුව
මාස 6- අවුරුදු 6 වයසේ දරුවන්ට සාමාන්‍ය උණ වලිප්පුව ඇතිවීමට පුළුවන්. මෙම වයසේ දරුවන්ගේ මොළය සංවර්ධනය වෙමින් පවතින බැවින් මේ උණ රෝගය උත්සන්න වීමකදී තත්ත්වයකදී වලිප්පු රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.උණ වලිප්පුව ආරය අනුව ඇතිවීමට ඉඩ තිබෙනවා. එකම දරුවාට වුණත් වාර ගණනාවක්ම උණ වලිප්පු තත්ත්වය ඇතිවීමට පුළුවන්. ඒ නිසා උණ පාලනය කරගැනීම වැදගත්. සාමාන්‍ය උණ වලිප්පුව නිසා අනාගතයේදී බුද්ධි වර්ධනයට බලපෑමක් ඇති නෙවේ.
උණ පාලනය කර ගැනීම
■ දරුවාට උණ රෝග තත්ත්වයක් ඇති වුනොත් උණ පාලනය කරගැනීම ඉතාම වැදගත්. මේ වෙනුවෙන් පැරසිටමෝල් මාත්‍රාවක් ලබාදීම වඩාත් වැදගත්. මෙහිදී මාත්‍රාව ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. අදාළ පැරසිටමෝල් මාත්‍රාව අඩුවෙන් ලබා දුන්නොත් උණ තත්ත්වයේ පාලනයක් ඇතිවන්නේ නැහැ. ඒ වගේම අදාළ මාත්‍රාව වැඩියෙන් ලබාදීම නිසා වෙනත් සංකුලතාවන් ඇතිවීමට පුළුවන්. ඒ නිසා පැය 24 ක් තුළ නියමිත පැරසිටමෝල් මාත්‍රා 4 ක් පමණක් ලබාදීම වැදගත්.
■ උණ තත්ත්වය ඉහළ යන විට තෙත මාත්තු කිරීම මගින් උණ පාලනය කර ගැනීමට පුළුවන්. තෙත මාත්තු කරන විට තාපය පිටවෙනවා. මෙතැනදීත් සැලකිලිමත් විය යුතු තවත් කරුණක් තිබෙනවා. තෙත මාත්තු කිරීමේදී මතුපිට දැනෙන උණුහුමට සරිලන විදිහට ජලය පාවිච්චි කිරීම වැදගත්. සීතල ජලයෙන් තෙත මාත්තු කිරීමේදී දරුවා සීතලෙන් වෙව්ලන්න පටන් ගන්නා අතර උණ අඩු වීමක් සිදුවන්නේ නැහැ.
■ ඒ වගේම බොහෝ මව්පියන් දරුවාගේ උණ පාලනය කිරීමට නළළට යම් යම් ද්‍රාවණ තබනවා. නමුත් ප්‍රධාන රුධිර නාල, බෙල්ල, කිහිලි සහ ඉකිළි ප්‍රදේශයේ පවතින නිසා එම ප්‍රදේශවල තෙත මාත්තු කිරීම වඩාත් සුදුසුයි.
■ දරුවාට සරල, පහසු ඇඳුමක් ඇන්දවීමත් වැදගත්.
■ විදුලි පංකාවක් අසල තැබීම නිසා තාපය පිටවීමෙන් උණ අඩුවිය හැකි නමුත් ඒ නිසා දරුවාගේ උෂ්ණත්වය අනවශ්‍ය ලෙස පහළ වැටීමෙන් දරුවා වෙව්ලන්න පුළුවන්.
වලිප්පු තත්ත්වය නිර්ණය කරගැනීම වෙනුවෙන් සිදුකරන වෛද්‍ය පරීක්ෂණ
- රුධිර පරීක්ෂණ
- EEG (Electroencephalogram ) – මොළයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම
- CTස්කෑන්
- MRI
- Ultra Sound Scan
- මස්තිෂ්ක සුෂුම්නා තරලය පරීක්ෂා කිරීම CSF analysis
වලිප්පු තත්ත්වයක් ඇතිවුණොත් කළයුතු දේ මොනවාද?
- රෝගියා බිම හෝ පැතැලි තැනක හාන්සි කරන්න. රෝගියාගේ මුහුණ අපට පෙනෙන සේ හරවා ගන්න.
- දොර ජනේල හැර හොඳින් වාතය ලැබීමට සලස්වන්න.
- බාහිරව නාසය සහ මුඛය ආශ්‍රිතව ඇති සෙම පිස ශ්වසනය පහසු කරන්න.
- වලිප්පු තත්ත්වයේදී වතුර, ඖෂධ ලබාදීම සුදුසු නැහැ.
- වලිප්පු තත්ත්වය නතර වූ පසුවත් පානයට කිසිවක් දෙන්න එපා.
- වලිප්පු තත්ත්වය ඉබේ සුවවීමට ඉඩ හරින්න. විනාඩි පහක් වැනි කාලයකදී සුව අතට හැරුනේ නැත්නම් ළඟම තිබෙන රෝහල වෙත රැගෙන යෑම අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි.
කටට හැන්දක් දැමීම නොකළ යුතුයි
වලිප්පු රෝගීන්ගේ දතකට පූට්ටු වෙතැයි යන අනියත බිය නිසා බොහෝ දෙනෙක් රෝගියාගේ කටට හැන්දක් එහෙම නැත්නම් ඇඟිල්ලක් ඇතුළු කරනවා. මෙය කිසිසේත්ම නොකළ යුතුයි.
වලිප්පු තත්ත්වයට ප්‍රතිකාර
වලිප්පු තත්ත්වයට ප්‍රතිකාර ලබාදීමේදී වෛද්‍යවරයා විසින් වලිප්පු වර්ගය හඳුනාගෙන අදාළ ඖෂධීය ප්‍රතිකාර ආරම්භ කරනු ලබනවා. වෛද්‍යවරයා විසින් ලබාදෙන උපදෙස් අනුව අදාළ ඖෂධ මාත්‍රාවන්, අදාළ කාලසීමාව තුළ අඛණ්ඩව ලබාදීම වැදගත්. ඒ වගේම සායනයට සම්බන්ධ වීමත් ඉතාම වැදගත්. වෛද්‍ය උපදෙස් අනුව ලබාදෙන ඖෂධ මාත්‍රාවන් අඩු වැඩි කරමින් වලිප්පු තත්ත්වය පාලනය කිරීම සිදුවනවා. සමහර විට ඖෂධ කීපයක් නියම කිරීමටත් ඉඩ තිබෙනවා.
බොහෝ දෙමව්පියන් වලිප්පු ඖෂධ නිසා දරුවාට සංකුලතාවන් ඇතිවෙතැයි වූ බිය නිසා නිසි පරිදි ඖෂධ ලබාදීමට මැලිවෙනවා. එහෙත් වලිප්පුව වෙනුවෙන් ලබාදෙන ප්‍රතිකාර මගින් දරුවා එම රෝග තත්ත්වයෙන් උපරිම ලෙසින් ආරක්ෂා කරගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ඖෂධවලින් සංකුලතාවයන් ඇතිවෙතැයි වූ අනියත බියට වඩා දරුවාට නිසි අන්දමින් ප්‍රතිකාර ලබාදීම නිසා ඔවුන්ට ගුණාත්මක ලෙසින් තම ජීවිතය පවත්වා ගෙන යෑමේ හැකියාව ලැබෙනු ඇත.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️