මරණ බය සම්බන්ධයෙන් අපට ඇත්තේ අනාදිමත් ඉතිහාසයකි. මෙසේ කියන්නේ ඇයි දැයි ඇතැම් කොටසක් දන්නවා විය හැකි අතර තවත් කොටසක් ඒ යුග පිළිබඳව නොදන්නවා විය හැකිය. අසූ ගණන්වල තුණ්ඩු කෑල්ලට අවනත නොවීමෙන් මිනී මැරූ යුගයක් අපි අවසන් කර ඇත්තෙමු. දැන් වයස අවුරුදු තිස් හතළිස් ගණන්වල ජීවත් වන ජන කොටස්ද L. T.T.E ත්රස්තයන් සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තිස් වසරක සිවිල් යුද්ධයේදී මිනිස් ජීවිතය තැන තැන අහිමි වූ හැටි මෙන්ම කොළඹදීත් ලංකාවේ ප්‍රසිද්ධ බොහෝ නගරවලදීත් කොයි මොහොතේ බෝම්බයක් පුපුරාවී දැයි මර බයෙන් ජීවත් වූ හැටි අත්විඳ ඇත. මේ අත්දැකීම් තුළින් ශ්‍රී ලාංකික ජනතාවගෙන් බහුතරයකට මරණය සාමාන්‍යකරණයවීම පුදුමයක්ද නොවනු ඇත. ඇතැම්විට අපේ හිත්වලට පුපුරා ගිය බෝම්බයේ තරම දැනුණේ මිය යන ජීවිත සංඛ්‍යාව වැඩි වූ විටය.
ඒ අත්දැකීම අමතක කරමින් ජීවත් වූ අපට කාලයක් ගොසින් හෝ නැවතත් මරණ බිය දැනෙන්නට පටන් ගෙන තිබේ. ඒ පාතාලය හිස ඔසවමින් කොළඹ පමණක් නොව කොළඹින් පිට පළාත්වලත් මහදවාලේ මිනිස් ජීවිත පෞද්ගලික ආරවුල් වෙනුවෙන් පවා බිලි ගැනීමේ තත්ත්වයකට මේ රට පැමිණ තිබීම නිසාය.
රටේ මහජන ආරක්ෂාව ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සිටී. රටේ ජාතික ආරක්ෂාව තර කිරීමට ත්‍රිවිධ හමුදාවක් සහ බුද්ධි අංශයක්ද සිටී. රටේ ජාතික ආරක්ෂාව මෙන්ම මහජන ආරක්ෂාව සඳහා වග වන බවට පොරොන්දු දුන් ජනාධිපතිවරයෙක් සහ ආරක්ෂක මණ්ඩලයක් ද සිටි. එවන් පසුබිමක මහදවාලක බෙලිඅත්තේ මහ පාරේදීත් ආරක්ෂාව උපරිමයෙන් ඇති කොළඹ අලුත්කඩේ උසාවියෙත් ත්‍රාසජනක චිත්‍රපටිවල සිදුවෙන ආකාරයේ මිනීමැරුම් සිදුකිරීම සුළුවෙන් තැකිය හැකිද?
මේවා බැලූ බැල්මට පාතාලය හිස ඔසවීමෙන් පමණක් සිදු නොවන බව තේරුම් ගත හැකි අතර මේ සඳහා ආරක්ෂක අංශවල සිටින ඇතැම් නිලධාරීන්ගේ ද යම්කිසි සහායක් තිබෙතැයි අනුමාන කිරීම වරදක්ද නොවේ. එම නිසා මේ මිනීමැරුම් රැල්ල තවත් නැගිටින්නට මත්තෙන් අවසන් කළ යුතුව ඇත. නැතිනම් ප්‍රභූ පන්තියට පමණක් නොව ඔබ අප වැනි සාමාන්‍ය ජනතාවටත් එළියට බහින්නට සිදුවන්නේ මරණ සහතිකයද අත ඇතිවය.
එම නිසා විධායක බලතල සහිත ජනාධිපතිතුමනි… රටේ ආරක්ෂාව පිළිබඳව වගවන මහත්වරුනි පාතාලය අතුගා දමන්න. රටේ ජාතික ආරක්ෂාව එක කොට සළකන්න. තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න.