ඔබ නොදැනම සිරුරට ඇතුළු විය හැකි වෛරසයක් හඳුනාගන්න! ලෙඩ රෝග සීඝ්රයෙන් පැතිර යයි. අපේ පැරැණ්නන් පවසන ආකාරයට වෙදකමට වඩා හෙදකම හොඳ බැවින් රෝග වළක්වා ගැනීමට අප කටයුතු කළ යුතුය. ඒ සඳහා ජනමාධ්‍ය ඔබට බොහෝ සෙයින් උපකාරී වෙයි.
Herpes Simplex Virus (HSV) හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය
මෙම වෛරසය නිසා අවුරුදු 50 ට අඩු බිලියන 3.8 ක (ලෝක ජනගහනයෙන් 64%) ප්‍රමාණයක් පීඩා විඳින අතර ප්‍රධාන රෝගාබාධය වන්නේ මුඛ හර්පිස් (oral herpes) ආබාධයයි. ලිංගික හර්පිස් (genital herpes) තත්ත්වයද වෛරසය නිසා ඇතිවිය හැකි අතර වෛරසය වැළඳුණු රෝගීන්ගෙන් වයස අවුරුදු 15-49 අතර මිලියන 520 ක ජනතාවයක් (ලෝක ජනගහණයෙන් 13%) පීඩා විඳිති. වඩාත් අනතුරුදායක වන්නේ මෙම වෛරසය ඇති අයට HIV වැළඳීමේ අවදානම වැඩි වීමයි.
පැතිරෙන ආකාරය
හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය කෙළ, සම හා ලිංගික ස්පර්ශවීම නිසා ඇතිවන ආසාදනයකි. ඉන් වේදනාකාරී සුවකළ නොහැකි බිබිලි හෝ වණ ඇති විය හැකිය. මෙහි වර්ග දෙකක් පවතින අතර HSV-1 බොහෝ විට මුඛ සම්බන්ධතා හරහා පැතිරේ. ඉන් මුඛය වටා වණ ඇති කරයි.
ලිංගික හර්පිස්ද මේ හා සම්බන්ධ වන අතර වැඩිහිටියන් කෙරෙහි විශේෂයෙන් බලපායි. HSV-2 ඇතිවන්නේ ලිංගික සම්බන්ධතා හරහාය. මේ නිසා ප්‍රධාන වශයෙන් ලිංගික හර්පිස් ඇති වෙයි. බොහෝ විට රෝග ලක්ෂණ මතු නොවෙන අතර මෘදු රෝග ලක්ෂණවලින් පමණක් පීඩා විඳිය හැකිය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් වේදනාකාරී බිබිලි හෝ වණ ඇතිවේ. මෙහිදී රෝග ලක්ෂණ අඩුකිරීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර ඇතත් අසාදනය සුව කළ නොහැකිය.
රෝග ලක්ෂණ
රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නිසා සහ මෘදු රෝග ලක්ෂණ පමණක් ඇති නිසා බොහෝ අය තමුන්ට වෛරසය ආසාදනය වී ඇති බව නොදනිති. එහෙත් ඔවුන්ට රෝගය පැතිරවිය හැකිය. මුඛය, ලිංගික අවයව හෝ ගුදය වටා වේදනාකාරී බිබිලි හෝ වණ ඇතිවීම, උණ, උගුරේ අමාරුව (මුඛ හර්පිස් ඇති අයට), ඉදිමුණු වසා ගැටිති (Swollen lymph nodes), හිසරදය ඇතිවිය හැකි අතර බිබිලි කැඩී කාන්දුවීම සහ කබොලක් ඇතිවීම සිදුවිය හැකිය. නැවත නැවත ඇතිවන පිපිරීම්වලට පළමු අවස්ථාවට වඩා මෘදු සහ කෙටි කාලයකින් අවසන් වීමේ හැකියාවක් ඇත.
ප්‍රතිකාර
සම්පූර්ණ සුවයක් ලබාගත නොහැකි නමුත් වෛරසයට එරෙහි ප්‍රතිකාර මගින් රෝග ලක්ෂණ අඩුකරන අතර ඉක්මන් සහනයක් ලබාදෙයි. රෝග ලක්ෂණ මතුවී පැය 48 ක කාලයක් තුළ ප්‍රතිකාර ඇරඹුවහොත් වඩා හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.
Acyclovir,Famciclovir, සහ Valacyclovir, ප්‍රචලිත ප්‍රචලිත ප්‍රතිකාර වේ. බිබිලි පුපුරා යෑමේ අවදානම අඩු කිරීමට සහ වෛරසය පැතිරීමේ අවදානම අඩු කිරීම සඳහා සමහර අයට දිනපතාම ප්‍රතිවෛරස් ඖෂධ ලබාගැනීමට සිදුවේ. මීට අමතරව වේදනා සහන ඖෂධද ප්‍රයෝජනවත් වේ. ඉතින් විශේෂයෙන් ලිංගික හා මුඛ ස්පර්ශයෙන් ප්‍රවේසම් වීම ඔබට භාරයි.
https://www.who.int ඇසුරෙන්
සුනිල් අල්ගම ✍️