අපේ ජන සමාජයේ ‘හිත ඇත්නම් පත කුඩාද‘ කියලා ජනවහරක් හැදිලා තියෙන්නෙ කිසිම තේරුමක් නැතුව නෙවේ. මොළේ පාවිච්චි කරලා ටිකක් කාලෙ අරන් හිතුවොත් මේ ලෝකෙ කාටවත්ම පහළ වෙන්නෙ නැති විදිහේ අදහසක් ඔයාට පහළ වෙන්න පුළුවන්. අවශ්‍ය වෙන්නෙ කල්පනා කරන්න විතරයි. එහෙම හිතලා සුපිරි නිෂ්පාදනයක් මුළු ලෝකෙටම හඳුන්වලා දීපු රටක් වටින කෙල්ලෙක්ව අපිට මුණගැහුණා එප්පාවලදි. ඇය නමින් නදීෂා මදුවන්ති. “පොල් පොල් පොපොල් පොල් පොල් පොල් පොල් ලංකාවෙ වතුවල වැවෙන පොල්” කියලා ඒ කාලෙ සින්දුවල කිව්වට දැන් ලංකාවෙ වතුවල පොල් තියා කුරුම්බැට්ටියක්වක් දකින්න නොලැබෙන තරම්. ඒ නිසාම වෙළෙඳපොළෙත් පොල් ගිනි ගණන්. ඒත් පොල් ගෙඩියක මිලට වඩා පොල් මුඩ්ඩ විකුණන්න පුළුවන් කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? අන්න ඒ විශ්වාස කරන්න අමාරු දේ කරලා පෙන්නපු කෙනා තමයි නදීෂා…
නදීෂා මුලින්ම පටන්ගන්නෙ අවට ප්‍රදේශවලින් මහා පරිමාණව පොල් ලෙලි එකතු කරලා ඒවායෙන් ලණු නිෂ්පාදනය කරපු එක. ලණු නිෂ්පාදනය තවමත් නැවතිලා නෑ. නමුත් ලණු නිෂ්පාදනය කරන අතරේ ඒ ලණුවලින් ඉවත් වෙන කොටස් පවා ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහේ අපූරු නිෂ්පාදනයක් ගැන අදහසක් නදීෂාට පහල වෙනවා.
ඒ තමයි ‘පොල් මුඩ්ඩ’. සාමාන්‍යයෙන් පොල් ගෙඩියක ස්වභාවිකවම පිහිටලා තියෙන පොල් මුඩ්ඩත් බොහෝ නිවෙස්වල ගෘහණියන් ප්‍රයෝජනයට ගන්නවා. ඒ වළං පිඟන් මදින්න. ඒත් අපි කරන්නෙ එක් වතාවක් දෙවතාවක් මැද්දට පස්සෙ ඒක විසි කරන එක. ඒත් නදීෂාගේ අතින් නිමවෙන මේ ‘පොල් මුඩ්ඩ’ සති දෙකක වගේ කාලයක පාවිච්චියට රෙකමදාරු කරන්න පුළුවන්.


හෙළ නැචුරල් ලංකා කියන ආයතනය නදීෂා පටන්ගන්නෙ වසර දෙකකට උඩදි. නමුත් ඇයට මේ සුවිශේෂී නිෂ්පාදනය නිවැරදිව හදාගන්න අවුරුද්දක කාලයක් ගියා කියලයි ඇය කියන්නේ. මේ වෙද්දි කැනඩාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉතාලිය වගේ බොහෝ රටවල නදීශාගේ ගැනුම්කරුවන් ඉන්නවා. අපි නදීශා එක්ක ඇගේ මේ නිෂ්පාදනය ගැන කතා කළා.
නදීෂා හෙල නැචුරල් ලංකා ආයතනයේ ප්‍රධානම නිෂ්පාදනය මොකද්ද?
තවමත් ප්‍රධානම නිෂ්පාදනය කොහු ලණු.පිරටවල විතරක් නෙවේ, ලංකාවේ මෙහෙම නිෂ්පාදනයක් හැදෙද්දි ඒක මිළට ගන්න කැමති අය අපේ රටෙත් ඉන්නවා. නමුත් ඔවුන්ට සුපිරි වෙළෙඳසලකට ගියොත් මේ නිෂ්පාදන දකින්න ලැබෙන්නෙ නෑ.
ඔව්. මමත් ඔන්ලයින් ඕඩර්ස් තමයි දැනට කරන්නේ. නමුත් කීල්ස් වගේ සුපිරි වෙළෙඳසල් කීපයක් මගෙන් සාම්පල්ස් ඉල්ලුවා. එයාලා මගේ නිෂ්පාදනයට කැමති වුණොත් ඉදිරියේදී ලංකාවේ සුපිරි වෙළෙඳසල්වලින් මේ පොල් මුඩ්ඩ මිලදීගන්න ලැබේවි. ලංකාවේ ගොඩක් අය මගෙන් ඔය ප්‍රශ්නෙ අහනවා. ඒකට තවත් හේතුවක් තමයි සුපර් මාකට්වලට දාන්නවත් ස්ටොක්ස් ඉතිරි වෙන්නෙ නෑ. නමුත් නොබෝ දිනකින් නිෂ්පාදන වැඩි කරන්න අපි සූදානම් වෙලා ඉන්නේ.
ඔබ පැවසුවා සුපිරි වෙළෙඳසල් කීපයක්ම මේ නිෂ්පාදනය වෙනුවෙන් ඔබව සම්බන්ධ කරගත්තා කියලා. මේ ක්‍රියාවලියෙදි ඔබේ නිෂ්පාදනයෙන් මොන වගේ දේවල්ද ඔවුන් බලාපොරොත්තු වෙන්නේ?
ගොඩක් ආයතන සාම්පල්ස් එවන්න කිව්වට ඕඩර්ස් දෙන්නෙ නෑ. ඒකට හේතුව මේකෙ අඩු මිල. කෑලි දෙකේ පැක් එකක් මම වෙළෙඳපොළට දාන්නෙ රු.120ක මිලට. තොග මිල රු.70යි. එයාලා ලොකු මාජින් එකක් ඕන කියනවා. නමුත් අපිට ලොකු මිලකට මේ නිෂ්පාදනය අලෙවි කරන්න බෑ. සාමාන්‍යයෙන් ගෘහණියක් වෙළෙඳසලකට ගියාම තියෙන අනිත් නිෂ්පාදන එක්ක මිල සංසන්දනය කරලා බලනවනේ. ඒ නිසා මේ මිල වැඩි කරන එක පාරිභෝගිකයට කරන අසාධාරණයක් කියලා මං හිතන්නේ.

කොහොමද නදීෂට මේ වගේ අදහසක් ආවේ?
කොහු ලණුවලින් ඉවත් වෙන කෑලිවලට කරන්න දෙයක් හිතනකොටයි මේ අදහස ආවේ. ලංකාවේ තියෙනවනෙ කොහු මෙට්ට. මට ඒ මෙට්ටයක් දැක්කම හිතුණා මේ ක්‍රමයට මට පොල් මුඩ්ඩ හදන්න පුළුවන් වෙයි කියලා. අපි ගාව ඒ මෙට්ට හදන්න පොල් කොහු ප්‍රෙස් කරන මැෂින් එකක් තිබුණා.
ඒත් මේ විදිහට පොඩි කැබලි විදිහට ඒ මැෂින් එකෙන් ප්‍රෙස් කරන එක සාර්ථක වුණේ නෑ. මගේ මහත්තයා ඊටපස්සෙ ඒ මැෂින් එක පොඩි ලේයර්ස් විදිහට හදන්න පුළුවන් විදිහට සකස් කළා. නමුත් වාර කිහිපයක්ම මේ නිෂ්පාදනය හැදුවත් ලේයර්ස් ගැලවුණා. පස්සෙ තමයි රබර් කිරි ස්ප්‍රේ කරලා තත්ත්වයෙන් උසස් නිෂ්පාදනයක් අපි හැදුවේ.


මොකද්ද මේ පොල් මුඩ්ඩේ සහ ස්වභාවික පොල් මුඩ්ඩේ වෙනස?
ස්වභාවික පොල් මුඩ්ඩෙන් අපි කරන කාර්යය මේ පොල් මුඩ්ඩෙන් ඊට වඩා හොඳට වෙනවා වගේම සති දෙකක විතර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. පිඟන්, කෝප්ප වගේ දේවල් විතරක් මදිනවා නම් ඊට වඩා වැඩි කාලයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේක 100%ක් ස්වභාවික නිෂ්පාදනයක්. කොටින්ම මේ නිෂ්පාදනය හදද්දි අපි ඉහින රබර් කිරි පවා ගන්නේ රබර් පර්යේෂණ ආයතනයෙන්. චීනයෙන් ගෙන්වන නිෂ්පාදනවලට වඩා මේක සෞඛ්‍ය ආරක්ෂිතයි වගේම පරිසර හිතකාමියි.
වෙළෙඳපොල අභියෝගය හැරෙන්නට නදීෂාට මේ කර්තව්‍යයෙදි මුහුණ දෙන්න සිද්ධ වුණ වෙනත් අභියෝග මොනවද?
කලින් මේ ෂීට් එක රබර් කිරි ඉහලා අව්වේ වේලලා ගත්තේ. ඉතින් අව්ව තියන දවස්වලට විතරයි අපිට වේලගන්න පුළුවන්. කාලයකට එකදිගටම වැස්ස. ඒ නිසා මං තීරණය කළා මැෂින්වලටම ඩ්‍රයර්ස් සවි කරලා මැෂින් එකේම වේලගන්න. ඒ නිසා රෑක වුණත් අපිට මේ නිෂ්පාදන හදන්න පුළුවන්.
අපි මතක් කරමු ඔබේ මේ නිෂ්පාදනයට කැමති කෙනෙක්ට ඒක ඇනවුම් කරන්න පුළුවන් විදිහක් ගැන…
මගේ වට්ස්ඇප් අංකය 0776939618 මේ නම්බර් එකට මැසේජ් එකක් හෝ කෝල් එකක් දීලා ඇනවුම් බාරදෙන්න පුළුවන්.
එරංදි කෞශල්‍යා ✍️