බඩේ ඉන්න බබාගේ දැඟලීම, ගර්භණී මව්වරුන් බොහොම සතුටින් කතාකරනවා. කලලයේ සිදුවෙන චලනයන් නිසා කලලය සජීවිව තිබෙන බව තහවුරු කරන්න ලැබෙන හොඳ සංඥාවක් තමයි ඒක.
කලලයේ චලනය වීම සිදුවෙන්නේ කොහොමද?
කලලයක් චලනය වීම දරු පිළිසිඳ ගැනීමකින් පසුව එළැඹෙන සති කීපයකින් ආරම්භ වෙනවා. නමුත් ඒ කාලයේදී මවට කලලය චලනය වෙන බව දැන ගැනීමට තරම් වූ තීව්‍රතාවයක් නැහැ. සති විස්සක් පමණ ආසන්න වෙනවිට මවකට කලලයේ චලනය දැනෙන්න පටන් ගන්නවා. නමුත් කුලුඳුල් මවක් නම් ඇයට මේ ගැන පෙර අත්දැකීමක් නොමැති නිසා කලලයේ චලනයක් සිදුවුණත් එය පැහැදිලිව සංවේදනය වීම ප්‍රමාද වෙනවා. කළළයේ චලනයන්ගේ සංඛ්‍යාතය සහ තීව්‍රතාවය ක්‍රමයෙන් වැඩිවෙන අතර එය සති 28-34 වැනි කාලයයකදී උපරිමයට ළඟාවෙනවා. එතැනින් පසුව කලලයේ චලනය වීමේ අඩුවක් නැහැ.
චලනය එකම අගයක පවතින්නේ නැහැ
ඒ වගේම කලලයේ සිදුවෙන චලනයේ වාර ගණනත් ස්ථිර අගයක නැහැ. බොහෝ මව්වරුන්ට මේ චලනය හවස් කාලයේදී දැනෙනවා. ඒ වගේම කලලයේ චලනය පැහැදිළිව දැනීමට නම් මවගේ මානසික සන්සුන් බව ඉතාම වැදගත්. මවක් මානසිකව දැඩි පීඩාවකින් සිටිනවා නම් ඇයට දරුවාගේ චලනය සිදුවුණත් ඒ ගැන දැනීමක් නොමැති වෙන්න පුළුවන්. මවක් වම් ඇලයට හාන්සි වී සිටින විට වගේම ඇය ඒ ගැන අවධානයක් දක්වන විට මවට චලනයන් දැනීමේ සීඝ්‍රතාව වැඩියි.
ඒ වගේම දරුවා මවගේ ගර්භාෂයේ සිටින විටත් නිදාගැනීම සිදුවෙනවා. ඒ වගේම අවදියෙන් සිටින වේලාවන්ද තිබෙනවා. එම නින්ද වැඩිහිටියෙකුගේ නින්දට වඩා වෙනස්. බොහොම කෙටි නින්දක් නිදාගෙන නැවත අවදි වෙනවා. දරුවෙකුගේ මෙම නින්ද සාමාන්‍යයෙන් විනාඩි 40 කට වඩා අඩු අතර කලාතුරකින් එම කාලය විනාඩි 90 ක් පමණ දීර්ඝ වෙන්නත් පුළුවන්. දරුවාගේ නිදි කාලය තුළ චලනයක් සිදුවෙන්නේ නැහැ.
කලලයේ චලනයන් දැනිය යුතු වාර ගණනක් තිබෙනවාද?
සාමාන්‍යයෙන් මවකට එදිනෙදා කටයුතුවල නිරතව වෙමින් සිටින විට පැය 12ක කාලයක් තුළ චලන වාර 10 ක් වත් දැනනෙන්න අවශ්‍ය වෙනවා. දවස පුරා චලනයන් ගණනය කිරීම අපහසු කාර්යයක්. ඒ වගේම මානසික ආතතිය ඇති කිරීමටත් එය හේතු වෙන්න පුළුවන්. මේ නිසා නව චින්තනයට අනුව දරුවාගේ චලනයන් පිළිබඳව මව සෑහීමට පත්වෙන්නේ නම් එය ප්‍රමාණවත් බැව් දැන් අලුත්ම සංකල්පය වී තිබෙනවා.
කලලයේ චලනය වැදගත් ඇයි?
කලලයේ චලනය ගැන වැඩි අවධානයක් යොමු කිරීමටත් බලපාන හේතු තිබෙනවා. සමහර විට දරුවා ගර්භාෂයේ මියයෑම වැනි අවාසනාවන්ත සිදුවීම් ඇති නොවෙනවාම නොවෙයි. එවැනි අවස්ථාවන් සාමාන්‍යයෙන් සිදුවෙනවා. ගර්භාෂයේදී මිය ගිය කලල පිළිබඳව මව්පියන්ගේ ඉතිහාසය විමසන විට ඔවුන් අතරින් මව්වරුන් 55% කට පමණ තම ගර්භාෂයේ දරුවාගේ චලනයන්ගේ අඩුවීම ගැන දැනීමක් තිබුණ බැව් ඔවුන් සඳහන් කරනවා. ඒ නිසා මේ ගැන අවධානයෙන් සිටීමත් වැදගත්. එය කලලය මියයෑම ගැන මවට ලබාදෙන පුර්ව සංඥාවක් වීමට පුළුවන්.
සාමාන්‍ය පුද්ගලයකු වුණත් අසනීප ගතියකින් පසුවෙන විට වෙනදා පැවැති උද්‍යෝගය අඩුවෙනවා. කළළයටත් මේ තත්ත්වය පොදුවේ බලපානවා. ඔවුන් යම් අපහසුතාවයකින් පසුවෙන විට ශාරීරික චලන අඩු කරමින් ශක්තිය ඉතුරු කර ගැනීමට කටයුතු කරනවා. ඒ නිසා කලලයේ චලන අඩු වුණොත් යම් ගැටලුවක් ඇති බවට අනුමාන කිරීමට සිදුවනවා.
කලලයේ චලනයන් අඩුවීම නිසා රෝහල්ගත වීම වැදගත් ඇයි?
දරුවාගේ චලනය අඩුවුණොත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ වෙනුවෙන් මව රෝහල්ගත වීම අනිවාර්යෙන්ම සිදුවිය යුත්තක්. රෝහල්ගත වූ පසුව කලලයේ හෘද ස්පන්දනය පිළිබඳව තහවුරු වීම ලබාගන්නවා. CTG පරීක්ෂණ මගින් දරුවාගේ හෘද ස්පන්දන රටාව අධ්‍යනය කරනවා.
CTG පරීක්ෂණය සිදුකරන්නේ කොහොමද?
මෙම පරීක්ෂණයේදී මවගේ උදරය වටා බැඳි පටියකින් සංඥා ලබාගෙන කලලයේ හෘද ස්පන්දනය පිළිබඳ වාර්තාවක් ලබාගන්නවා. මේ වාර්තාව මගින් කලලයට යම් අනතුරක් වී තිබෙනවාදැයි දැන ගැනීමට පුළුවන්. කලලයේ චලනයන් අඩුවීමේ වේගය තව දුරටත් අඩු වෙනවා නම් ස්කෑන් පරීක්ෂණයක් සිදුකරනවා. එයින් කලලය ගර්භාෂය තුළ මියයෑමට හේතු වී තිබෙන වර්ධන ගැටලු හඳුනාගැනීමට සිදු වෙනවා.
ඒ නිසා මවකගේ ගර්භාෂයේ සිදුවෙන චලනයන්ගේ අඩුවීමක් දැනෙනවා නම් එය දරුවාගේ ජීවිතයට අවදානමක් බවට ලබා දෙන සංඥාවක්. නමුත් මවක් නොපමාව රෝහල්ගතව ප්‍රතිකාර ලබාගතහොත් දරු කලලය මියයෑමට නොදී ඔහුට මෙලොව එළිය දකින්නට අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාව අහිමි වී යා නොදී රැක ගැනීමට නම් ගර්භණී මවකගේ පාර්ශ්වයෙන් කලලයේ චලනයන් ගැන අවධානය දැක්වීම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️