කාන්තාවන් වෙනුවෙන් කාන්තාවන් පෙරට ආ යුතුම කාලයක අපි සිටිමු. මන්ද ඇය සිතන පතන ආකාරය, ඇඟේ හැඟීම්, ඇඟේ දරා ගැනීම්, ඇඟේ සතුට වඩාත් හොඳින් පිරිමියාට වඩා දන්නේ එම කුලකයේම කාන්තාවක්වීම නිසාය.පසුගිය 76 වසරකට පසුව රට කරවන්නට වඩා වැඩි කාන්තාවන් පිරිසක් මෙවර දියවන්නාවට පැමිණ ඇත. එහි සවිය පෙරටු කරගෙන රටේ කාන්තාවන් වෙනුවෙන් වෙනදාටත් වඩා සුරක්ෂිත, නීතිගරුක, ලස්සන සමාජයක් දියවන්නාවේ අලුත් පිරිස ඇය වෙනුවෙන් තනනු ඇතැයි විශ්වාසය හිතේ රඳවාගෙනම මෙවර කාන්තා දිනය ඔබට සැමරිය හැකිය. මේ ඔවුන් ඇය වෙනුවෙන් කියන කතාවයි.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය
පෝල් රාජ් මහත්මිය
සභාපතිනිය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය විදිහට ඔබ පාර්ලිමේන්තුවේ කාන්තාවන්ගේ සිට සමාජයේ සිටින සාමාන්‍ය කාන්තාවන් දක්වා සුරක්ෂිතභාවය වෙනුවෙන් ගන්නා පියවර මොනවාද?
අපි අනාරක්ෂිත සමාජයක ජීවත්වන බව පිළිගන්නට වෙනවා. සමස්ථ කාන්තාවන් මේ සමාජය ඇතුළේ අනාරක්ෂිත බවක් දැනෙන එක පුදුමයක් නෙවෙයි. අධ්‍යාපනය ලබන කුඩා ගැහැණු දරුවකුගේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන තරුණ ගැහැණු දරුවකු මෙන්ම පරිපාලන විධායක ශ්‍රේණිවල රැකියාව කරන කාන්තාවන්ටත් මම මේ කියන අනාරක්ෂිත අවධානම් සහිත බව දැනෙනවා.
ඒ නිසා ජාතික ජන බලවේගය වන අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත වන පරිදි කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීම අපේ වගකීම ලෙස සිතනවා. යුක්තිගරුක, නීතිගරුක කාන්තාවන්ට ගරු කරන සමාජයක් සෑදිය යුතුමයි. එය මගේ ඒකායන අරමුණයි.
ඒ සඳහා අපි පවතින නීති බලාත්මක කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒවා අතර ගෘහස්ථ ප්රචණ්ඩත්වය පිටුදැකීම, රැකියා ස්ථානය තුළ කාන්තාවගේ සුරක්ෂිතතාව, දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම, ලිංගික හිංසනය පිටුදැකීම සඳහා අවශ්‍ය නීති බලාත්මක කිරීම අපගේ වගකීමක් ලෙස අපි සිතනවා.
කාන්තා සහ ළමා හිංසනය පිටු දැකීමට විධිමත් වැඩ පිළිවෙලක් ඔබ සංසදය දැනටමත් ආරම්භ කර තිබෙනවාද?
ඔව්. ගෘහස්ත ප්රචණ්ඩත්වය පිටු දැකීමේ පනත ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදාගෙන යනවා. කාන්තාවන්ගේ ආරක්ෂාව හා සාමය ඇති කිරීමට ජාතික වැඩ සැලැස්මක් 2024 දී අපි හඳුන්වා දුන්නා. එය 2027 දක්වා බලාත්මක වන ජාතික වැඩ සැලැස්මක්. එය ප්රචණ්ඩත්වය පිටු දැකීමේ දෙවන ජාතික සැලැස්මයි. පළමු ජාතික සැලැස්ම 2021 වර්ෂයේ හඳුන්වාදුන්නා. එයින් 70% ක් පමණ ඉටු කරගෙන තිබෙනවා.
ඉදිරි වසර තුන ඇතුළත බලාපොරොත්තු වෙනවා හිංසනයෙන් තොර සමාජයක් කාන්තාවන් වෙනුවෙන් ඇති කරන්න. අපේ රටේ පවතින නිතීය දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව එහෙත් රජ්‍ය අනුග්‍රහය සහිතව බලාත්මක කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට කළ හැකියැයි මම විශ්වාස කරනවා.
කාන්තා මන්ත්‍රීවරියන්ගේ නියෝජනය මෙවර පාර්ලිමේන්තුවේ වැඩිවීමට එවැනි පියවරක් ගැනීමට ඔබට පහසුවක්ද?
ඔව්. අපේ දේශපාලන ව්‍යාපාරයෙන් විවිධ තරාතිරම්වල, විවිධ අධ්‍යාපන මට්ටම්වල කාන්තාවන් තමයි පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඇවිත් ඉන්නේ. ඒ නිසා ඒ ඒ ක්ෂේත්රයේ පවතින ගැටළු පාර්ලිමේන්තුව තුළට ගෙන ඒමට ඒක පහසුවක්. ඒ පහසුව නීති අණ පනත් සකස් කිරීමේදි අපට වැඩියෙන් දැනේවී.
අපි මේ සිටින්නේ ජාත්‍යාන්තර කාන්තා දිනය අභියස. ඔබ ඇයට ලබාදෙන පණිවිඩය කුමක්ද?
මෙවර කාන්තා දිනය කියන්නේ ඇත්තටම සුවිශේෂී අවස්ථාවක්. එය අතිශයින්ම දින සැමරුමක් නොවිය යුතුයි. එය සැබවින්ම කාන්තා ඉල්ලීම් දිනාගත්, ඒ වෙනුවෙන් සටන් කරපු අභීත නායිකාවන් වෙනුවෙන් සිහිකැදවීමක් විය යුතුයි. එය අපට නැවතත් බලාත්මකවීමේ දිනයක් කරගත හැකියි.
අපි මුහුණ දෙන හිංසනයන්ගෙන්, ප්රතික්ෂේපවීම්වලින් මිදි ආර්ථික හා සමාජ සුරක්ෂිතභාවය නැවත ළං කර ගැනීමටත්, දැනුමින් සන්නද්ධ වෙන්නත් අනාගත ලෝකය දරුවන් වගේම කාන්තාවන් වෙනුවෙන් රැකගන්නත් වැඩ කරන්න ඕන බව මතක් කරන දවසක් කරගත හැකියි. මේ දිනය ඔබ ඔබ වෙනුවෙන් නොව ලෝකය වෙනුවෙන් සිටින කාන්තාවන් වීමට ඔබේ සිත වෙනස් කරගත හැකි දිනය විය යුතුයි.
සමන්මලී ගුණසිංහ මහත්මිය
සම සභාපතිනිය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය
මෙවර කාන්තා දිනයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය වශයෙන් මොනවගේ සූදානමක්ද තියෙන්නේ?
කාන්තා සංසදය විදියට යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තුවේ 08 වෙනිදා කාන්තාවන් වෙනුවෙන් විශේෂ විවාදයක් පවත්වන්න නියමිතයි.
අපේ රටේ කාන්තාවන්ගේ ගැටළු හා විසදුම් සාකාච්ජා කරන්නත් හිතාගෙන ඉන්නවා. කාන්තා කමිටු නියෝජිතයන් පත් කිරීම සදහා යෝජනා පවතිනවා. පාර්ලිමේන්තුව, රජයේ ආයතන, වෙනත් කාවර ස්ථානයකදී හෝ කාන්තාවන්ට සිදුවන අසාධාරණයන්ට එරෙහිව පැමිණිලි කළ හැකි තැනක් බවට කාන්තා කොමිසම පත් කිරීමට අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මෙවර පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි වුණත් රට තුළ කාන්තාවන් සුරක්ෂිත බවක් පෙනෙන්නට නැත. ඔබ ඒ ගැන මොනවද හිතන්නේ?
අලුත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩියි. ඊට හේතුව වර්තමාන ආණ්ඩුව ගමින් ගමට ගිහින් කාන්තාවන්ට අලුත් දේශපාලන දැනුම බෙදා දීමයි. ඒ වගේම නායකත්වය ගන්න අවස්ථා ලබා දුන්නා. සල්ලි බලයට තැන නොදී අවංකව වැඩ කරන්න පුළුවන් ඇයට තැනක් දුන්නා. ඇත්තටම දේශපාලනයට එද්දී මඩ ප්‍රහාර ගහන සමාජයක් තමයි අපට තියෙන්නේ.
සමාජය හිතන්නේ ගැහැණු තමයි හැම වරදකටම මුල කියලා. ගැහැණිය දෙවන පුරවැසියා විදිහට තමයි අදත් හිතන්නේ. එහෙම වියයුතු නැහැ. පවතින මේ ආකල්පය වෙනස් කරන්න නූතන ආණ්ඩුවේ පත් වෙලා ඉන්න මන්ත්‍රීවරියන් උත්සාහ කරමින් සිටිනවා. එහෙම වුණොත් කාන්තාවන් සමාජයේදී සුරක්ෂිත වේවි.

මෙවර අයවැය කාන්තාවට හිතකරද?
වර්තමාන රජයම කාන්තාවන් වෙනුවෙන් ලොකු අවධානයක් ලබා දීලා තියෙනවා. අපි මීට කලින් දැකල නැහැ කාන්තාවාදී අයවැයක්. නූතන ආණ්ඩුව තුළ ඒ පිළිබද අවදානයක් යොමු වෙලා තියෙනවා. සුරක්ෂිත මධ්‍යස්ථාන ඇති කරන්න මේ රජය යෝජනා කරනවා. ඔටිසම් දරුවන්ව දිස්ත්‍රික් මට්ටමෙන් ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන හදන්න යෝජනා කරනවා. අපරාධවලට ලක් වූ දරුවන්ව නැවත හොඳ දරුවෙක් කරන්න පූර්ණ වගකීම රජය අරගෙන තියෙනවා.
ඊට අමතරව පෙර පාසල් දරුවන්ගේ ආහාර සඳහා වැඩි මුදලක් වෙන් කර තියෙනවා. පෙර පාසල් ගුරුවරියන්ගේ දීමනාව වැඩි කර තිබෙනවා. දරුවන්ගේ ක්‍රීඩාවට අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රමණය ඉහළ නංවා තිබෙනවා. බන්ධනාගාරගත ගත දරුවන්ට රු 5000 ලබා දී තියෙනවා වගේම එ වැනි දරුවන් සමාජගත කරන්නත් පියවර අරගෙන තියෙනවා. මේක කාන්තාවන්ට ළමයින්ට වගවුණු ආණ්ඩුවක්.
නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල
මහත්මිය
සම සභාපතිනිය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නව වෙනස්කම් තිබෙනවාද? ඒ මොනවද?
ඇත්තටටම 3% ක නියෝජනයක් තමයි අපට කලින් තිබුණේ. මෙවර කාන්තා සංසදයක් විදිහට වැඩි ප්රතිශයක කාන්තා නියෝජනයක් අපට තියෙනවා. එය හොඳ ප්‍රවණතාවයක්. ඒ නිසා පාට පක්ෂ භේදයකින් තොරව පළාත් සභා මට්ටමෙන්, දිස්ත්‍රික් මට්ටමෙන් තව තවත් කාන්තා නායකත්වය වැඩි කරන්න හොඳ බලාපොරොත්තුවක්. ඉදිරියේදී මීටත් වඩා අපේ රටේ කාන්තාවන් බය නැතුව දේශපාලනයට ඒවි.
මැතිවරණවලදී කාන්තාවන්ට පිරිමින්ට වඩා මානසික හිංසනයන් වැඩි කියලා මම කිව්වොත්…
මමත් ඒකට එකඟයි. මමත් දේශපාලන පවුලකින් දේශපාලනයට ඇවිල්ලත් පහුගිය මැතිවරණයේදී විවිධ මාධ්‍ය ඔස්සේ මානසික වධ හිංසාවලට මුහුණ දුන්න කෙනෙක්. අලුතින් දේශපාලනයට එන කාන්තාවන්ට මේ අත්දැකීම දාරාගැනීම ලෙහෙසි නැහැ. ඒ නිසා ඔවුන්ගේ පවුලේඅය, ස්වාමිපුරුෂයා කැමති නැහැ කාන්තාව දේශපාලනයට එනවට.
ඒක ලංකාවේ පවතින දේශපාලන වාතාවරණයේ තියෙන ගැටළුවක් තමයි. හැබැයි එහෙම කියලා පැනලා යායුතු නැහැ. කාන්තාවන් වන අපිට පිරිමින්ය වඩා ඕනම දෙයක් දරාගන්න පුළුවන්. අපේ මානසික ශක්තිය හරිම ඉහළයි. ඉදිරියේ දී අපි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන්ගේ ඉඳන් ඇමතිවරියන්ටත් මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න උදව් කරනවා.
පළපුරුදු මන්ත්‍රීවරියන්ටත් ආධුනික මන්ත්‍රීවරියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වැඩකටයුතු කිරීමට සුරක්ෂිත ස්ථානයක්ද?
ඔව්. කිසිම ගැටළුවක් පාර්ලිමේන්තුව තුළ නැහැ. විපක්ෂයේ ඉන්නේ මාත් ඇතුළුව තව එක මන්ත්‍රීවරියයි.අද මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් හැටියටත් එදා මගේ පියාගේ පුද්ගලික ලේකම්වරිය හැටියටත් පාර්ලිමේන්තුවේ සුරක්ෂිතබාවය ගැන විශ්වාසයක් තියෙනවා. පාර්ලිම්න්තුවේ ඇතුළත අපි නිවැරදි විදියට හැසිරෙනවා නම් හැමෝටම ගරු කරනවනම් විනයගරුකව සිටිනවා නම් කාන්තාවන්ට ගැටළු ඇති වෙන්නේ නෑ.

අපේ රටේ 52% ක්ම ඉන්නේ කාන්තාවන්…
ඔව්. ඒක ඇත්ත. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේදි බහුතරයක් කාන්තාවන්ගේ අවශ්‍යතා ගැන සාකච්ඡා කළ යුතුමයි. ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් ආර්ථිකයට ලැබෙන්නේ 30% වගේ අඩු මට්ටමේ දායකත්වයක්. විවාහයෙන් පසුව ඇයට දරුවන්ගේ වැඩ නිසා රැකියාවක නිරත වීමට නොහැකි වී තියෙනවා. එවැනි කාන්තාවන් රටේ අර්ථිකට දායක කරගෙන ආර්ථිකව ස්වයංපෝෂිත කරන්නේ කොහොමද කියල අපි අවධානය යොමු කළ යුතුමයි.
ඔවුන්ව ස්වයං රැකියාවකට යොමු කරන්න අවශ්‍ය පහසුකම් සලසන්න ඕන. ඒ වගේම ලංකාවේ සුරැකුම් මධ්‍යස්ථාන පහසුකම් අඩුයි. එහෙම තිබුණ නම් දරුවො හිටියත් ඇයට තමන්ගේ රැකියාවට දිගටම කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අපි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පාර්ලිමේන්තු මට්ටමින් ඇති කරල අනිකුත් රජයේ ආයතන මට්ටමිනුත් ඒවා ඇති කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඒ වගේම බොහෝ කාන්තාන්ට කාන්තාවන්වීම නිසා අහිමිවන රැකියාවට පිළිතුරක් වශයෙන් ඇගේ මාතෘ නිවාඩු දීමනා රජයට පවරගන්න යෝජනාවක් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාෂනයෙන්ද අපි කතා කළා. එය පාර්ලිමේන්තුව හරහා බලගන්වන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා.
විශේෂ ස්තුතිය – ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මාධ්‍ය කළමනාකාරිනිය නිම්මි හාතියල්දෙණිය ඇතුළු මාධ්‍ය ඒකකයට
හරින්දී ලියනගේ ✍️