ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන අන්දමට රෝගි වී ප්‍රතිකාර ලබා සුවපත් වෙනවාට වඩා රෝගාබාධයන්ගෙන් ආරක්ෂා වීම වඩාත් වැදගත්. මේ ගැන දැන් සමාජය දැනුවත්. ඒ නිසාම බොහෝ දෙනෙක් දැන් රෝගාබාධයන්ගෙන් ආරක්ෂා වීම සඳහා Body checkup එහෙම නැත්නම් තමන්ගේ සිරුරේ පරීක්ෂාවක් කරගන්නවා. මේ පරීක්ෂණ මගින් තමන්ට යම් රෝගාබාධයක් ඇතිවීමට තිබෙන අවදානම හඳුනාගෙන ඒ වෙනුවෙන් කල්තබාම ආරක්ෂා වීමේ හැකියාව ලැබෙනවා.මේ අන්දමින් තමන්ගේ ශාරීරික සෞඛ්‍ය පිළිබඳව කල්තබා හඳුනාගැනීම ගැන කාන්තාවන් එතරම් උනන්දු නැහැ. ඒ නිසාම බොහෝ විට කාන්තාවක් රෝගයක් වැලඳුණාම ප්‍රතිකාර වෙනුවෙන් යොමුවුණත් තමන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් Full body checkup සිදුකරගැනීමක් සිදුකර ගැනීම ගැනත් උනන්දු වීම ඉතාම වැදගත්. ඒ නිසා බොහෝ විට කාන්තාවන්ගේ රෝගී තත්ත්වයන් හඳුනා ගැනීමට හැකිවෙන්නේ රෝග තත්ත්වය උත්සන්න වූවාටත් පසුවයි. එවිට රෝගයේ බරපතළ අවස්ථාවට පත්ව තිබෙන නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේදීත් යම් යම් ගැටලු ඇතිවනවා…
කාන්තාවක් Body checkup කරගැනීමට මැලිවෙන්නේ ඇයි?
පවුලක මවක, බිරිඳක වූ විට ඇය නිතරම සැමියා සහ දරුවන් මුල් කරගෙන තමන්ගේ වගකීම් පෙරට ගන්නවා. ඒ නිසා වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් දවසක් හෝ ගෙවන්න ඇය කැමැති නැහැ
- නිවසේ වැඩ කටයුතු කරන්නේ කවුද?
- දරුවන්ගේ පාසල් කටයුතු
- දරුවන්ගේ විභාග සහ විවාහ
මේ වගේ හේතු දක්වමින් කල්ගත කළත් කරගැනීමේ වැදගත්කම කාන්තාවක් විසින් අවබෝධ කර ගැනීමත් ඉතාම වැදගත්.
Full body checkup එකකදී සිදුකරන පරීක්ෂණ කීපයක් තිබෙනවා.
Full Blood Count (FBC )
රෝගියකුගේ සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාවකින් එහෙම නැත්නම් බොහෝ දෙනෙකු හොඳින් දන්නා වචනයෙන් කිවහොත් Full Blood Count (FBC) වාර්තාවකින් විවිධ රුධිරගත සංඝටක හඳුනාගැනීමට හැකියාව තිබෙනවා. ඒ මගින් ඒ පුද්ගලයාගේ සිරුරේ යම් රෝගාබාධයක් ඇතිවීම සඳහා බලපාන හේතු හඳුනාගැනීමට පුළුවන්. මෙම පරීක්ෂණය සඳහා රෝගියා පෙර සූදානමක් අවශ්‍ය නැහැ. අද බොහෝ කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේදී අධික ලෙස රුධිර වහනය වීම, පෝෂණ ගැටලු නිසා නිරක්තිය වැනි රෝගාබාධයන්ගෙන් පීඩාවට පත්වෙනවා. ඒ නිසා කාන්තාවක් සම්බන්ධයෙන් මෙවැනි පරීක්ෂණ ඉතා වැදගත්
Full Blood Count (FBC) වාර්තාවකින් පහත දැක්වෙන රුධිරගත සංඝටක හඳුනාගැනීමට හැකියාව තිබෙනවා.
■ Haemoglobin (Hb)- g/dl
■ White Blood Count (WBC) x109/L
■ Platelet Count (Plt) x109/L
■ Neutrophils %
■ Lymphocytes etc %
■ Monocytesx%
■ Eosinophilsx%
■ Basophilsx%
රුධිරයේ සීනි මට්ටම හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණ
FFasting Blood Suger
නිරාහාරව ලබන මෙම රුධිර පරීක්ෂණ වාර්තාව අපට ඉතා හුරු පුරුදුයි. පැය 8-10 ක් වැනි කාලවේලාවක් නිරාහරව සිට ලබාගන්නා මෙම Fasting Blood Suger වාර්තාවෙන් රුධිරයේ සීනි මටට්ම යහපත් හෝ අයහපත් අගයක පවතින බැව් දැනගන්න පුළුවන්. මෙම අගය 3.9 සිට 5.4 mmols1 ( 70- 99 mg/ dl ) නම් එය නීරෝගී අගයකි. මෙම අගය 126 mg/ dl හෝ ඊට වඩා වැඩි නම් ඔබ දියවැඩියා රෝගියෙක්.
ඒ වගේම 100 – 126 අතර නම් එය පූර්ව දියවැඩියා රෝග තත්ත්වයක්. කාන්තාවක් අනාගතයේදී ගර්භණීත්වය පත්වෙන අයෙක් බැව් අපි දන්නවා. දියවැඩියා රෝගී තත්ත්වයේ කාන්තාවක් ගර්භණීත්වයට පසු සාමාන්‍ය ගර්භණී කාන්තාවකට වඩා අවධානයක් දක්වන්න වෙනවා. ඒ නිසාම ඇගේ රුධිරගත සීනි මටට්ම නීරෝගී අගයක පවත්වා ගතයුතු වෙනවා. මෙවැනි රුධිර පරීක්ෂණ මගින් කල්තබාම දියවැඩියා රෝග තත්ත්වයට ඇති අවදානම හඳුනාගැනීමට පුළුවන්.
PPBS Blood Suger
ආහාරය ලබාගෙන පැය දෙකකින් පසුව නැවත PPBS Blood Suger රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබාගන්නවා. ආහාර පරිවෘත්තික ක්‍රියාවලියේ ගැටලු ඇති අවස්ථාවකදී මේ වාර්තාවේ රුධිරගත සීනි අගය හිතකර මටට්මක නැතිවීමට පුළුවන්. මෙහි අගය 80-140 mg/ dl ක් අතර අගයක පවත්වා ගැනීම සුදුසුයි.
HB1AC Blood Suger
මෙම පරීක්ෂණය සඳහා නිරාහාරව සිටීම අවශ්‍ය නැහැ. HBA1C Blood Suger වාර්තාවකින් රෝගියාගේ ගෙවුණ මාස 2-3 ක කාලයේදී රුධිරගත සීනි මට්ටම මනිනු ලබනවා. මෙම අගය 5.7% mmol/ L ට අඩු නම් සාමාන්‍ය වේ. මෙම අගය 5.7% සිට 6.4 % mmol/ L වූ අගයක නම් පූර්ව දියවැඩියාව ලෙස සැලකෙනවා.
CRP පරීක්ෂණය
මෙම පරීක්ෂණය මගින් ශරීරයේ ආසාදන සහ ප්‍රදාහ තත්ත්වයන් හඳුනාගත හැකියි. ශරීරයේ පටකවලට හානි වූ විට අක්මාව විසින් CRP රුධිරයට මුදා හරිනවා. අගය 50 mg/dl වඩා වැඩිවීම මගින් ඔබේ සිරුරේ යම් රෝග තත්ත්වයක් ඇති බවට අනුමාන කරනවා. ඒ නිසා ඔබේ ශරීර අභ්‍යන්තරයේ පවතින රෝගාබාධ කල්තබා හඳුනාගැනීමට මෙහිදී හැකියාවක් ලැබෙනවා.
ESR රුධිර පරීක්ෂණය
ආසාදන, පිළිකා සහ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග ඇතුළු උග්‍ර සහ නිදන්ගත රෝග තත්ත්වයන් හඳුනාගත හැකි පරීක්ෂණයකි. මේ වෙනුවෙන් නිරාහාරව සිටීම අවශ්‍ය නැහැ.
Ereum Creatine පරීක්ෂණය
ඔබේ මාංශ පේශිවලින් එන රුධිරයේ ඇති අපද්‍රව්‍ය නිෂ්පාදනයකි. රුධිර සාම්පලයකින් මෙය මැනීම සිදුවනවා. වකුගඩු ක්‍රියාකාරීත්වය මැනීම මෙහිදී සිදුවනවා. වකුගඩු දුර්වල නම් මෙම ක්‍රියේටින් මට්ටම ඉහළ යනවා. ගැහැනු, පිරිමි, වයස සහ මාංශ පේශි බර අනුව මෙම ක්‍රියේටින් මටට්ම වෙනස් වෙනවා. පිරිමියකුගේ නම් මෙහි අගය 0.7 mg/ dl සහ සහ කාන්තාවකගේ නම් 0.6- 1.1 mg/ dl ට වඩා වැඩිවීම ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්.
කොලෙස්ටරෝල් පරීක්ෂණය
හෘදයාබාධ පිළිබඳව කතාකරන විට රුධිරගත කොලෙස්ටරෝල් මටට්ම හිතකර තත්ත්වයක පවත්වා ගැනීම ඉතාම වැදගත්. නමුත් අවාසනාවකට මෙන් බොහෝ කාන්තාවන් මෙවැනි පරීක්ෂණ වෙනුවෙන් යොමු වෙන්නේම නැති තරම්. සමහර කාන්තාවන් හෘදයාබාධයකට හෝ ආඝාත තත්ත්වයකට ගොදුරු වෙන තෙක්ම තමන්ගේ රුධිරගත කොලෙස්ටරෝල් පරීක්ෂණයක් සිදුකර ගෙන නැහැ. නමුත් ඇය කල්තබා තමාගේ රුධිරයේ කොලෙස්ටරෝල් මටට්ම
හඳුනාගෙන තිබුණා නම් ආහාරපාන, ජීවන රටාව සමග මෙම තත්ත්වය හොඳින් පලානය කරගැනීමේ අවස්ථාව ලැබෙනවා.කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කිරීමේ පරීක්ෂණය Lipid Profile යනුවෙන් හැඳින්වෙනවා. මේ වෙනුවෙන් රුධිර සාම්පලය ගත යුත්තේ ආහාරපාන ගැනීමෙන් වැළකී පැය 12-14 ක කාලයකට පසුවයි.
Lipid Profile පරීක්ෂණයකින් ලබාගන්නා වාර්තාව
■ Toatal Cholesterol
■ HDLහොඳ කොලෙස්ටරෝල්
■ LDLනරක කොලෙස්ටරෝල්
■ Triglycrides
■ LDL<130 mg/dl
■ HDL>45 mg/dl
■ Triglycrides <150 mg/dl
■ Total කොලෙස්ටරෝල් mg/dl
UFR Urine Full Report පරීක්ෂණය
පිරිමින්ට සාපේක්ෂව බලන විට කාන්තාවන්ට මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙනවා. කාන්තාවන්ගේ මුත්‍රාශය විවර සහිතව පැවතීම, ගර්භාෂය පහත් වීම නිසා මේ අවදානම වැඩියි. මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග නිසා වකුගඩු අක්‍රිය වීම ( Chronic Renal Failure – CRF ) වැනි ජීවිතයට අවදානම් තත්ත්වයක් ඇතිවීමට පුළුවන්. ඒ නිසා කාන්තාවන් සම්බන්ධයෙන් බලන විට මෙම UFR පරීක්ෂණය ඉතා වැදගත්.
Urine Full Report මගින් මුත්‍රාවල පැහැය, මුත්‍රා සමග ඇති රතු සෛල සහ සැරව සෛල වැනි දේවල් ගැන පරීක්ෂා කරනවා. මෙය සරල පරික්ෂාවක්. ආසාදනයක් තිබෙනවා නම් මුත්‍රා පැහැදිලි නැහැ. පැහැය වෙනස් වෙන්න පුළුවන්. දරුණු ආසාදනයකදී සැරව සෛල (Pus cells ) මට්ටම ඉහළින් තිබෙනවා.
BLOOD PRESSURE
නිරෝගි පුද්ගලයකුගේ රුධිර පීඩනය ආසන්න වශයෙන් 120/80 mm Hg ක් ලෙස සැලකෙනවා.
ECG -Electro Cardiogram
මෙම පරීක්ෂණය මගින් හෘදය වස්තුවේ විද්‍යුත් තරංග මැනීම සිදුවනවා. මෙම විද්‍යුත් තරංගවල වෙනස්කම් අනුව හදවතේ එක් එක් ස්ථානයන්හි ඇති වෙනස්කම් හඳුනාගත හැකියි.උදරයේ අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාවක් යනු අති ධ්වනි ශබ්ද තරංග භාවිතයෙන් ඔබගේ උදරයේ අභ්‍යන්තරයේ ඇති අවයව නිරීක්ෂණය කළ හැකි ඉතා වැදගත් පරීක්ෂාවක්.
ඔබගේ වෛද්‍යවරයාගේ නිර්දේශය මත විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙම පරීක්ෂණය සිදුකරනු ලබනවා. එක්ස්රේ (Xray) වැනි විකිරණශීලීතාවයක් ඇති තරංග භාවිතයක් නොමැති නිසා මෙහිදී සිරුරට කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවේ. මෙම පරීක්ෂාව මගින් වකුගඩු, අක්මාව, පිත්තාශය, පිත්ත නාළ, අග්න්‍යාශය, ප්ලීහාව, උදරයේ රුධිර නාළ, ගර්භාෂය, ඩිම්බකෝෂ, මුත්‍රාශය සහ පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත රෝග තත්ත්වයන් හඳුනාගත හැකයි.
Ultra Sound Scan පරීක්ෂාව
අක්මාව, පිත්තාශය සහ අග්න්‍යාශය වැනි ඉන්ද්‍රියන් ආශ්‍රිිත රෝග තත්ත්වයක් සඳහා මෙම පරීක්ෂණය සිදුකරනවා නම් ඊට පෙර දින රාත්‍රි ආහාරය මේද රහිතව ගැනීම සහ පරීක්ෂණයට පෙරාතුව පැය 8-12 ක් අතර කාලයක් නිරාහාරව සිටීම වැදගත්.
■ වකුගඩුව සහ මුත්‍රාශය ආශ්‍රිතව සිදුකරන පරීක්ෂණයකදී මුත්‍රාශය අවශ්‍ය පමණට පිරී තිබීම වැදගත් වේ. පරීක්ෂණයට පැය දෙකකට පමණ පෙර මුත්‍රා පිටකර පිරිසිදු වතුර ලීටරයක් වරින් වර කොටස් වශයෙන් පානය කිරීම මේ සඳහා උපකාරී වේ
■ උදර ධමනිය සහ අනෙකුත් රුධිර නාළ ආශ්‍රිත පරික්ෂාවකදී පැය 8-12 ක් අතර කාලයක් නිරාහාරව සිටින්න.
මෙම පරීක්ෂණයකින් ලබාගත හැකි තොරතුරු
- උදරයේ අවයව ආශ්‍රිත ගැටිති හෝ ඉදිමුම.
- වකුගඩු ගල්.
- පිත්තාශයේ ගල්.
- වසා ගැටිති ඉදිමීම.
- උණ්ඩුකපුච්ඡයේ ඉදිමීම.
- උදර ධමනිය ඉදිමුම ( හෘදයේ සිට පහළට දිවෙන ප්‍රධාන රුධිර නාලය ඉදිමුම- (Abdominal aortic aneurysm (AAA) )
- උදරයේ තරල එකතු වීම.( Ascites)
ඉහත දැක්වෙන වෛද්‍ය පරීක්ෂණවලට අමතරව කාන්තාවන් සඳහාම සිදුකරන වෛද්‍ය පරීක්ෂණ තිබෙනවා
මැමෝග්‍රෑම් පරීක්ෂණය
පියයුරු පිළිකා තත්ත්වයන් ගැන හඳුනාගැනීමට මෙම පරීක්ෂණය සිදුකරනවා. පිළිකාව වර්ධනය වීමට පෙරාතුව හඳුනාගැනීම මෙම පරීක්ෂණය මගින් ලැබෙන වාසියක්.
සූදානම් වීම- ඔසප් වීම ආසන්නයේ හෝ ඔසප් කාලයේදී මෙම පරීක්ෂණය සිදුකළොත් වාර්තාවේ යම් වෙනස්කම් ඇතිවිය හැකියි. පරීක්ෂණ දිනයේදී අත් යට ඩියෝට්‍රන්ට් කුඩු හෝ දියර භාවිතා නොකරන්න. මේවායේ යම් ලෝහ ප්‍රමාණයක් ඇති නිසා ඒවා ලප ලෙසින් පෙන්වීමට ඉඩ තිබෙනවා. මැමෝග්‍රෑම් යන්ත්‍රය මගින් එක් එක් පියයුරු පුවරු දෙකක් අතර සමතලා කරනවා. පියයුරු වරකට එක්ස් කිරණ එකකට ලක් කරනවා. තිරගත මැමෝග්‍රෑම් සඳහා එක් පියයුර දෙවරක් එක්ස් කිරණ කරනවා.
ගැබ් ගෙල පරීක්ෂණ – පැප් ස්මියර් පරීක්ෂාව
මෙය ගැබ් ගෙල පරීක්ෂාවකි. Human papiloma virus (හියුමන් පැපිලෝමා වෛරසය) ආසාදනය වුණ බොහෝ කාන්තාවන් බොහෝ විට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. ගැබ් ගෙල සෛල අන්වික්ෂයක් මගින් පරීක්ෂා කර පූර්ව පිළිකා ලක්ෂණ හඳුනාගැනීමට පුළුවන්. වයස අවුරුදු 35 ට වැඩි කාන්තාවන් සහ විවාහ වී අවුරුදු තුනක් සම්පූර්ණ වුණ කාන්තාවන් සඳහා පැප් පරීක්ෂණය සිදුකරනවා. මෙය වසර තුනකට වරක් සිදුකරන අතර දිවයිනේ පිහිටි ඕනෑම සුව නාරි සායනයකින්ද ඒ වෙනුවෙන් පහසුකම් තිබෙනවා. ඒ නිසා කාන්තාවක් විසින් මෙම පරීක්ෂණය සිදුකර ගැනීම ඉතාම වැදගත්.
තයිරොයිඩ් පරීක්ෂණ – තයිරොයිඩ් ගැන කතාකරන විට තයිරොයිඩ් සම්බන්ධ රෝග තත්ත්වයන් පිරිමින්ට සාපේක්ෂව බලන විට කාන්තාවන්ට වැඩියෙන් ඇතිවනවා. ඊටත් බලපාන හේතුවක් තිබෙනවා. කාන්තාවක් මල්වර වීමේදී, කිරි දෙන කාලයේදී වගේම දරුවන් ලැබෙන්න සිටින විට තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩිවනවා. මෙම ක්‍රියාකාරීත්වය නිසා ශරීරයේ හැම ක්‍රියාවකම වේගය පාලනය කිරීමක් සිදුවනවා. ඒ නිසා තයිරොයිඩ් රෝග තත්ත්වයන් පිළිබඳ කල්තබා හඳුනාගැනීම ඉතාම වැදගත්. කාන්තාවන්ගේ මෙම පරීක්ෂණය රුධිර සාම්පලයකින් සිදුකරනවා.
TSH , T4 පරීක්ෂණය – මෙම TSH පරීක්ෂණය මගින් රුධිරයේ තයිරොයිඩ් උත්තේජක හෝර්මෝන සහ ( T4) තයිරොක්සින් මටට්ම සොයා බලනවා.කාන්තාවක් වන ඔබ Body Checkup වෙත යොමු වී ඔබේ ශාරීරික රෝගාබාධයන් හෝ එවැනි රෝග තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ඇත්නම් ඒ බව කල්තබාම හඳුනාගෙන ජීවිතය සතුටින් ගතකරන්න.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️